මොළයේ රෝග

මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රියයන් හෙවත් ආයතන අතුරෙන් මොළය, හෘදය, පෙනහලු, අක්මාව වකුගඩු හා අග්න්‍යාශය ප්‍රධාන ඉන්ද්‍රියයන් වශයෙන් සැලකේ. එම ඉන්ද්‍රියයන් අතුරෙන් මොළය හෙවත් මන්තිස්කය ප්‍රධානම ඉන්ද්‍රියය වන්නේ ශරීරය ජීවත් කිරීමට අවශ්‍ය වන ස්නායු පද්ධතියේ මූලස්ථානය එය වන බැවිනි. එම නිසා මොළය ගැන විමසීම වැදගත් වෙයි.


මොළය පිළිබඳව ඇති වන රෝග අතුරෙන් මස්තිස්ක ප්‍රදාහය (මොළය ඉදිමීම) යන රෝග අවස්ථාව ගැන විමසා බලමු. මැලේරියා ඉන්ෆ්ලුවන්සා ආදී විශේෂ ජ්වර අවස්ථා නිසා ද, පැපොල, වසූරිය, සරම්ප, කක්කල්කැස්ස, කම්මුල්ගාය වැනි රෝග තත්ත්වයන් නිසාද ශරීරයේ ලේ විෂ වීමෙන් මොළය ඉදිමෙයි. මෙම රෝග බොහෝ දුරට ඇතිවන්නේ වයස අවුරුදු 2 – 12 දක්වා වූ ළමයින්ට බව සාමාන්‍ය මතයයි. සහරුන්ගේ මතය වන්නේ මෙය ගැහැනු ළමයින්ට විශේෂ වූ රෝගයක් බවය. එහෙත් පිරිමි ළමයින්ටත් ලොකු උදවියටත් වැළඳී ඇති අවස්ථා ඇත.
මෙම රෝගයේ ප්‍රධාන ලක්‍ෂණය වන්නේ තන්‍ද්‍රාව හෙවත් නිදාගැනීමය. උණ, හිසරදය, නහර වේදනා, වමන, වලිප්පු, දැඟලිලි, ප්‍රලාප දෙඩීම, මළ බද්ධ, මුත්‍ර බද්ධය, මුර්ච්ඡාව ආදියයි. එසේම දෘෂ්ටිය හෙවත් පෙනීම පිළිබඳ අවුල් තත්ත්වයන්ද ඇතිවිය හැක. වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසු වුවත් සමහරුන්ට ලොකු වූ පසුවත් බුද්ධි හීනතාවය ඇතිවිය හැක. කුඩා ළමයින්ට පක්‍ෂඝාතය හෝ තුනටියෙන් පහළ පණ නැතිවීම වැනි තත්ත්වයන් ද ඇතිවිය හැක. එසේ වන්නේ මොළයේ සහ කොඳු ඇට පෙළ මිදුලුවල ඉදිමීම නිසා විය හැක. එසේම තදබල ප්‍රතිශ්‍යා උණ නිසා ද සමහර විට මෙම මස්තිස්ක ප්‍රදාහ නමැති රෝගය ඇතිවිය හැක. එසේ වූ විට දරුණු හිසරදය, වමන, දැඟලීම, වෘච්ඡාව ආකෝෂ ආදී ලක්‍ෂණ ඇතිවිය හැක. පක්‍ෂඝාතයද ඇතිවිය හැක.
මස්තිස්ක ප්‍රදාහ ඇති වූ කල රෝග ලක්‍ෂණ කුමක් වුවත් පළමුවෙන්ම ප්‍රතිෂ්‍යා උණට හෝ වෛශේෂක ජ්වරයට නියමිත ප්‍රතිකාර කළ යුතුය. ප්‍රථමයෙන් ප්‍රතිෂ්‍යා උණට නියමිත ප්‍රතිකාර කර පසුව ඔළිඳ, කුප්පමේණිය, ආඩතෝඩා, සියඹලා, යකිනාරං යන කොළ වර්ග අමු ඉඟුරු සුදු ළුෑනු එක පමණ ගෙන එකට කොටා යුෂ ගෙන කළු කුමාර ගුලි බහා දෙනු. ඊට විරේක වන නිසා එක් වරක් පමණක් දීම සුදුසුය. ඉන් පසු උණට නියමිත ආනන්ද භෛරව රසය ඒ අනුපාතයෙන්ම හෝ වෙනත් සුදුසු ගුලි වර්ගයක් දීම සුදුසුය. ඊට පසු දාරුපපිටාදි කසාය හෝ ඇහැල කරල් මද කසාය සුදුසුය.
මොළයට සම්බන්ධ තවත් රෝගයකි මස්තිස්ක විදාය. මොළයේ සැරව ගෙඩි කර්ණ රෝග, පීනස් රෝග, නාස් වණ, පුප්ඵුස රෝග ආදිය නිසාද උපදංශ නිසාද යම්කිසිවකුගේ මොළයේ විදායි හෙවත් සැරව පිරි කුහර ඇතිවිය හැක. මෙම තත්ත්වය ඇතිවන්නේ විෂ හෝ විෂ කරන ජීවානු මොළයට වැදීමෙනි.
මැද කණෙහි තුවාල ඇතිවූ කල එයිනුත් පහසුවෙන් මොළයට විෂ ඇතුළුවිය හැක. විදායි ඇතිවූ කල තද හිසරදය හා වමනය ඇතිවෙයි. ශරීරයේ උෂ්ණත්වය ද වැඩි වෙයි. අවිවේක ගතිය ඇතිවෙයි. නැවතත් ඒ කලබල ගතිය නැති වී නැවත එම තත්ත්වය නැතිවී නින්දට වැටෙයි. එවිට උෂ්ණ ගතිය අඩුවෙයි. විදායි කීපයක්ම ඇතිවිය හැකි අතර සමහර විට පශ්චාත් කපාලයේම ඇති වෙයි. හිසරදය ප්‍රධාන ලක්‍ෂය වන අතර ඉක්මනින් සුව නොවුණොත් අධික කපාල වාතයට හැරීමට ඉඩ ඇත. උපදංශ හේතුවෙන්ද මෙය සිදුවිය හැක.
මීට ප්‍රතිකාර වශයෙන් හිසේ තෙල් ගැල්වීම සෙමද දීම නශ්‍ය කිරීම වැනි දේ කළ යුතුය. ලේ ශුද්ධ කරන අමෘතාදි කසාය පටෝලාදි කසාය මංජිෂ්ටාදි කසාය හෝ මුත්‍රයෙන් සිද්ධ කර ඇසල පැණි දමා පානය කිරීම ඉතා ප්‍රත්‍යක්‍ෂ වේ. උපදංශ නිසා ඇති වූයේ නම් රස භෂ්ම හෝ රස මාණික්‍ය මීපැණියෙන් හත් වරුවක් දීමෙන් මස්තිස්ක විදායි රෝගය සුව වෙයි.
මස්තිස්කාර්බුද (මොළයේ තඩිස්සිය වායු ගෙඩි) යන රෝගය ද මොළයේ ඇතිවන රෝගයකි. මෙම අර්බුද පිළිකා ආකාරයෙන් ද, පල්ලක් මෙන්ද මස් දලු මෙන්ද කොස්සක් මෙන්ද ඇති වෙයි. ඒවා කිසියම් ද්‍රාවයක් පිරී උඩින් මැස්මක් තිබෙන ගෙඩි වශයෙන්ද ආදී වශයෙන් මෙම මස්තිස්කාර්බුද ඇති වෙයි.
මෙය සෑදුන කල හිසරදය, වමන, දෘෂ්ටි විකාර පෙනීම අඩු වැඩි වීම තාපය අඩුවීම, නාඩි වේගය අඩුවීම වැනි ලක්‍ෂණ ඇති වෙයි. මස්තිස්ක විකාරවලදී හෘදය ගැස්ම අඩුවෙයි. ආක්ෂේප ක්ලාන්තය මෘච්ඡාව සන්න්‍යාස ආදිය කොයි වේලාවේ හෝ හදිස්සියේ ඇතිවෙයි. රක්ත ශ්‍රාවය හෝ මොළේ ඉදිමීම ඇතිවේ. ආක්ෂේප මුර්ච්ඡා සන්‍යාස ආදී මානසික විකාර ආදිය හදිස්සියේම ඇති වී මරණය පවා සිදුවිය හැක. බොහෝ විට රාත්‍රියට වමනය අධික වේ. නාඩි සම්බන්ධ අර්බුද ඇතොත් බිහිරි බව ක්ලාන්තය ආදිය ඇති විය හැක.
මේ සඳහා චිකිත්සා වශයෙන් රස භෂ්ම හෝ රස මාණික්‍ය (රංගිරියල් භෂ්මය) කොහොඹ පොතු යුෂින් හෝ ලුණුවිල යුෂින් උදේ දින හතක් බීම සුදුසුය. මේ අතර හෝ පසුව වාතරක්ත අද්ධ්‍යයේ එන මංජිෂ්ටාදි කසාය අමෘතාදි කසාය ගෝ මුත්‍රයෙන් සිද්ධ කර දීම සුදුසුය. සීත මුල් අන්තර්ගත යෝග ද කසායවලට වඩා ඉක්මණින් ගුණ දෙයි. අභය දිගුග්ගුලය බිල්වාදි චූර්ණය ලක්‍ෂ්මි විලාස තෛලය ආදිය ද ඉතා සාර්ථක ගුණ ගෙන දෙයි.
මස්තිස්කාම්බු රෝගය ද මොළට සම්බන්ධ රෝගයකි. මෙහි ලක්‍ෂණය වන්නේ මස්තිස්කය හා කපාලය අතර ජලය පිරීමයි. ඉපදීමට පෙර ඇති වූ වරදක් නිසා හෝ උපන්නාට පසු ඇතිවන වරදක් නිසා මෙය ඇතිවෙයි. අර්බුද ප්‍රදාන උපදංශ ආදිය ද මෙය හේතුවෙයි. මෙහි බොහෝ ලක්‍ෂණ මස්තිස්ක ධාරා ප්‍රදාහයට සමානය.
මේ සඳහා චිකිත්සා වශයෙන් වාත කසාය වාත රක්ත කසාය ආදිය විරේක තෙල් බහා දීමෙන් මහ ගුණ ලැබෙයි. පීත මූල්‍යාදි කසාය අම්බු ශෝෂණ චූර්ණය කුංකුමාදි ඍතය රස තෛලය ආදිය ඉතා ගුණදායකය. වහ්නි භාසකර රසද ඉතා යෝග්‍යය.
රා.මු.ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
වේගොල්ල මාස්පොත
0723920873