බ්‍රහස්පති ග්‍රහයා ධනු රාශියට පිවිසීම රටට හා ඔබට කෙසේ වේවිද? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න

වසර එකොළහකට පසුව සිදුවන අති දුර්ලභ ප්‍රබල බලවත් ග්‍රහ මාරුවක්.

ක්‍රි.ව. 2019 ක් වූ නොවැම්බර් මාසේ පස්වන අඟහරුවාදා දින පූර්ව භාග පහ පසුවී විනාඩි විසිපහට බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාට ශුභ වූ මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර නම් බලයට පැමිණෙන ධනු රාශිය හෙවත් තමාගේ නිවසට පිවිසීම සිදුවන අතර බ්‍රහස්පතිගේ බලවත් වීම නිසා බොහෝ ශුභ කටයුතු හා රටට යහපත් දේ යහපත් නායකයින් බිහි කරවනු ඇත.

ලංකාවට හිමි කුම්භ ලග්න කේන්ද්‍රය තුළ එකොලොස්වැන්න හෙවත් අයස්ථානගතව බ්‍රහස්පති ග්‍රහයාගේ පැමිණීම අනුව මෙම වකවානුව, එනම් 2020 මාර්තු 30 සඳුදා පාන්දර 3 පසුවී විනාඩි 48 දක්වා ධනු රාශිගතව ප්‍රබල  ශුභ ගමනක  බ්‍රහස්පති ග්‍රහයා ගමන් කර නැවත මකර රාශි ගතවීම සිදුවේ.

වර්ෂ 2020 මැයි 14 රාත්‍රී 8 පසුවී විනාඩි 3 නැවත වක්‍රව ගමන් කිරීම ආරම්භ කර 2020 ජුනි 30 පස්වරු 5 පසුවී විනාඩි 59 ට ධනුරාශි ගතවීම සිදුවේ. මේ අනුව බ්‍රහස්පති ග්‍රහයා වර්ෂ 2020 නොවැම්බර් මස 21 දින දහවල් එක පසුවී විනාඩි විසිදෙක දක්වා ධනු රාශිය තුළ සිටින කාලය තුළ රටේ හා ජනතාවගේ යම් යම් ප්‍රශ්න සඳහා සහන වැඩ කටයුතු පවතින රජයක් විසින් ඉටු කරයි.

මෙම ප්‍රබල ග්‍රහ මාරුව උදා වීමෙන් පසුව මේ කියන ශුභ කටයුතුවලට හා රටේ පැවැත්මට වැඩ දායක දේ සිදුවනු ඇත.

1)     රටට බලවත් වැඩදායක ඵලදායක විශිෂ්ඨ නායකත්වය
2)     මෙම කාලය තුල බ්‍රහස්පති ග්‍රහයා ශුභ නැකැත්වල හා සදු ග්‍රහයාගෙන් යහපත්ව පිහිටන කාලවලදී උපත ලබන දරුවන් බලවත් වීම, ඥාණය හා කීර්තිමත් බලවත් ගුණවත් උගත් දරුවන් බිහිවීම.
3)    විදේශ ආධාර ලැබී රට තුල විශාල යෝධ සංවර්ධන වැඩපිළිවෙළවල් රැසක් ආරම්භ වීම හා ඒවා සාර්ථකව කර ගැනීමට හැකි වීම.

4)    පූජනීය ස්ථානවල අලුත්වැඩියා කටයුතු හා අලුතින් ආරම්භ කරන වෙහෙර විහාර ඉදි කිරීම්වලට ඉතාම යහපත් කාලයක් ද වෙයි.

5)    දේවාල ඉදි කිරීම්වලට නේත්‍ර තැබීම් සඳහා ද ශුභ වන අතර දේව බලය විශ්වයේ ශක්තීන් ලබා ගෙන ගැති දන වෙත සේවය ලබා දෙන යහපත්ව කටයුතු කරන සැමටම දේව ආශීර්වාදය ලබා ගැනීමට හොද කාලයක් වෙයි.

6)    ඉගෙන ගන්නා සෑම දෙනාටම කුමන ශිල්පයක් හදාරන අයට වුවද ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීම මගින් විපුල ඵල නෙලා ගැනීමට හැකි කාලයක් වනු ඇත.

7)    සසර දුකින් මිදීමට වෙහෙස මහන්සි දරන කාට වුවද එහි නියම ඵල අත්කර ගැනීමට මාර්ග ඵල ලබා ගන්නට ඉතාම යහපත් කාලයක් වනු ඇත.

8)    නිතරම තුනුරුවන් වැඳ දෙවියන් වදින අයට තමාගේ යහපත් සිතුවිලි බලාපොරොත්තු ඉටු කරගැනීමට ද දේව අශීර්වාදය ලැබීමට සුදුසු කාලයක් වෙයි.

9)    යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යා කටයුතු කරන අයට විශ්වයේ ශක්තීන්ගෙන් ප්‍රයෝජන ගන්නා අයට එහි බල පිහිටුවා ගන්නට බලගතු යන්ත්‍ර ජීවම් වලට ඉතා හොඳ ශුභ කාලයක් වනු ඇත.

10)    සංගීත, චිත්‍රපට නාට්‍ය හා කලා නිර්මාණ කරන අය විසින් සාර්ථක නිර්මාණ බිහි කරන කාලයක්ද වෙයි. සාර්ථක නිර්මාණ බිහි වෙයි.

11)    ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා වැරදි කරන අසරණ අහිංසක මිනිසුන්ට බලවත්කම් පෙන්වන අයට නීතියෙන් දඬුවන්වලට අමතරව ස්වභාවධර්මයේ දඬුවම් ද ලබා දෙන කාලයයි.

මේෂ ලග්නය

පෙර පිං බල ඉස්මතුව ධනය ඉගෙනීම හා විදේශ ගමන් සාර්ථක වීම.

ඔබගේ කේන්‍ද්‍රය තුල බ්‍රහස්පති ග්‍රහයා නමවැන්න හෙවත් භාග්‍ය ස්ථානගතව පැමිණීම ඔබට තිබූ කරදර අවහිර බාදා රැසක් දුරුවන කාලයක් වෙයි. ඉගෙනීම් කටයුතු සාර්ථක වනු ඇත. විදේශගතව ඉගෙනීමට ද ශුභ වේ. උසස්වීම් හා රැකියාවේ ශුභ තත්ත්වය උදාවෙයි. වාසනාවන්ත කාලයක් වෙයි. නිතර පිං දහම් කරන අයට දේව ආශීර්වාදය ලබා ගෙන තම යහපත් අදහස් ඉටුකරගැනීමට පුළුවන් ධර්ම මාර්ගයේ ගමන් කරන අයව එනම් භාවනා කරන අයව සිත දියුණු කිරීමට උනන්දුවන අයව සාර්ථක ප්‍රතිඵල ගන්න ඉතාම ශුභ කාලයක් වෙයි. උත්සාහයේ තරමට මාර්ගඵල ලබා ගැනීමට හැකියාව ඇති හොඳම කාලයක් වෙයි. පිං කරන තරමට ඔබ ආරක්ෂා වෙයි.

කළයුතු වතාවත් : විෂ්ණු දෙවියන්ට පහන් දල්වා, කතරගම දෙවියන්ට, රතු, කහමල් පූජා කර පිං දෙන්න. රතු නෙළුම් මල් 7 ක් පූජා කරන්න. නිතරම සිල් ගැනීමට උනන්දු වන්න. මෛත්‍රී භාවනාව කරන්න. බ්‍රහස්පති කේන්‍ද්‍රයේ ශුභව ඇත්නම් බ්‍රහස්පති මහ දශාව හෝ අන්තර් දශාව ලබා ඇත්නම් ඔබට වාසනාව හිමිවේ. පෙර පිං බලය ඉස්මතුව ආගිය තැන ලැබීම ඇතිවේ.

වෘෂභ ලග්නය

පිංදහම් වල යෙදීමෙන් අසනීප හා කරදර බාධා අඩුවේ.

ඔබගේ කේන්ද්‍රය තුළ බ්‍රහස්පති ග්‍රහයා අටවැන්න හෙවත් මාරක ස්ථානයට පැමිණීම සිදුවෙයි. මෙය ඔබට පීඩා කරදර හා රෝගී තත්ත්වයක් ඇති කරන ග්‍රහ මාරුවක් වන අතර බලාපොරොත්තු කඩවීම් හිතට දුකදීම් ඇති වේ. මුත්‍රාවල හා ආමාශගත රෝග මෙන්ම තුනටියේ අමාරුද මතුවීමට ඇත. රෝහල්ගත වන තරමට අගුණවීමට ඇත. ඔබ කවදත් බුදුගුණ පිළිගන්නා සත්‍යවාධීව යහපත සිතන බැවින් ඔබට බුදුගුණ මෙනෙහි කිරීමෙන් යහපත උදාකර ගත හැකිවෙයි. ඉතාම ප්‍රවේශම් වීම හා ණයවීමට පවා කරුණු උදාවේ. හදිසි විපත් අනතුරු පවා ඇත. වර්ෂ 2020 ජනවාරි 25 දක්වා අගුණ තදින්ම දැනෙනු ඇත. හිතට දුක හිත කළකිරීම් බාධා කරදර එකපිට එනු ඇත.
කාට හොඳ කළත් ගුණයක් ද නැතිවේ.

කළයුතු වතාවත්  : බෝධි පූජාව තබන විට බෝධිමළුව අතුගෑම කර මල් ආසන පවිත්‍ර කරන්න. විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටි පූජා කර එළඟිතෙල් පහන් ද දල්වා පිං දෙන්න. බෝගස ස්පර්ශ කරන්න. සිල් මෑණියන්ට දාන වේලක් දෙන්න. මහා සංඝ රත්නයට පිරිකර පූජා කරන්න. කතරගම දෙවියන්ට රතු හා කහ මල් පූජා කර පිං දෙන්න.

බ්‍රහස්පති මහා දශාව හෝ අන්තර් දශාව ගත කරනවා නම් අගුණ වැඩිවේ. බ්‍රහස්පති ග්‍රහයා කේන්ද්‍රයේ ද දුර්වල තැනක සිටී නම් අශුභ නැකැත්වල ගමන් කරන කාල වල ඔබට කරදර පීඩා වැඩිවනු ඇත. මෙම දශාවක් ශුභව ඇතිනම් කරදර අඩුවේ. යහපත්ව කාලය ගත වෙයි.

මිථුන ලග්නය

හවුල් වී කරන වැඩ හා මංගල කටයුතු සාර්ථක වීම.

ඔබගේ කේන්ද්‍රය තුළ හත්වැන්න හෙවත් විවාහය ගැන බලන භාවයට බ්‍රහස්පති ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර හවුල්ව කරන දේවලින් තරමක් යහපත් බව ලැබේ. මංගල කටයුතු ප්‍රේම සම්බන්ධ ඇතිවීම ඒවාට හිත යොමුවීම සිදුවෙයි. ඉගෙනීමේ කටයුතු ද සාර්ථක වන අතර ඉගෙනීමේ උනන්දුව ඇතිවේ. කාර්මික  අංශ පරිගණක හා විදුලි යාන්ත්‍රික හා වාහනවල සම්බන්ධ දේට හා ඉංජිනේරු කටයුතුවලට යහපත් කාලයක් වෙයි. ඉගෙනීමේ සාර්ථක බව ලැබේ. විවාහය ප්‍රමාද වුන අයට විවාහ දෝෂ ඉවත්වී යහපත් වේ. රැකියා දියුණුවට උසස්වීම්වලට ද ශුභයි.

කළයුතු වතාවත් : බෝධි පූජාව තබා ගන්න. බෝධියට හා විෂ්ණු දෙවියන්ට නිල්මල් හා කහමල් පූජා කර පිං දෙන්න. විෂ්ණු දෙවියන්ට එළඟි තෙල් පහන් 3 ක් දල්වා පිං දෙන්න. ඔබ ශාස්ත්‍ර ගුරුකම් වැඩිය පිළිගන්නේ නැති උවත් විෂ්ණු හා කතරගම දෙවියන්ට මල් පහන් පූජා කර සෙත ලබාගන්න. කතරගම දෙවියන්ට තලතෙල් පහන් 3 ක් දල්වා පිං දෙන්න.

බ්‍රහස්පති මහ දශාව හා අන්තර් දශාව ගත කරන අයට ගුණ අගුණ මිශ්‍රව ගෙන දෙයි. බ්‍රහස්පති ග්‍රහයා ශුභ නැකැත්වල ගමන් කරන කාලවල ශුභ වේ. තමන්ගේ සිතුම් පැතුම් ඉටු වෙයි.

කටක ලග්නය

රහස් සතුරු කරදර පීඩා ආවත් ඒවා මැඩ පවත්වයි.

ඔබගේ කේන්ද්‍රය තුළ හයවැන්නට බ්‍රහස්පති ග්‍රහයා පැමිණීම අනුව එම ස්ථානය රෝග ගැන හා සතුරන් ගැන කියවන භාවය බැවින් ඔබට රහස් සතුරු කරදර ඒමට ඇත. ඔබ කවදත් යහපත් බවින් යුතු බැවින් පිංකර එම සතුරු බල වේග ඉවත් කර ගන්න. විදේශ ගමන්වලට ද ශුභවේ.  ඉගෙනීමේ වාසනාව ලබාදේ. කරදර ආවාත් නැවත යථා තත්වයට පත්වෙයි. ඔබගේ කේන්ද්‍රයට බ්‍රහස්පති ග්‍රහයා ශුභ ග්‍රහයෙකු බැවින්  ඔබට හැමවිටම යහපත උදාකර දෙන්නට බලපානු ඇත. උසස් අධ්‍යාපනයට ශුභවේ.  වන්දනා ගමන් විදේශ වන්දනා  ගමන් සාර්ථක වෙයි.  පිංදහම්වල යෙදෙමින් හිත සතුටට පත්වන කාලයයි. ඔබට බඬේ ආමාශගත රෝග හා මුත්‍රාවල දෝෂ මෙන්ම සෙම් රෝග ද බලපානු ඇත.

කළයුතු වතාවත්  :
බෝධි පූජාව දින 7 ක් තබාගෙන බෝධියට හා කතරගම දෙවියන්ට රතු හා කහමල් පූජා කර කතරගම දෙවියන්ට තලතෙල් පහන් ද දල්වා පිංදෙන්න. විෂ්ණු දෙවියන්ට නිල්මල් වට්ටිය පූජා කර එළඟිතෙල් පහන් 3 දල්වා පිංදෙන්න. ගණදෙවියන්ට කහමල් පූජා කර සෙත ලබාගන්න.

බ්‍රහස්පති මහ දශාව හෝ අන්තර් දශා ලබා ඇති නම් එම බ්‍රහස්පති කේන්ද්‍රයේ ශුභ තැනක සිටීම අනුව බ්‍රහස්පති ශුභ නැකැත්වල ගමන් කරන කාලය ඔබට ශුභඵල අත්වෙයි. ඔබගේ කටයුතු සාර්ථක වනු ඇත.

සිංහ ලග්නය

උත්සාහ උනොත් ඉගෙනීමේ සාර්ථක ප්‍රතිඵල ලැබේ.

ඔබගේ කේන්ද්‍රය තුළ බ්‍රහස්පති ග්‍රහයා පස්වැන්න හෙවත් විද්‍යා ස්ථානයට පැමිණීම ඔබට ඉගෙනීමේ යම් යම් බාධා මතු වුවත් හිතට කරදර පීඩා ගෙන දුන්න ද හැකි පමණ පිංදහම් කර සෙත ලබා ගන්න උත්සාහ ගන්න. ඉගෙනීමේ ජය ඇත. රැකියාවේ මහන්සියේ තරමට ප්‍රතිඵල අඩුවේ.

නමුත් ඔබගේ උත්සහ වන්ත බවින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත. ඔබට බ්‍රහස්පති ග්‍රහයා මාරක ග්‍රහයෙකු ලෙස කටයුතු කරන බැවින් ඒ තත්වය යහපත්  අතට යොමු කරවා ගැනීමට අසරණ දුප්පත් අයට කෑම ලබාදෙන්න. ඇඳුම් දෙන්න. සිල් ගන්නා අයට සිල් රෙදි ලබාදෙන්න. මෙම ග්‍රහ මාරුව ඔබට ගුණ අගුණ මිශ්‍ර ඵල උදා කරයි. අශුභ තත්ත්වයක් ශුභ බවට හරහා ගැනීමට ඔබ උත්සාහය හා මහන්සි ගත යුතු වෙයි.

කළ යුතු වතාවත් : බෝධි පූජාව උදේට තබා කිරි ආහාර පූජා කරන්න. බුද්ධ පූජාවට  හැකිනම් අෂ්ඨපාන සාදා පූජා කරන්න. කතරගම දෙවියන්ට කහමල් වට්ටි පූජා කරන්න. තලතෙල් පහන් 3 දල්වා පිංදෙන්න. මහා සංඝ රත්නයට පිරිකර පූජා කරන්න.  බෝධි මළුව නිතරම අතු ගා පවිත්‍ර කරන්න.

බ්‍රහස්පති මහා දශාව හෝ අන්තර් දශාව ගත කරන අයට ශුභඵල අඩුවේ. නමුත් බ්‍රහස්පති ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ ශුභ රාශිගතව සිටීමෙන් ඔබට ඇතිවන බොහෝ අගුණ සමනය වනු ඇත. බ්‍රහස්පති අශුභ නැකැත්වල  ගමන් කරන විට අගුණ වෙයි. ශුභ නැකැත්වල ගමන් කරන විට මධ්‍යස්ථ වෙයි.

කන්‍යා ලග්නය

ප්‍රමාද වුණු මංගල යෝග හා ගෙදර වැඩ සාර්ථක වෙයි.

ඔබගේ කේන්ද්‍රය තුළ හත්වන භාවයට ගුරුගේ පැමිණීම  අනුව ඔබගේ කේන්ද්‍රයට අනුව බාධක ග්‍රහයා හත්වැන්නට පැමිණීම ඔබට ගුණ අගුණ මිශ්‍රඵල උදා කරයි. ගෙදර අතපසු වුන අලුත් වැඩියා කටයුතු දියුණුවට කරන දේ නැවත ටික ටික හරියනු ඇත. නමුත් ස්ථාන දෝෂ බලපාන බැවින් ගෙදර සමගියට බාධාවීම් මතුවෙන බැවින් ඊට අදාළ සෙත් පතා ගන්න. මංගල යෝග සාර්ථක වීමට ඇත. නමුත් තමා නොගැලපෙන කටයුතු කරන්නා හෝ රැවටීමට අසුවීමට ඇති බැවින් එම තත්ත්වයෙන් ප්‍රවේශම් වන්න. රෝග ලෙස බඬේ රෝග, ආමාශගත රෝග හා පපුවේ රෝග මතුවීමට ඇත. ඉඩම්වල ආරවුල් මතුවීමට ඇත. නීති ප්‍රශ්න පවා ඒමට ඇති බැවින් ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබගේ මනුෂ්‍යකමින් කපටි අය ඔබව මුලා කර අසරණ කිරීමට ද බලයි. හොඳ නරක තෝරා බේරාගෙන කටයුතු කරන්න ගන්න.

කළයුතු වතාවත් : බෝධි පූජා දින 07 ක් තබාගෙන බෝධි මළුව අතුගෑම කරන්න. විෂ්ණු දෙවියන්ට නිල්මල් පූජා කරන්න. ගණදෙවියන්ට කහමල් වට්ටි 03 ක් පූජා කරන්න. කතරගම දෙවියන්ට රතුමල්, රතු නෙලුම්මල් පූජා කරන්න. කුරුල්ලන්ට වතුර බීමට තබන්න.

බ්‍රහස්පති මහා දශාව හා අන්තර් දශාව ගත කරන අයට ගුණ අගුණ මිශ්‍ර වේ. ඔබගේ කේන්ද්‍රය තුළ බ්‍රහස්පති බලවත්ව ඇත්නම් එම ග්‍රහයා ශුභ නැකැත්වල ගමන් කරන කාල ඔබට ශුභ වෙයි. අශුභ නැකැත්වල ගමන් කරන කාලවල ඔබට කරදර මතුවේ.

තුලා ලග්නය

ක්‍රියාශූර බව හා ඉගෙනීමේ සාර්ථක බව ඇති වේ.

ඔබගේ කේන්ද්‍රය තුළ තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයට බ්‍රහස්පති ග්‍රහයාගේ පැමිණීම මගින් ඔබට වෙනදාට වඩා යම් උද්යෝගී බව හා කරන වැඩ වලට උනන්දුව ඇතිවේ. සහෝදරයින් පිළිබඳව ප්‍රශ්නවලදී කල්පනාකාරී වන්න. තමාට ඒ සඳහා වියදම් කිරීම් හා එම අයගේ දේට මහන්සිවීමට කරුණු උදාවෙයි. එම දේවලින් ඔබට දුක් කරදර ද මතුවීමට ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ක්‍රීඩා කරන හා ශරීර ස්වභාවයන් සඳහා යොමුවන අයට ශුභවේ. හිතට ගතට ශක්තිය ලැබී නව උද්ධාමයක් ඇතිවේ. විදේශගත අයට තම නෑදෑයින්ට උදව් කරන්නට සිදුවේ. ඔබ නිතරම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නා බැවින් සහෝදර ප්‍රශ්න මතු වුනොත් කල්පනාකාරීව එම අයට දුකට පිහිටවන්න. ඔබගේ ජීවිතය තුළ මනුෂ්‍යකම මත යහපත් දේ සිදුවීමට ඇත. නමුත් බඬේ ආමාශගත රෝගවලින් ආරක්‍ෂා වන්න. දුක්කරදර මැදින් යහපත උදාවන කාලයක් වෙයි.

කළයුතු වතාවත් : බෝධි පූජාව දින 7 ක් තබාගෙන උදේට කිරි ආහාර බුද්ධ පූජාව තබා කහමල් වට්ටි 3 ක් පූජාකර තලතෙල් පහන් 3 ක් පත්තිනි මෑණියන්ට දල්වා සෙත් ලබාගන්න. විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටි 3 ක් පූජා කර එළඟිතෙල් පහන් 3 ක් දල්වා පිංදෙන්න. කතරගම හා ගණදෙවියන්ට පූජා තබා ගන්න.

බ්‍රහස්පති  මහ දශා අන්තර් දශා ගත කරන අයට ඔබගේ කේන්ද්‍රය තුළ බ්‍රහස්පති ග්‍රහයා උපතේදී බලවත්ව පිහිටා ඇත්නම් හා බ්‍රහස්පති ශුභ නැකැත්වල ගමන් කරන කාලවලදී ශුභඵල උදාවනු ඇත.

වෘශ්චික ලග්නය

වෙළඳාම් ව්‍යාපාර වලින් ධනය, දියුණුව ලබාදෙයි.

ඔබගේ කේන්ද්‍රය තුළ ධනස්ථානය කියන භාවයට බ්‍රහස්පති ග්‍රහයා පැමිණෙයි. ඔබගේ ලග්නයට අනුව මෙම ග්‍රහ මාරුව ඔබට යහපත උදා කරවයි. අතමිට වෙනදාට වඩා සරුවීමට කරුණු උදාවෙයි. ආදායම් මාර්ග පෑදේ. උනන්දුව ඇතිවේ. ණයට දුන් මුදල් ලැබීමට ද ශුභවේ. ණයට ඉල්ලුවත් වර්ෂ 2020 ජනවාරිවලින් පසුව ලැබීමට ශුභවේ. ඔබට නොසිතූ විරූ ධන බලයක් උදාවන කාලයක් වෙයි. කාතවේ බලය ඇතිවේ. කතාවේ බලයෙන් වැඩ කරන අයට ශුභයි. තම අදහසට පිටඅයට නම්මාගත හැකිය. තමා මොනදේ කීවත් ඔහුත් පිළිගනු ඇත. පිංදහම්වල යෙදෙන තරමට අධික ගුණ ලැබේ. කතරගම දෙවි අදහන අයට ධන බලය වැඩිවේ. මෙවැනි කාලයක් නැවත කාලයකට එන්නේ නැත. ඉගෙන ගන්නා අයට ද ශුභවේ. ඉගෙනීමට හිත ඇතිවේ. ඔබට පිළිගැනීම ඇතිවේ. අසාධාරණකම් මත  කරදර උන අයට සාධාරණය ඉටුවේ. යහපත්ව කරන වෙළඳාම් ව්‍යාපාර දියුණු වෙයි. ඉඩම් ගන්න වාහන ගන්න වාසනාව උදාවෙයි.

කළයුතු වතාවත් : බෝධි පූජාව දින 7 තබාගෙන විෂ්ණු දෙවියන්ට සුදු නෙලුම් මල් 7 පූජා කරන්න. ලක්‍ෂ්මි දේවියට කහමල් හා සුදු නෙලුම් මල් 7 පූජා කර තල තෙල්පහන් දල්වා පිංදෙන්න. කතරගම දෙවියන්ට කහමල් හා රතුමල් පූජා කරන්න. තල තෙල් පහන් 03 ක් දල්වාගෙන කතරගම දෙවියන්ට රතුමල් මාලා කරට දමා සෙත ලබා ගන්න. නැති බැරි අසරණ අයට කෑම හා ඇඳුම් දෙන්න.

බ්‍රහස්පති මහා දශාව හෝ අන්තර් දශාව ගත කරන අයට ගුණ අධිකව ලැබේ. ඔබගේ කේන්ද්‍රය තුළ ද බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව ඇතිනම් එම ග්‍රහයා ශුභ නැකැත්වල ගමන් කරන කාලවලදී ඔබට හැම අතින්ම ජය ගෙන දෙනු ඇත.

ධනු ලග්නය

උසස් ඉගෙනීම හා ගරු නම්බු නාම සැලකුම් ලැබේ.

ඔබගේ කේන්ද්‍රය තුළ බ්‍රහස්පති ග්‍රහයා ඔබගේ එක කොටුව හෙවත් ලග්නයට පැමිණීම ඔබට ශුභවේ. ඔබගේ සිතුම් පැතුම් යහපත් නම් ඒවා ඉටුවේ. කල්ගිය වැඩ ප්‍රමාද වුන විවාහ කටයුතු සාර්ථක වේ. නැතිනම් මංගල කටයුතුවලට ශුභ කාලයයි. පිංදහම්වල යෙදී භව ගමන දුකින් මිදීමට උත්සාහ ගන්නා අයට එම තත්ත්වයට දේව ආශිර්වාදය හා විශ්වයේ ශක්තිය ලැබේ. තමා කරන රැකියා කටයුතු දියුණු වේ. ඉගෙන ගන්නා අයට සාර්ථක භාවය ලැබේ. විභාග ජය ගැනීමට තමාටම උනන්දුව ඇතිවේ. කවුරුත් ඉගෙන ගන්න බල කරන්නට ඕන නැති බව තමාටම අවබෝධ වෙයි. නරකට හිත යොමු උනානම් නැවත හොඳ වෙන්නට අධිෂ්ඨාන කර ගැනීම ඇතිවේ. කලාතුරකින් උදාවන යහපත් ග්‍රහ මාරුවක් බැවින් ඉන් ප්‍රයෝජන ගන්න. දුකට පත් අයට උදව් කරන්නට සිතේ. නීතිය අකුරට සාධාරණව කිරීමට බලයි. හොරකම බොරුවට තැන නැතිවේ. සත්‍ය බවම අගය කරයි.

කළයුතු වතාවත් : බෝධි මළුව අතුගෑම හා මල් ආසන පවිත්‍ර කරන්න. කතරගම දෙවියන්ට හා ගණ දෙවියන්ට කහමල් පූජා කර පිංදෙන්න. විෂ්ණු දෙවියන්ට නිල්මල් වට්ටි 3 ක් පූජා කර එළඟිතෙල් පහන් 03 ක් දල්වා පිං දෙන්න. මහලු දුගී අසරණ අයට කෑම දෙන්න. ඇඳුම් දෙන්න. මහා සංඝ රත්නයට පිරිකර පූජා කරන්න.

බ්‍රහස්පති ග්‍රහයාගේ මහ දශාව හෝ අන්තර් දශාව ගත කරන අයට එම ග්‍රහයා කේන්ද්‍රය තුළ බලවත්ව පිහිටා ඇති නම් බ්‍රහස්පති ග්‍රහයා ශුභ නැකැත්වල ගමන් කරන කාලවලදී අධික ශුභඵල දෙයි. සිතුම් පැතුම් ඉටුවෙයි.

මකර ලග්නය

ලැබෙනවා වගේ දෙගුණයක් වියදම් වේ.

ඔබගේ කේන්ද්‍රය තුළ වැයස්ථානය හෙවත් දොළොස්වන භාවයට බ්‍රහස්පති ග්‍රහයා පැමිණීම ඔබට තරමක් අගුණ ගෙනදේ. දුරගමන් බිමක් යෙදේ.  විදේශ ගමන්වලට බාධාවීම් ආවාත් පසුව සාර්ථක වෙයි. රහස් සතුරු කරදර මතුවේ. මුදල් වියදම් වන්නේ තමාවත් නොදැනීම වෙයි. වැඩි ලෙසම මුදල් නාස්තිවීමට බලපායි. හිතවත් අයට හෝ නෑදෑයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් කටයුතු කරන්නට ගොස් තමා දුකට පත්වීමට ඇත. වරෙක තනිවුන බවක් දැනේ. නමුත් ඔබ හරිම උත්සාහවන්ත කෙනෙකු බැවින් නොපසුබට උත්සාහය මත නැවත යථා තත්ත්වයට පත්වීමට හැකියාව ඇත. මුදල් වංචාවලට අසුවීමට ඇත.  ගත්ත ණය මුදල් ලැබෙන්නේ නැත. ණයට ඉල්ලුවත් කවුරුවත් දෙන්නට කැමති නැති කාලයක් වෙයි. රෝග ලෙස තුනටියේ අමාරු හා මුත්‍රාවල දෝෂ හා පිටේ අමාරු මතුවීමට ඇත.

කළයුතු වතාවත් : නිතරම බෝධි පූජා තබා ගන්න. මහලු දුගී අසරණ අයට කෑම දෙන්න. වැඩිහිටි අයට සැලකීම යහපත් වේ. සෙනසුරාදා දිනවල කිරිබත් දාන උදේ 6 ට කපුටුදාන දීම හා කුරුල්ලන්ට වතුර බොන්නට තැබීම. සිල් ගන්නා අයට සිල් රෙදි පූජා කරන්න. විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටි 3 පූජා කර එළඟි තෙල් පහන් 3 දල්වා පිංදෙන්න. කතරගම දෙවියන්ට රතුමල් පූජා කරන්න. දැඩිමුණ්ඩ දෙවියන්ට පාට 4 ක නිල් මල් වට්ටි පූජා කරන්න.

බ්‍රහස්පති මහා දශාව හෝ අන්තර් දශාව ලබා ඇති නම් දැනට අගුණ බලපාන අතර වියදම් අධිකවීම සිදු වෙයි. බ්‍රහස්පති ග්‍රහයා කේන්ද්‍රය තුළ බලවත් නම් ශුභ ඵල ද අශුභව සිටී නම් අශුභ ඵල ද ලබාදෙයි.

කුම්භ ලග්නය

ලැබීම ඇතිවී නැතිවී යාමට කරුණු උදාවේ.

ඔබගේ කේන්ද්‍රය තුළ බ්‍රහස්පති ග්‍රහයා එකොළොස්වන භාවය හෙවත් අයස්ථානයට පැමිණීම අනුව ධන බලය ලැබෙන මාර්ග ඇතිවේ.  දියුණුවට යහපත් වේ. නමුත් ලැබුන දේ ප්‍රවේශම් කර ගැනීමට බැරිවී යන තත්ත්වය උදාවෙයි. හදිසි ධන ලාභ ඇත. ඒ සඳහා උනන්දු වන්න. කාර්මික අංශ විදුලි අංශ, ඉංජිනේරු බුද්ධිය ඔබට ඇති බැවින් ඔබ වරෙක ශූර ලෙස කටයුතු කරයි. ඔබට ඕනම දෙයක් කරන්නට හැකියාව වරෙක ඇතිවේ.  රැකියාවේ උසස්වීම්වලට ද යහපත් වෙයි. ධන බලයට ඉතා ශුභ කාලයක් වෙයි. වෙළඳාම් ව්‍යාපාර  කරන අයට ධනය ලැබීම් ශුභවේ. මංගල කටයුතුවලට ද ශුභවේ. නිතරම තමාගේ පාඩුවේ ඉන්නා ඔබට මෙම කාලය උනන්දු වුනොත් දියුණුව ලබාගත හැකිවෙයි.  කතාවේ බලය ඉස්මතු වේ. වාහන ඉඩම් මිලදී ගැනීමට සිත් පහළ වෙයි. ඒවා ඉටුවෙයි.

කළයුතු වතාවත් : බෝධි පූජාව දින 7 ක් තබාගෙන විෂ්ණු දෙවියන්ට නිල් මල් පූජා කරන්න. කාලිමෑණිට රතුමල් මාලා දමා සෙත ලබා ගන්න. මහලු අසරණ අයට කෑම හා ඇඳුම් දෙන්න. ඔබ ගුරුකම් ශාස්ත්‍ර පිළිගැනීම අඩුවුවත් බෝධි පූජාවක් හෝ තබා කතරගම දෙවියන්ට රතුමල් පූජා කර යහපත ඉල්ලන්න. ලැබෙනු ඇත.

උපතේදී බ්‍රහස්පති ග්‍රහයා බලවත් අයට අධික ගුණ ලැබේ. බ්‍රහස්පති මහ දශා අන්තර් දශා දැනට ගත කරන අයට ද ගුණ ලැබේ. නමුත් සුළු සුළු අගුණත් උදාවීමට ඇති බැවින් බෝධි වන්දනාව නිතරම කිරීම යහපත් වේ.

මීන ලග්නය

ඉගෙනීමේ ජය, රැකියාවේ උසස්වීම් දියුණුව

ඔබගේ කේන්ද්‍රය තුළ බ්‍රහස්පති ග්‍රහයා දස වැන්නට හෙවත් කර්මස්ථානයට පැමිණීම ඔබට නව රැකියා ලාභ හිමිවීම, රැකියා ස්ථිර වීම්, රැකියා ප්‍රමාද අයට ඒවා සාර්ථක වන තත්ත්වය.

ඉගෙනීමේ වාසනාව උනන්දුව ඇතිවේ. පිංදහම්වල යෙදෙන අයට භාවනා කරන අයට එහි නියම ප්‍රතිඵල අත්වේ. යහපත් සිතුම් පැතුම් ඉටුවී සෙත සැලසෙයි. ඔබට කලාතුරකින් උදාවන මෙම මාහැඟි ග්‍රහ මාරුව ඔබගේම යහපතට උනා සේ දැනේ.  ඉගෙන ගන්නා අයට ධාරණය මතකය ඇතිව විභාග ජය ගන්නට ඉතා යහපත් වේ.

විදේශගත අයට ද ශුභයි. අතමිට සරුවේ. ඉඩම් නිවාසවල දියුණුව හා වාහන ගැනීමට සිතන අයට ඒවා ඉටුවේ. වෙළඳාම් ව්‍යාපාර කරන අයට සතුරන් පරාජය කර ධනය සැපයීමට හැකියාව ලැබේ. සැමගේ හොඳ නමට ගෞරවයට ලක්වේ.

කළයුතු වතාවත්
බෝධි මළුව අතුගෑම හා මල් ආසන පවිත්‍ර කර ඊට පසුව බෝධි පූජාව තබාගන්න.  විෂ්ණු හා කතරගම දෙවියන්ට මල් පහන් පූජා කරන්න. කතරගම දෙවියන්ට හා ගණදෙවියන්ට තල තෙල් පහන් 3 බැගින් දල්වා පිංදෙන්න. විෂ්ණු ලක්‍ෂ්මි දේවියට සුදු නෙලුම් මල් 7 බැගින් පූජා කරන්න. සරස්වතී දේවයට කහමල් පූජා කරන්න.

බ්‍රහස්පති මහ දශාව හෝ අන්තර් දශාව දැනට ගත කරන අයට හා බ්‍රහස්පති කේන්ද්‍රය තුළ ශුභ ලෙස ඉන්නා අයට අධික ශුභඵල උදාවෙයි. සිතුම් පැතුම් ඉටුවෙයි. දියුණුවේ මාර්ග ඇතිවේ.

බ්‍රහස්පති ග්‍රහ මාරුව ඔබගේ ලග්නයට ශුභ හෝ අශුභ ඵල උදාකරන්නට හේතුවන උපත් ග්‍රහ බලය අනුවත් බලපානු ඇත. සඳු ග්‍රහයාගේ බලවත් වීම පුරපස හා අවපස ගැන බැලීම  සඳු ගමන් කරන භාව  හා රාශි ගැන බලා ශුභ තත්ව තවත් ශුභවීමට හා අශුභ තත්ත්වය තවත් අශුභ වීමට හේතු සාදක උදාවීමට පුළුවන. අනෙකුත් ග්‍රහයින් කේන්ද්‍රය තුළ සිටිනා තැන හා රාශිය අනුව ඔබට උදාවන යහපත හා අයහපත තීරණය වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
නිහාල් හේවාබටගොඩගේ
පානදුර – මාලමුල්ල
වැඩි විස්තර සඳහා 077 4181943