තුන් කල් සත්‍ය වන නිමිති හා පෙරනිමිති

ඉතා දුර ඈත අතීතයේ සිට වර්තමානයේ අද දවස දක්වා ස්වභාව ධර්මයේ නිර්මාන වූ විවිධ ස්වභාවික අජීවී වස්තූන්ද එසේම යම් සත්ව, පක්‍ෂි හා කෘමි චර්යා රටා තුළ ද දක්නට ලැබෙන ලකුණු, සංඥා හෙවත් වෙනස්වීම් පූර්ව නිමිති හෙවත් පෙර නිමිති සේ එදා මෙන් අදටත් එක ලෙස නොවෙනස්ව පවතී. පෙර නිමිති අතුරින් අතිමහත් බහුතරය ඍජුවම පරිසරය හා බද්ධය.


ජ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, හස්ත රේඛා ශාස්ත්‍රය, ද්වනි මුඛ ශාස්ත්‍රය ප්‍රමුඛ දේහ ලක්‍ෂණ විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව, ආයුර්වේදය, පංච පක්‍ෂි ශාස්ත්‍රය, තත්කාල ශාස්ත්‍රය සේම නිමිති ශාස්ත්‍රය ද පුරාණයේ චතුර්යුග අතුරින් ද්වාපර යුගයේ විසූ අෂ්ඨ සමාපත්තිලාභී, පංච අභිඤ්ඤාලාභී ඍෂි උතුමන් සකල මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යහ පැවැත්මට නිර්ලෝභීව ගුරු මුෂ්ඨි වලින් තොරව අංගසම්පූර්ණව ලොවට දායාද කෙරුවකි. අතීත තතු විමසන කල උක්ත විෂයන්ගෙන් බහුතරය වසර 5000 කටත් වඩා පැරණිය. නිමිති ශාස්ත්‍රයේ සුවිශේෂත්වය වනුයේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව සේම ආරම්භ වූ යම් කාල වකවානුවක් නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි වීමයි. ඒ අනුව මානව සංහතියේ ආරම්භයේ පටන්ම යම් යම් නිමිති පැවතියා යැයි සිතිය හැක.
නිමිත්ත හෙවත් සලකුණ යන්න ලක්‍ෂණ, සංඥා හෝ ශබ්ද තරංග වලින් යුතුය. නිමිත්තේ වූ සුවිශේෂත්වය වනුයේ යම් නිමිත්තක් ඊට අදාළ වූ යම් සිද්ධියකට සම්බන්ධ වන ශුභ හෝ අශුභ පූර්ව වශයෙන් ප්‍රකාශ කිරීමයි. එනම් නිමිත්ත අනුව පූර්ව නිගමනවලට සාර්ථකව එළඹිය හැක. නිමිති අතර පෙර නිමිති මනුෂ්‍ය ජීවිතයට ඍජුවම බද්ධය. බොහොමයක් පෙර නිමිති දීර්ඝ කාලයක් තුළ මිනිසා ක්‍රමයෙන් ලද ජීවින අත්දැකීම් ලෙස විග්‍රහ කළ හැක. නිමිත්තේ ශුභ අශුභ ජන වර්ග, අංගම් හා නොයෙක් සංස්කෘත රාමුන් මතද රට රටවල් හා ප්‍රදේශ වශයෙන් ද ඇතැම් විට වෙනස් වන අවස්ථාද වේ. ඊට බොහෝ විට හේතු කාරණා වන්නේ එම ජන කොටස්වල විශ්වාස, ඇදහිලි හා සිරිත් විරිත්ය. කෙසේ නමුත් ජ්‍යොතිෂ විද්‍යාත්මකව උපරිමයෙන්ම දෝෂ අවම වනසේ සකසා ගත් ශුභ නැකතකට වඩා පෙර මග නිමිති ශුභ බව සම්මත පිළිගැනීමයි. මන්ද යත් උපරිමයෙන්ම දෝෂ අවම වනසේ නිවැරැදිව නිසි ප්‍රමිතියෙන් යුතුව ශාස්ත්‍රානුකූලව සාදාගත් නැකතකින් නිසි ඵල ප්‍රයෝජන උපරිම වශයෙන් ලැබීමට නැකැත් හිමියා වාසනාවන්ත විය යුතුමය. එසේ නොමැති කල සෑදූ නැකතේ අසාර්ථකත්වය ක්‍ෂණිකව පෙර මග නිමිති කියාපායි.
සාමාන්‍යයෙන් ශුභ ගමනක් යන විට හෝ ශුභ කටයුත්තක් අරඹන විට මුලින්ම හමුවන පෙරමග නිමිත්ත ඉතා ශුභ විය යුතුය. මුල් පෙර මග නිමිත්ත ශුභ වන කල ගමනේ සාර්ථකත්වය උපරිමය. යම් ලෙසකින් පළමු පෙරමග නිමිත්ත අශුභ වුවහොත් දෙවනුවට හමුවන පෙරමග නිමිත්ත ශුභ විය යුතුය. මෙලෙස පළමු පෙරමග නිමිත්ත අශුභ වී දෙවන පෙරමග නිමිත්ත ශුභ වන කල සිදුකිරීමට යන කර්තව්‍යයේ ලද හැකි සාර්ථකත්වය මධ්‍යමය. යම් ලෙසකින් පළමු, දෙවන පෙරමග නිමිති අශුභ වී තෙවනුවට හමුවන පෙරමග නිමිත්ත ශුභ වූ කල යන ගමනේ සාර්ථකත්වය අවමය. එපමණක් නොව ඉහත කී පළමු, දෙවන හා තෙවන පෙරමග නිමිති ත්‍රිත්වයම අශුභ වන කල පිටත්වූ ගමන හෝ ආරම්භ කළ කටයුත්ත සම්පූර්ණයෙන්ම අතහැර දැමිය යුතුය. ඒ මන්දයත් එවැනි තත්ත්වයක් යටතේ යන ගමනේ හෝ ආරම්භ කිරීමට යන කටයුත්තේ සුලු වශයෙන් හෝ යම් සපලතාවයක් අපේක්‍ෂා කළ නොහැකි බැවිනි.
අතීතයේ පටන් පූර්වාචාර්යවරුන් මෙන්ම උගත් ජ්‍යොතිෂවේදීන් නිමිතින් පෙර නිමිතින් විවිධාකාරයට වර්ග කරනු ලබයි. ඒ අතර සිද්ධි, මනෝ, ස්වප්න, නිර්මාන හා ඉන්ද්‍රිය ගෝචර නිමිති යනු එක් වර්ගීකරණයකි. ස්ත්‍රීන්, පුරුෂයන් සතුන් හෝ පක්‍ෂීන්, අජීවී වස්තූන් හා ශබ්ද නිමිති යනු තවත් වර්ගීකරණයකි. එසේම ඇසට පෙනෙන පෙර නිමිති හා ඇසට නොපෙනෙන පෙර නිමිති ලෙසද ප්‍රධාන වර්ග 2 කි. එනමුත් උක්ත සියලු වර්ගීකරණයනට පරිබාහිර සාර්ථකම නිමිති වර්ගීකරණය තුළ නිමිති වර්ග 10 කි. ඒ ආගත, ශනි, දර්ශන, භාෂණ, ශ්‍රවණ, චිත්තාරම්භන, ඨින, සුපීන, තත්කාලීන සිද්ධ හා අක්‍ෂර ස්පර්ෂාදී නිමිත්ත ලෙසය. මෙකී නිමිති සියල්ල නැවත ශුභ හා අශුභ වශයෙන් දෙයාකාර බව පූර්වාචාර්ය නිගමනයයි. නිමිති වර්ගීකරණය නාමිකව ඉහත ආකාර නමුදු මේවා පිළිබඳ පිළිගැනීම හා විශ්වාසය දිනෙන් දින අප අතුරින් පිරිහී යයි. ඊට හේතු පාඨක වී ඇත්තේ නවීන විද්‍යාව හා තාක්‍ෂණය ඉතා ඉහළ දියුණුවකට පත්ව තිබීමයි. මේ නිසාවෙන් පුරාණයේ පැවති වටිනා කෙම් ක්‍රම, නිමිති, සිරිත් විරිත්, විශ්වාස හා ඇදහැලි නූතන පරපුර ගතානුගතික හනමිටි අදහස් එසේත් නැත්නම් මිත්‍යා මත යනුවෙන් හංවඩු ගසා බැහැර කරයි. එනිසාම ඒවා තුළින් ලද හැකි වටිනා ප්‍රයෝජන නොලබයි. විශේෂයෙන්ම මධ්‍යස්ථ මතධාරී නොවී අන්තගාමී වීම තුළ උක්ත තත්ත්වය නිර්මානය වී ඇත.
පුරානයේ විසූ උගතුන්, වියතුන්, සතුව තිබූ වටිනා මිල කළ නොහැකි උක්ත ශාස්ත්‍ර ආත්මාර්ථකාමීත්වයත් කුහක කමත් අඥාන පණ්ඩිතකමත් පටු පරමාර්ථ නිසාවෙනුත් ගුරුමුෂ්ඨි ලෙස සැඟවීමෙන් අද වන විට බොහෝ සෙයින්ම පරිහානි ගතවී නෂ්ඨ වී හමාරය. එලෙස වටිනා ශාස්ත්‍ර පරිහානිගත වීම තුළ ශේෂව ඉතිරි වූ අපටම අනන්‍ය වූ වටිනා උතුම් ශාස්ත්‍ර කොටස්ද ගුරු මුෂ්ඨි ලෙස සැගවුවහොත් එලෙස ශේෂව ඇති සියල්ල ද ලෝකයෙන් සදහටම අතුරුදන් වීමද වැඩි ඈතක නම් නොවේ. විශේෂයෙන් වර්තමාන විවිධ ක්‍ෂේත්‍රවල උගතුන් බහුතරය ඉහත කී විෂයන් සම්බන්ධව සුලුවෙන් හෝ හදාරා නොමැති නිසාත් යම් පමණ හෝ ප්‍රායෝගිකව නිරීක්‍ෂණය කර ඒ ඒ ශාස්ත්‍රයන්හි සත්‍යතාව අත්දැක නොමැති නිසාත් ඇතැම් ශාස්ත්‍ර තුළින් කියවෙනා කරුණු සිදුවීම් ලක්‍ෂණ සේම පලාපල තම තමාට අවාසිදායක නිසාත් උක්ත වටිනා සත්‍ය වූ ශාස්ත්‍ර දෙස උපහාසාත්මකව පටු කෝණයකින් අනුවන ලෙස බලා පුළුල්ව මධ්‍යස්ථව නොවිමසා කෙස් පැලෙන තර්ක විතර්ක ගෙනහැර පා එක හෙලාම නිසි වග විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරයි. අවඥාසහගතව බැහැර කරයි. මේ හරහා සිදුවනුයේ අනාගත පරපුරෙන් ඉහත කී ශාස්ත්‍රයන්හි නිසි දැනුවත්භාවය සහමුලින්ම ගිලිහී යෑමය. කෙසේ නමුත් අපේ සිංහල සංස්කෘතියටම අනන්‍ය වූ වටිනා නිමිති මෙන්ම පෙරනිමිති වලින්ද ගත යුතු දේ බොහෝය. එනිසා ඒවා සම්බන්ධව නිසි අයුරින් දැනුවත්ව කල්තියා විපත් දැන එය දුරලා සැපත සම්පත සතුට ළඟාකර ගන්න.
ජ්‍යොතිෂවේදී, දේශබන්දු,
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද,
පානදුර.