තදබල රෝග 33 ක් සුව කරන සිංහරාජ පැත්වන

අපේ සිංහල පාරම්පරික වෙදකමේ ඇති බලගතු බෙහෙත් වර්ග කීපයක් ගැන මා මීට පෙර ලිපි කීපයක් තුළින් හඳුන්වා දී ඇත. ඒ අතර ප්‍රාණජීව තෙල, ගර්භශාන්ති ගුලිය, ප්‍රතාපලංකේශ්වර රාවණ ගුලිය සහ රාජ අමෘත පාන ගුලිය යනාදිය ඇත. මා එසේ කරන්නේ ලෝකයේ කිසිම වෛද්‍ය ක්‍රමයකින් සුව කළ නොහැකි රෝග සුව කිරීමේ බලයක් ඇති අපේ වටිනා පාරම්පරික වෙදකමේ ඇති ඖෂධ වර්ග ගැන අපේ බොහෝ වෛද්‍යවරුන් නොදන්නවා විය හැකි යන අදහසිනි. එය වරදක් නොවේ යයි සිතමි. සමහර විට දන්නවා විය හැක. එහෙත් ඒ සඳහා යොදා ගන්නා ඖෂධ ජාති නොදන්නාකම, සොයා ගැනීමේ අපහසුතාවය මිල අධික බව යන කරුණු නිසාත් එම බෙහෙත්වර්ග නොනිපදවනවා විය හැක.


මා අද හඳුන්වා දෙන සිංහරාජ පැත්වන (පැත්වන = චූර්ණය) මහඟු ගුණ දෙන විස්මිත ඔසුවකි. එය වැළඳීමෙන් සුව කළ හැකි තදබල රෝග 33 කි. එනම්, දෑල රුජා, තිවිරවාත, කුඬල් වාත, අණ්ඩ වාත, ප්‍රමේහ රෝග, අලුහම්, පරංගි, ඔඩුවණ, අසාර්ධ ගෙඩි, පිළිකා ගඩු, උගුරේ වණ, හොරි, දද, කුෂ්ට, වාදන්, අර්ශස්, මුල ව්‍යාධි, භගංදර, දණහිස ඉදිමීම, සුලක්කට්ටු, අතපය කොරවීම, බාලයන්ගේ අසාර්ධ සෙම් ගඩු, නෙල්ලි ඇට මෙන් ගෙල වට එන කුරුන්දම්, ලේ සාරේ යෑම, කොන්ද රිදී එන ගල්තෙංගු, ලිඟු වන, උපදංශ, අරවන, පීනසය, දිය පීනසය, දත් මුල් සෙලවීම, දත් මුල්වලින් ලේ සාරේ යෑම යනාදී රෝග රැසකි.
සිංහරාජ පැත්වන සෑදීමට අලබේත් (චීනල) වැඩිපුර ගෙන වියලි ඉඟුරු, සපුමල් කැකුළු, කොරාසානි, ගල්කූරු මුල්, කුරිඤ්ඤං මුල්, වල් දෙහි මුල් ආදී ඔසු වර්ග 16 ක් අවශ්‍යය. එම ඔසු වර්ග සිහින්ව කපා ඒ ඒ වර්ගය අනුව කලං ප්‍රමාණයට කිරාගෙන අව්වේ වියලා සුබ මොහොතකින් වනේලා කොටාගෙන පෙනේරයකින් හලා ගෙන වීදුරු භාජනයක බහා තබාගත යුතුය.
යෙදීම: 1. මූල ව්‍යාධියට – (අර්ශස්) අගුන මුල් කසායට දිය කර මී පැණි මාත්තු දමා පානය කිරීම (වැලඳීම) උදේ සවස වේල 8 යි., 2. හිසේ සිට දෙපතුල දක්වා එන ගෙඩිවලට – සීන මුල් කලං 3 ක් ගෙන 8-1 ට කසාය කර පෙරාගෙන මෙම චූර්ණය කළඳක් යොදා උදේ සවස වේල 8 ක් වැළඳීම සුදුසුය., 3. සෙසු සියලුම රෝග සඳහා උණු වතුරෙන් ගුලිකර වේල 8 ක් වැළඳීම සුදුසුය.
බෙහෙත් වැළඳීම උදේක ආරම්භ කළ යුතුය. එසේ කිරීමෙන් වේල 8 දින 4 න් අවසන් වෙයි. එම දිනවල ඌරු මස්, කුකුළු මස්, කිකිළි බිත්තර, සෙසු ව්‍යංජන ආකාරයටම සාදා ගත යුතු අතර තලතෙලින් උයා ගත යුතුයි. ඇඹුලට ගොරක හෝ සියඹලා දැමිය යුතුය. තම්බාපු හාලේ බත් විය යුතුය. බෙහෙත් අවසන්වී දින කීපයක් ගතවෙන තුරු විශේෂයෙන්ම විනාකිරි, දෙහි සහ බිලින්වලින් වැලකිය යුතුය. ඊට අමතරව කොච්චි, රට දෙල්, ඌෂ්ණ මාළු වර්ග, අන්නාසි, තක්කාලි වැනි දෙයින්ද වැළකිය යුතුය. උණු වතුර හැර කිසිම බීම වර්ගයක් සුදුසු නැත.
බෙහෙත් වළඳන දිනවල උණු දියෙන් ඇඟ සේදීම සුදුසුය. බෙහෙත් ඉවර වූදාට පසුවදා උදේ හිසේ තලතෙල් ගා පැය 4 ක් පමණ සෙවනේ සිට උණු දිය හිසේ නාන්න. හිසේ ඇති තෙල් මාන්දම හැරීමට හිසේ දෙහි ඇඹුල් ගෑම සුදුසුය. සබන් ගාන්ට එපා.
මා මේ ක්‍රම ඔබට කියන්නේ පොතේ තිබුණු පළියට නොව. දහස් ගණන් වාරවල ඉහත කී රෝගවලදී මරණාසන්නව සිටි රෝගීන් සුවපත් කර ඇති පළපුරුද්ද අනුවය.
සම මතුපිට පුරාම කුෂ්ට රෝගයක් වැළඳී සම මතුපිට සියඹලා ඇට තරමට කෑලි වශයෙන් සම පුපුරා ගිය රෝගියෙක් රු. ලක්‍ෂ 2 ක් වියදම් කළත් සුවය නොලැබ මෙම බෙහෙත් භාවිතා කිරීමෙන් එක සතියෙන් සුව විය. මූලගඩු පාත්වී මොහොතක් හෝ ඇවිදීමට අපහසු රෝගියකුද බෙහෙත වළඳා අවසන් වන විට සම්පූර්ණ සුවය ලද බව මා ප්‍රකාශ කරන්නේ මගේ හපන්කම් කීමට නොව හෙළ වෙදකම ගැන ඔබ කාටත් අවබෝධයක් ඇතිකරවීම සඳහාය.
රා. මු. ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
ජානක ඖෂධාලය
වේගොල්ල – මාස්පොත