ධනු ස්තම්භය හෙවත් පිටගැස්ම

ධනු ස්තම්භය හෙවත් පිටගැස්ම යන රෝග තත්ත්වය දරු ප්‍රසූතියේදී දරුවාගේ නාභි නාලය තුළින් ජීවානු හෙවත් විෂබීජ ඇතුළු වීමෙන් දරුවාට ද සුතිකාවගේ යෝනි මාර්ගයේ ඇතිවන ක්‍ෂත හෙවත් තුවාල මගින් ඇතුළු වී සුතිකාවටද කාගේ හෝ කැපුම් තුවාලයක් හෝ වෙනත් තුවාලයක් තුළින් ජීවානු ඇතුළු වීමෙන් ඔවුන්ට ද ඇතිවන්නකි. ඉහත කී ස්ථානවලට සම්බන්ධ නාඩියක් ආඝාත වීමෙන් (ආබාධ වීමෙන්) එම නාඩියේ කැක්කුමක් ඇති වෙයි.


මෙම තත්ත්වය ඇති වූ කල හනු සහ බෙල්ල තද වීම ඇවිදින විට ශරීරය පිටට නැමීම කෙලින් සිටීමට නොහැකිව වැටෙන්නට යෑම යන ලක්‍ෂණ මුලින්ම පහළ වෙයි. පසුව මුහුණේ පේෂිවලද ආක්‍ෂේප ඇති වෙයි. ඇසේ පේශිවල වාත රෝග ගතිය වැඩි වෙයි. බෙල්ල, පපුව බඩ යන තැන් ආක්‍රාන්ත වෙයි. ඩහදිය ගැලීම කොඳු ඇට පෙළ දුන්නක් මෙන් පිටට නැමීම වැනි තත්ත්වයන් සිදු වෙයි. හනු තද වූ විට කොඳු නාරටිය උස්වී ශරීරයේ මුළු බර (හිසේ සිට) විළුඹ මතට තෙරපෙයි. මෙයද විශේෂ මස් පෙරලීමකි. වයස්ගත වූවන්ට නිතර මස් පිඩු පෙරලීම තද සීතලට නහර දුර්වල වීමත් සිදුවෙයි. රුධිරයේ රක්ත ප්‍රද අඩු වූ කල නහර දුර්වල වේ. නහර දුර්වල වීම රෝගයට හේතු වෙයි.
පිටගැස්ම ඇති වූ කල දත් කෑම, සෙම ගැලීම, ශරීරය ඇතුළට හා පිටට නැමීම (අන්තර්යාම හා බහී යාම) කතා කිරීම අපහසුවීම හනු තද වීම තොල් සහ මුහුණ නීල වර්ණ වීම, ආක්‍ෂේප ඇතිවීම ලං වන විට ඩහදිය ගැලීම වැනි ලක්‍ෂණ ඇති වෙයි.
පිටගැස්ම අධෝ හනුවේ පේෂීන්ගෙන් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් උගුර මධ්‍යයේ පේෂිවල සහ අත් පා වැනි ශාඛාවල පේෂි හැකිලී ඇති වන රෝගයකි. මීට ඉක්මණින් නිසි ප්‍රතිකාර නොකළොත් මරණය හෝ සදාකාලික අංග විකෘතිතාවය ඇති විය හැකි තරම් භයානක තත්ත්වයක් ඇති විය හැක.
චිකිත්සා
රෝගය ඇති වීමට හේතු වන ශාරීරික ස්ථාන පරීක්‍ෂා කර බැලීම ප්‍රථමයෙන් කටයුතු කාර්යයයි. ප්‍රතිකාර මෙසේය. 1. එම ස්ථානය සුදුසු බෙහෙත් වතුරකින් සෝදා සුද්ධ කර හික් කොළ මෝරුවෙන් අඹරා එම ස්ථානයට තබා බැදීම, 2. ලකුණු පහළ වූ බව දුටු හැටියේම වෙනිවැල් ගැට සුදු ලූනු, කොත්තමල්ලි, අරත්ත අල, කසාය සීනි සහ කොහොඹ තෙල් මුසුව පානය කිරීම, 3. නාරායනය හෝ වාත රාක්‍ෂය වැනි තෙලක් ශරීරයේ වේදනා ඇති තැන්වල ගල්වා වාත නාශක බෙහෙත් පොට්ටනියකින් තැවීම, 4. අමු ඉඟුරු සුදු ලූනු කොහොඹ පොතු සමව ගෙන කොටා මිරිකා ගත් යුෂයට පස් තෙල් සහ තන කිරි ප්‍රතිපාව යොදා වාත ගජේන්‍ද්‍රසිංහ රස හෝ දිව්‍ය රාජ ගුලි පානය කිරීම, 5. ඔළිද පත් (එළ ඔළිද නම් වඩාත් හොඳයි) යුෂින් වාත රෝග අධ්‍යයේ එන වාත ගජායකුෂය වැනි රසයක් තුන් වරක් පානය කිරීම. එම දිනවල මෝරු පමණක් පානය කිරීම සුදුසුය.
එම බෙහෙත් නැති විට වාතය නැසීමට ශක්තිමත් බෙහෙතක් දිය යුතුය. මෙම කසාය දෙන අතර තෙල් ගාල්වීම හා සෙම්ද දීම නතර නොකළ යුතුය. හනු තද වූ විට සුදුසු වාත තෙලක් රත් කර කණට දැමීම සුදුසුය.
මෙම රෝගය නිසා ඇති වන ආක්‍ෂේප හනු ග්‍රහ හනු ස්ථම්භ ආදී උපද්‍රව සඳහා ඒ ඒ චිකිත්සාවන්ට අනුව ප්‍රතිකාර යෙදිය යුතුය. වේලා මුල්, කුප්පමේණිය, වෙනිවැල් ගැට, ලුණවරණ මුල් නික මුල් තිපල් අබ ලශුනු දෙදුරු අසමෝද, ඇහැල පොතු කටුකරඩු රුක්අත්තන පොතු කසාය දීම සුදුසුය. කෝල සන්නි ගුලිය නික කොළ කොල්ලු, වෙනිවැල් කසායෙන් දීම ද ඉතා සුදුසුය.
රා.මු.ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
වේගොල්ල, මාස්පොත