පෙරමඟ නිමිත්ත අසුබ නම් ඒ ඉඩම් කැබැල්ල මිලදී ගන්න එපා

ගෙයක් හදන්න ඉඩමක් මිලදී ගන්න ඕනෑනම් ඉඩම බලන්න යන විට දකින පෙරමඟ නිමිත්ත අසුබ නම් ඒ ඉඩම් කැබැල්ල මිලදී ගන්න එපා
ගෙයක් තැනීමේ ඔබේ සිහිනය සැබෑ වන දිනය ලංවන විට ඔබගේ ප්‍රධාන බලාපොරොත්තුව නිවසක් තැනීමට ඉඩම් කැබැල්ලක් මිලයට ගැනීමය. දේපළ වෙළෙඳ ආයතනයක මාර්ගයෙන් තැරව්කරුවකුගෙන්, මඟ පෙන්වන්නකුගෙන් හෝ පුවත්පත් දැන්වීමකින් ඉඩම් කැබැල්ලක ඔත්තුව දැන ගන්නා ඔබ එම ඉඩම බැලීමට යන මුල්ම දිනයේ දී ඔබගේ පෙර මඟට හමුවෙන මුල් පෙර මඟ නිමිති හත ගැන හෙවත් ඔබගේ ඉදිරියට එන පළමු නිමිති හත ගැන සැලකිලිමත් වන්න.


මෙහි පහත සඳහන් එක නිමිත්තක් හෝ පළමු නිමිති හතට අයත් නම් ඔබ බැලීමට යන ඉඩම මිලයට ගන්න එපා. එම ඉඩම අසුබ යැයි සම්මත ඉඩමකි. නමුත් සුබ පල ගෙන දෙන පෙර නිමිති හමුවුවහොත් එම ඉඩම ඉතාම සුබ පලදායක ඉඩමක් බවද සලකන්න. තවද මෙහි සඳහන් සුබ සහ අසුබ පෙර නිමිති පැරණි ග්‍රන්ථ අනුව ඉදිරිපත් කර ඇති බව සලකන්න.
සුබ පල ගෙන දෙන පෙර නිමිති
සුදු ඇඳුම් ඇද ගත් කන්‍යාවන්, එළදෙනුන්, රන් රිදී, මුතු පබළු, කස්තුරි ගෝරෝචන, සඳුන්, කැඩපත් මල් විකුණන ස්ත්‍රීන්
ප්‍රාර්ථනා ඉෂ්ට වන පෙර නිමිති
වතුර කළය පුරවා ගෙන දිය ගෙන එන ස්ත්‍රීන්, දරුවන් වඩාගත් ස්ත්‍රීන්, දෙමාපියන්, නෑදෑ හිතවතුන්, විවාහ නොවූ තරුණිය, පතිදම් රකින බිරිඳ
සුබ ශබ්ද පෙර නිමිති
ඩෝල්කි, උඩැක්කි, වීනා, සත් බෙර
අභිමතාර්ථයන් ඉටු වීමේ පෙර නිමිති
කඩ, කොඩි, සේසත්, පටපිළි, ඇඳගත් ස්ත්‍රීන්
අභිමතාර්ථයන් පමණක් නොව නිවැසියන්ගේ ආයු වැඩීමට, නිරෝගී සම්පත් වර්ධනයට මෙය හේතුවේ.
ධනය, සැප, බලය ලැබීමේ පෙර නිමිති
සුදු ගොනෙකු, සුපිපි නෙළුම් මල්
තවත් සුබ පල ගෙන දෙන පෙර නිමිති
මාල පැලද ගත් දැරියන්, මද වැස්ස
අනේක බාධා ගෙන දෙන පෙර නිමිති
සර්පයින්, සර්ප හැව, දහයියා, අඟුරු, ලුනු, තෙල් බෙහෙත්
අපල ඇති කරවන පෙර නිමිති
කපු, අසූචි
දුක් වේදනා ගෙන දෙන පෙර නිමිති
ලෙඩ සෑදුනු තැනැත්තා, මත්පැන් බීපු මිනිසා, නිරුවත් උමතු අය, හිස මුඩු කර ගත් අය (භික්ෂූන් වහන්සේලා නොවේ)
දුක් කන්දරාවකට මුහුණ දෙන පෙර නිමිති
දෑ දරමිටි රැගෙන එන අය, රණ්ඩු දබර කර ගන්නන්
ඇවිලෙන ගින්දර
දුම් ගසන දේ හෝ ගිනිගෙන දැවෙන දේ
ඔබ ඉඩම බැලීමට යන විට මෙවැනි පෙර නිමිත්තක් ඔබට මුලින්ම හමුවන පෙර මඟ නිමිති අතර තිබුණ හොත් එය මිලයට ගැනීමේ අදහස අත්හැර දමන්න. මෙසේ නොතකා ඔබ කටයුතු කළහොත් කුමක් හෝ කරදරයක් ඇති වී ඔබගේ අදහස් සපල නොවනු ඇත. එසේම සුබ පෙර නිමිත්තක් දුටුවොත් හෝ ඇසුනොත් එම ඉඩම මිලදී ගන්න. එයින් ජය අත්වේ. දියුණුව ගෙන දේ.
ජනමාධ්‍යවේදී ජ්‍යොතිෂ්‍ය
වාස්තු විද්‍යා උපදේක, ධර්මාචාර්ය
විද්‍යාජෝති ධර්ම බන්දු දේශ කීර්ති සාම විනිසුරු (මුළු දිවයිනට)
ජ්‍යොතිර් විද්‍යා කීර්ති ලංකා පුත්‍ර
ප්‍රේමසිරි කහඳවලආරච්චි
252/1, පුලිනතලාරාම පාර,
මාගම්මන, රාගම.