නිරෝගී ජීවිතයකට වැව් මාළුත් හොඳ ඔසුවක්

එදා අපේ වැව් වල වාසය කළේ වර්තමානයේ සිටින විදේශීය මත්ස්‍ය වර්ග නොවේ. එහි සිටියේ කූනිස්සා, ලූලා, වඩාරා, කනයා, තලියා, කාවයියා, පෙතියා, කටුපෙතියා, හුංගා, අංගුට්ටා, වැලිගොව්වා, පනාවියා, කොරලියා, වලයා, වගුරා සහ ආදා යන මත්ස්‍ය වර්ගයන්ය. වැවේ හොරොව්වෙන් වෙලට (කුඹුරට) ගලා යන ජල පාරේ මෙම මත්ස්‍ය වර්ග ගොස් වෙල්වල හෙවත් කුඹුරුවල ගොයම් පඳුරු අස්සේ ජීවත් වූහ. මොවුන් හඳුන්වන ලද්දේ ‘වෙල් මාළු’ යනුවෙනි. මෙම මාලුන් විසින් ගොයමට හානි කරන පණුවන් සහ කෘමීන් කා දැමූ නිසා ගොයම සරුවට වැඩිනි. කෘමිනාශක යෙදීමට අවශ්‍ය නොවිණි.


ලූලා : වැව්වල සිටින මාලු වර්ග අතුරෙන් ලූලා විශාලම මත්ස්‍යයාය. මිනිසෙකුගේ කකුලක් තරම් විශාලය. ලීලීයන්ගේ කුසේ බිත්තර ඇත. ලූලා මස් සහ බිත්තර ව්‍යාංජන වශයෙන් සකස් කෙරිණි. රෝගී මිනිසුන්ට අගුන නොවන මෙන්ම සමහරවිට රෝග නිවාරණය කරන ඖෂධයක් වශයෙන්ද ලූලා මාලු ව්‍යංජනය ආහාරයට ගැනිණි.
මගුරා : මොහුද ලූලා තරම්ම මහතය. මගුරු මාංශ මාන්දම් රෝගීන්ට රෝග සුව කිරීම සඳහා සුදුසු ව්‍යංජනයකි. මගුරු ඔලුව විවිධ බෙහෙත් වර්ග නිෂ්පාදනයට ඖෂධයක් වශයෙන් ගැනේ.
වලයා : වලයාද ලූලා සහ මගුරා තරම් විශාල මත්ස්‍යයෙකි. මෙය උෂ්ණ නොවන මත්ස්‍ය වර්ගයක් වන අතර රෝගීන්ට අපත්‍ය නොවන ව්‍යංජනයක් මෙයින් සාදා ගත හැක . මෙම මත්ස්‍යයාගේ ශරීරයේ හම අව්වේ වේලා ගත් කල උඩැක්කිය වාදනය කරන්නට සවි කරන හමක් වශයෙන්ද යොදාගත හැක.
කාවයියා : මිනිස් අල්ලක් තරම් දිග, පළල ඇති පිළිපොතු සහ තද කටු සහිත වරල් ඇති මත්ස්‍යයෙකි. මෙම මත්ස්‍යයාගේ මාංශ තොල් පැලීම සහ දිවේ තුවාල ඇති උදවියට එම රෝගය සුව කිරීමට ඖෂධයක් වශයෙන් ව්‍යංජනයක් ලෙස සකසා අනුභව කළ හැක.
කනයා : ලූල් පැටියෙකු තරම් වූ එහෙත් බොර පාටක් ඇති මත්ස්‍යයෙකි. කනයාගේ වියළි මාංශ, ස්ත්‍රීන්ගේ කෙප්ප රෝගය සඳහා යොදන කෙප්පරාජ චූර්ණය භාවිතයේදී ආහාර සඳහා යොදා ගන්නා වටිනා ව්‍යංජනයකි.
වැලිගොව්වා : කහ පැහැයට හුරු පාටක් ඇති වැලි ගොව්වා නිතරම පාහේ සිටින්නේ දියේ පීනමින් නොව, පොළවට ගෑවෙන පරිදි ශරීරයේ උෂ්ණ ගතියක් ඇති උදවියට එම උෂ්ණ ගතිය නැති කිරීමට වැලි ගොව්වාගේ මාංශ වලින් පිසින ලද ව්‍යංජන යෝග්‍ය වේ.
අංගුට්ටා : පිලී පොතු රහිත මත්ස්‍යයෙකි. හිසේ දෙපැත්තට විහිදී දිග තටු දෙකක් ඇත. මෙම මත්ස්‍ය මාංශ තරමක් උෂ්ණ ගතියක් ඇත.
කූනිස්සා: වැව් වල ඇති පාසි (බෙරු) සමඟ වෙසෙන ඉතා කුඩා මත්ස්‍ය විශේෂයකි. පාසි ගොඩවල් පිටින් කූඩයකින් ගෙන පාසි ඉවත් කළ පසු කූනිස්සෝ කූඩයේ පතුලට බේරෙති. ඉන්පසු ඉටි රෙද්දකට දැමූ විට මිය යති. මැල්ලුම සහ තෙම්පරාදුව ලෙස ආහාරය සඳහා සකස් කරගත හැක.
ආදා : නයා, පොළගා වැනි හැඩයකින් යුත් අඩි 2 ක් 3 ක් තරම් දිග පිලී පොතු රහිත සතෙකි. ආදාගේ පෙකණියට කෙළ ගසා විනාඩි කීපයක් ගිය විට ඌ මිය යයි. ආදාගේ හමද සංගීත භාණ්ඩ සෑදීමට යොදා ගැනේ. ආදා ඉතා හොඳින් පොල් මුඞ්ඩක් වැනි යමකින් අතුල්ලා ශුද්ධ කර ඉන්පසු පිහියකින් හම මතුපිට සූරා ලබා ගන්නා කොටස බදාමක් වැනිය. කුරක්කන් පිටි වලට මිශ්‍ර කර සාදා ගන්නා රොටී කුඩා ළමයින්ට කෑමට දීමෙන් ඔවුන්ගේ උෂ්ණ රෝග සහ මාන්දම් රෝග නැසෙයි. එසේම ශක්තිය ලැබෙයි. ආදා මාලුද උයන්නේ සෙසු මාලු උයන ආකාරයටමය.
සෙසු මත්ස්‍ය වර්ගවල විශේෂ ගුණයක් නැති තරම්ය. කූනිස්සන් හැර සෙසු සියලුම මත්ස්‍ය වර්ග සුද්ධ කර කපා ලුණු සමඟ කහ ස්වල්පයක් සහ ගොරක කෑලි කීපයක් සමඟ අනා පැය කිහිපයක් තැබීමෙන් මස් කුණු නොවේ. තද වෙයි. ඉන්පසු අව්වේ හෝ පැරණි ක්‍රමයට දුම්මැස්සේ තබා වියළා ගෙන සුරක්ෂිතව තබාගෙන ඕනෑ අවස්ථාවක ව්‍යංජන වශයෙන් සකස් කරගත හැක. එදා මෙම ක්‍රම යොදා ගැනීමෙන් නිරෝගී බවත්, මුදල් පිරිමැස්මත් කෙරිණි. මත්ස්‍යයාගේ මාංශ සහ බිත්තරද ආහාරයට ගැනේ.
මාලු ඇල්ලීමට යොදා ගන්නේ දැල, කරක, බිලි වැල, බිලි පිත්ත, කෙමණ, ඉරටුව යන උපකරණයන්ය. කූඩු දැමීමද තවත් ක්‍රමයකි. මීට අමතරව කස්ථානයකින් කෙටීමෙන්ද මසුන් මැරිය හැක.
මත්ස්‍යයන්ට අමතරව වැවේ සිටින දියකාවුන්ගේ සහ සේරුන්ගේ මාංශද ආහාරයට ගැනිණි.
රා. මු. ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
වේගොල්ල, මාස්පොත