මධුරට සුවයි පේෂලාගේ ජීවිතය දැන් සුන්දරයි

මධුර ඉක්මනට එන්න. පේශලා ජනේලය අතරින් එබිකම් කරමින් බේබදු යහලුවන් ගණන ගණින්නට පටන් ගත්තා. ඇයට ඒ ගණන දෑතේ ඇඟිලි ගණනින් නම් මැනිය නොහැකි තරම්ය. මිතුරන්ට එක්වන මධුර හොඳට පදම්වී බොහෝ දුරට නිවසට එන්නේ රාත්‍රී 12 ද පසු කරමිනි.


මිතුරන් සමග කරන මේ නාඩගම පිළිබඳව විවාහවූ අලුත නම් ඔහු සමග පේශලා දිගින් දිගටම තර්ක විතර්ක කළාය. එහෙත් දැන්නම් ඇයට එය සාමාන්‍ය එකක් බවට පත්වී ඇත. නිවසේ කාමරයට තමන් සමග පියමැන්න දිනයක් වසර ගණනාවකින් වත් සිදුවුයේ නැත.
ඔහුගේ ගජමිතුරන් සමග එක් නොවන සෑම අවස්ථාවකම මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරුත් ඔහු කාලය ගෙවන්නේ පරිගණකය සමගිනි. නිදන කාමරය කෙළවරේ පිහිටි කන්තෝරු කාමරය තුළ කාලය ගෙවන ඔහු නිදාගන්නේ කීයට දැයි යන්න කීමට ඇය කිසිවක් දන්නේ නැත.
පේශලා ජීවිතය කර ගත්තේ රැකියාවයි. මේ නිසාම ඇයට දහවල් කාලයේ රැකියාව කරන බැවින් හුදකලා බවක් දැනුණේ නැත. රැකියාව නිමවී ඇය සවසට නිවසට පැමිණෙන්නේ වධකාගාරයකට යන මානසිකත්වයෙනි. රැකියාව නිමවී ඔහු ඇතැම් දිනවල වේලාසනින් නිවසට පැමිණියත් බොහෝ රෑ බෝවන තෙක් ඔහුගේ කාර්යාල කාමරය තුළම නිදාගෙන සිටීමට පුරුදුව සිටියේය. විවාහවූ අලුත නම් දෙදෙනා එක කාමරයක නිදාගත්තත් එය ද දින කීපයකට පමණක් සීමා විය.
අනේ මට හරි රස්නෙයි. කාමරයක හිරවෙලා ඉන්න අමාරුයි. පොඩි කාලේ ඉඳලම මම තනියමයි නිදාගත්තෙ. තනියම ඉන්න විටයි හොඳට නින්ද යන්නෙ. මධුර එසේ කියාගෙන ගියේ නොරිස්සුම් ගතියෙනි. අදහාගත නොහැකි එකක් බවට පත්විය. නිදි යහනේ ඇය තනියම හඬා වැටෙන්න ගත්තා. මවගේ තුරුලට වී කුඩා කල සිට නිදාගත් ඇයට නිදි යහනේ තනිවීම පිළිබඳව ඇතිවූයේ දැඩි සිත් වේදනාවකි.
නිදන කාමරයට ආසන්නව තිබූ කුඩා ඉඩ ප්‍රමාණය මධුරගේ කාර්යාලය බවට පත්වූයේ විවාහයට දින නියමවූ පසුව බව ඇයට දැන ගැනීමට හැකි විය. වෙනම නිදා ගැනීම අරමුණු කරගෙනම එවැනි කාර්යාලයක් සාදන්නට ඇතැයි පේශලා සැක මතු කළාය.
තම පවුලේ සමීපතමයකු ගෙන ආ යෝජනාවකින් හඳුනාගත් පසු දෙදෙනා අතර ආදර සබඳතාවක් ඇතිවූ අතර දෙදෙනා අතර දිනකට වචන දෙක තුනකට වඩා කතාබහක් ඇතිවූයේ ද නැත. මේ නිසාම ඇය සිතුවේ ඔහු ද තරුණියක මෙන් ලැජ්ජාශීලීව හැදුණු කෙනකු බවයි. විවාහ වී දින දෙක තුනකින්ම මධුරගේ වෙනස්වීම් පේශලාට අවබෝධ කරගත හැකි විය. ඔහුගේ නුහුරු නුපුරුදුකම නිසාම මෙවැන්නක් සිදුවන්න ඇතැයි ඇය මුලදී සිතුවත් එය ඔහුගේ තරුණියන්ට ඇති අකමැත්ත බව පේශලාට අවබෝධ වීමත් සමග ඇයට දෙවියන් සිහි විය.
මධුරගේ හොඳම මිතුරා සුරාජ්ය. ඔහුගේ බිරිඳත් විවාහ ජීවිතය කඳුලින් පුරවා ගත් අයකු විය. එහෙත් ඇය පේශලා මෙන් මුනිවත රැක්කේ නැත. සැමියි මිතුරන් සමග බමන මතින් විනෝද වෙද්දී ඇය කුඩා දරුවාත් වඩාගෙන මිතුරු කණ්ඩායම් මත්පැන් සෙවන වූ අඹ ගහ යටට පැමිණියේ උස් හඬින් සුරාජ්ට බැණ වදිමිනි. පේශලා මේ කිසිවක් තම මවුපියන්ට ද කීවේ නැති අතර පාරමිතා පුරන්නියක මෙන් සිදුවන සියල්ල විමතියෙන් බලාගෙන සිටියාය.
මේ අතර විවාහ වී වසර පහක් පිරෙන්න ආවත් තවමත් ළමයකු නොමැති වීම පිළිබඳ නැන්දම්මාගෙන් පේශලාට වරින් වර ඇනුම්පද එල්ල වෙන්න ගත්තා. ඇයගේ රතු ඉර ඉක්මවා ගියේ මේ අතරතුරය. “ළමයි ඉබේ පහළ වෙන්නෙ නැහැ. මට ළමයි ලැබෙනවා නම් ගෙදර ඉන්න හැම ගැහැනියකටම ළමයි ලැබෙන්න ඕන.” ඇයගේ වේගවත් කතාවට නැන්දම්මා තුෂ්ණිම්භූතව බලා සිටියාය.
මොකක්ද ළමයෝ ඒ කතාවේ තේරුම. ඇය පුන පුනා ප්‍රශ්න කරන්නට විය. විවාහ වී වසර පහක් ගත වුවත් මම තවමත් කන්‍යාවියක්. ඇය නැන්දම්මාට සියලු කරුණු පැහැදිලි කර දුන්නා. තරුණියන්ට ඇති අකමැත්ත කුමක්ද යන්න සොයා බලා ගැටලුව විසඳා ගැනීම සඳහා මධුරව මෝහන ප්‍රතිකාර සායනයක් වෙත වහාම ගෙන යන ලදී.
වෛද්‍යවරයා විසින් ඔහුගේ සිත සංසුන් කරමින් මෝහනයට පත් කළේය. පේශලා සමග නිදි යහනේ එකට ගතකිරීමට දක්වන දැඩි අකමැත්තට හේතු වූ කාරණාව කුමක්ද යන්න මෙහිදී සොයා බැලුවේය.
මංගල රාත්‍රිය හරිහැටි ජයගත නොහැකි වුවහොත් බිරිඳ තමා හැරයාවියැයි යාලුවන් පවසා සිටියා. එදින රාත්‍රිය මම හරි බයෙන් හිටියෙ. පේශලා සමග ලිංගික සබඳතාවන් පැවැත්වීමේදී ඇයව සතුටු කිරීමට නොහැකි වේයැයි බයක් දැනෙනවා. එවිට ලිංගික අප්‍රාණික බවක් ඇතිවන බව මෝහනයට පත් මධුර කියා සිටියේය.
මෙහිදී වෛද්‍යවරයා විසින් ඔහුගේ අශුභවාදී සිතුවිල්ල සහ භීතිකා තත්ත්වය යටි සිතින් ඉවත් කරමින් ඔහුගේ සිත ශක්තිමත් කළේය. යුග දිවියේ මිහිර අත්විඳීමට ඔවුන්ට හැකියාව ලැබුණේ ඉන් අනතුරුවය.
බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති මනෝ වෛද්‍ය උපදේශක

ගුණසේකර මුදලිගේ

0773855910