ලෙඩ අඩු කර ගන්න මේ ආහාර කෑමට ගන්න

“බෙලි කන කොට බඩ යනවා. බඩ යනකොට බෙලි කනවා” යන කියමන එදා සමාජයේ කියැවුන වැදගත් කථාවකි. යමෙකුට මළ බද්ධය ඇති වුවහොත් ඉදුණු බෙලි ගෙඩියක් පලාගෙන හෝ අමු බෙලි ගෙඩියක් තම්බාගෙන හෝ එහි මදය කෑමෙන් මළ බද්ධය නැති කරගත හැකි විය. වැඩිපුර මළ පහවීමක් ඇති වූ කලද එසේ කිරීමෙන් මළපහ වීම යථා තත්ත්වයට පත්විය. අද සමාජයේ සිටින කුඩා දරුවන් සහ වැඩිහිටියන්වත් එවැනි දේට හුරු නැත.


එදා ගෙදර කාන්තාවෝ අසල් වැසියන්ගේද සමහරවිට උදව් ලා ගෙන එකවර පොල් ගෙඩි 10 ක් හෝ 12 ක් පමණ හිරමණයෙන් ගාලා එම පොල් සැලියක දමා වතුර ටිකක් දමා තම්බා නිවුණු පසු මිරිකා කකාරා පෙරාගත් තෙල් ටික කෙතරම් සුවඳවත්ද? රසවත්ද? එසේම එම තෙල් ටිකක් කුරක්කන් රොටියක තවරා පිඩ අඩාගෙන කෑමට තරම් රසවත් විය. එවැනි පොල් තෙලින් බඳින ලද ව්‍යංජනයක් සාදන ලද කැවුම් කොකිස් වැනි රස කැවිලි කෙතරම් රසවත්ද?
තෙල් ටික පෙරාගෙන ඉතිරිවන කිරිටික සෝදා සාදා ගන්නා ලද කිරි කැඳ ඉතාම රසවත්, ගුණවත් ආහාරයකි එසේ එයින් එක් ආහාර වේලක් පිරිමසා ගත හැකි විය. කිරි කැඳ පානය කිරීමෙන් පීනස රෝග සුව වෙයි. අද සමාජය කිරි කැඳ පානය කරන්නා තබා දැකලාවත් නැත. කාන්තා පක්ෂය එය නිෂ්පාදනය කිරීමට දන්නේ නැති තරම්ය.
අමු මිරිස් හෝ කොච්චි සහ රතු ලුණු දමා සාදා ගන්නා ලද හුණු සාල්බත් (සුන් සහල් බත්) කෙතරම් රසවත්ද? සුන් සහල් විෂ නාශක ඖෂධයක් ද වන්නේය. ජාපාල වල විෂ වරන්නේ සුන් සහල් සමඟ තම්බා ගැනීමෙනි.
වෙල් අල ද ලු ඇඹුල කෙතරම් රසවත්ද? කුරක්කන් පිට්ටු කෑමට වෙල් අලකොළ ඇඹුල එදා අත්‍යවශ්‍ය ව්‍යාංජනයක් විය. අද සමාජය එවැනි දේ රස බැලීමට කොතරම් අවාසනාවන්තද අලුත් කුරක්කන් රොටි කෑවේ පැණිපොල් මැල්ලුම සමඟය. අලුත් කුරක්කන් තරමක් උෂ්ණ නිසා ඒ සඳහා උෂ්ණය මැකීමටය. තම්පලාද එවැනි සීතල එළවළුවකි. සෑම හේනකම පාහේ බටු කරවිල තිබිණි. බටු කරවිල මැල්ලුම හෝ ඇඹුල දියවැඩියාවට වටිනා ඖෂධයකි. බණ්ඩක්කා ශුක්‍ර ධාතු පෝෂකයක් වන අතර කුසගිනි වඩයි. එහෙත් සෙම් රෝගීන්ට සුදුසු නැත. එය එදා ස්ත්‍රී – පුරුෂ කවුරුත් දැන සිටියහ. නොමේරු බඩ ඉරිඟු කරල් අමුවෙන් කන්නට රසවත් දෙයකි. බාගෙට පැසුන කරල් ගින්නෙන් මඳක් පුළුස්සා ගත් කළ අතිරේක වශයෙන් ගත හැකි කෑමකි. පැසුන බඩ ඉරිඟු කිරිබත් ද රසවත්ය. ගුණවත්ය. වියළි බඩ ඉරිඟු විළඳ බැඳගෙන පොල් සමඟ ලුණු කැටයක් දමා කොටා ගත් කල බත් වේලකට වඩා බඩ පුරා අනුභව කළ හැකි කෑමකි. තුඹ කරවිල ධාතු පෝෂක එළවළුවකි. ලංසි කොළ සහ දලු රසවත් මැල්ලුමකි. ලංසි ඇටද කබලෙන් බැඳ ගෙන ලුණු කැටයක් දමා කොටා ගත් කළ රසවත් ආහාරයකි. මෙනේරි බත් සහ කිරිබත් ද, අමු හාල් බත්ද රසවත් ආහාර වන අතර, රෝග නාශක ඖෂධයන් ය. උදු, මුං, කොල්ලු ද එසේමය. මේ සියල්ලම එකම හේනේ වගා කරන ලද භෝග වර්ගයන් ය.
සෑම කැලෑවකම පාහේ මයිලගස් සහ තලා කොළ තිබුණම බුලත් මිට වෙනුවට එදා මයිලපොතු කෑල්ලක් සමඟ තලා කොළ කීපයකින් විට සැපීමටත් කුඩුත් හුණු ටිකක් මිශ්‍රකර ගැනීමට එදා මිනිසා පුරුදු වී සිටියහ. ඒ සියල්ලම ඖෂධයන්ය. එදා විට කෑමට පමණක් නොව ගෙවල් වල ආලේප කිරීමට යොදා ගත්තේද කුඹුක් පොතු වලින් සාදා ගත් හුණුය එසේ අද ඇති පැරණි ගොඩනැගිලි ඉදි කිරීමට බදාම වෙනුවට ගත්තේ කුඹුක් හුණුය. අද භාවිතා කරන බෙල්ලන් හුණු සහ ගල් හුණු තරම් විෂ කුඩක්  හුණු වල නැත.
අද ළිං ජලය වෙනුවට එදා නෑවේ වැව් ජලයයි. එම ජලයෙහි ඕලූ, නෙළුම්, කෙකටියා, සේරල, මානෙල්, තුත්තිරියා පලා පිළිහුඩු පලා, කංකුන් (විලකොම) පාසි වැනි කුඩා ශාක වර්ගවලද වැව් අසල තිබුණ කුඹුක්, කරද වැනි ශාකවල මුල් වල ගතියද එදා වැව් ජලයට මිශ්‍ර වී තිබීමෙන් ජලය වටිනා ඖෂධයක් විය. මේ නිසා එදා මිනිසා අද මෙන් විවිධ ලෙඩ වලින් භරිත වූ අය නොවූහ. ඒ වැවෙන්ම දිය දෝතක් බීමෙන් කිසිදු රෝගයක් ඇති නොවිණි.
එදා කුඹුරු වල, හේන් වල, මහා මාර්ග අසල කෝන් ගස් තිබිණි. ඉදුණු කෝන් ගෙඩිවල මල මද එකතු කර තම්බා ගෙන ?? ඉවත් කර සීනි ටිකක් කලවම් කර ඉටි පළවට සාදා ගත් කෝන් අනුග ඉතා රසවත් අතිරේක කටගැස්මකි. කෑමකි. කුරක්කන් රොටි කෑමට එය අගේ ඇති දෙයකි. එසේම කෝන් ඇට වලින් සාදා ගත් තෙල් වාත රෝග වලදී ගැල්වීමෙන් වාත රෝග සමනය විය. මී ගස්වල මල් පිපෙන කාල වල සමහර ගැමියෝ උදේ පාන්දර බරණි, මලු රැගෙන ගොස් මී මල් අහුලාගෙන ඇවිත් කොටා මිරිකා ගෙන සාදා ගත් මීක්කල්ලා ඉතා රසවත්ය. එදා අද මෙන් නොව පොල් බහුලව තිබුණ නිසා කුරුම්බා කෑම සිරිතක් වූ අතර කුරුම්බා කෑමට මීක්කල්ලා ඉතාම රසවත් දෙයකි. එසේම කැඩුම් බිඳුම් වෙදකමේ දී යොදා ගන්නා පැණි සෑදීමට මීක්කල්ලා පැණි ඉතා අත්‍යවශ්‍ය ඖෂධයකි. එදා බොහෝ දුරට කැවුම් වැනි රස කැවිලි සෑදීමට ගත්තේ පොල්තෙල් නොව මී තෙල්ය. වාත රෝග වලදී මී තෙල් ටිකක් පමණක් ගෑමෙන් වාත රෝග සුව වූ බව මම අත්දැකීමෙන් දනිමි.
වස විෂ නැතිව, වියදමක් නැතිව එදා කැලෑවෙන්, හේනෙන්, වැවෙන් ලබා ගත් දේ අනුභව කිරීමෙන්, කලා වැව, තිසා වැව, රුවන්වැලිසෑය වැනි මහා රජමාළිගා ඉදි කිරීමට තරම් යෝධ ශක්තිය ලබාගත් අපේ ජනයා අද ජෑම් ගාලා පාන් පෙත්තක්, ඉඳි ආප්පයක් ලෙව කාලා ශරීර ශක්තියත්, මානසික ශක්තියත්, ආර්ථිකයත් නැති පඩයින් බවට පත් වීම ස්වදේශීය දේ අමතක කර පරගැති වීමට, නෑමෙන්, කෑමෙන් ලබා ගත් ස්වභාවික සුවඳ සහ ලක්ෂණ වෙනුවට වස විෂ සහිත දේ භාවිතයට යෑම හරිම කාලකණ්ණිකමකි.
මා මස් මාලු නොකන නිසා මස් මාලු ගැන සඳහන් නොකරමි. කෙටියෙන් කියතොත් අපට මස් මාලු අවශ්‍ය හෝ කැප දෙයක් නොවේ. සතෙක් මරලා මස් අනුභව කරලා ජීවත්වන්නා තිරිසන් සතෙකුටත් අන්ත අයෙකි. මස් – මාළු අනුභව කිරීමේදී බෙදා ගත් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අනුභව කරති. එහෙත් එය එම පුද්ගලයාට ඔරොත්තු නොදෙනවා විය හැක. කොළ, ගෙඩි, දලු වැනි දේ අනුභව කිරීමේ දී රස නාලිකා මගින් උරා ගන්නේ අපට ඔරොත්තු දෙන ප්‍රමාණය පමණි. එසේම එක් එක් ගෙඩි, කොළ, දලු, මල්, පොතු ආදී කොටස් වලින් ඒ ඒ ඉන්ද්‍රියන්ට අවශ්‍ය විටමින්, කැල්සියම්, ප්‍රෝටීන්, මේදය වැනි අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබාගෙන සෙසු කොටස් සෙම්, සොටු, කබ, බතල, මුත්‍රා, ඩහදිය ආදී මාර්ගයෙන් පිට කරයි. ශරීරයේ සෙම වියළි නම් එලබටුද, කුසගිනි අඩු නම් බණ්ඩක්කා සහ මුරුංගා ද මළබද්ධය නම් කංකුන්ද මොළය වර්ධනයට ගොටුකොළද, උෂ්ණ ගතිය වැඩි නම් කතුරුමුරුංගා, කූර කොල ආදිය ද, බුද්ධි වර්ධනයට හා පීනසයට ගොටුකොළද කුෂ්ට රෝගයට කාර කොළද, දියවැඩියාවට ගැට පොලොස්, අත්තික්කා කොළ, කෝවක්කා කොළ ආදිය ද කිරි පණු, අලුහම් හා මළ බද්ධයට ?? දලු, ඇත්තෝර කොළ, අරලිය කොළ වැනි දේද ආදී වශයෙන් ආහාරයට ගැනීමෙන් අමුතුවෙන් බෙහෙත් අවශ්‍ය නොවීය. හිසේ ගැවේ පොල්තෙල්ය.
මෙසේ මහන්සියකින්, අධික මුදලකින්, අප්‍රිය ගතියකින් තොරව ලැබුණ ආහාර වර්ග බුදිමින් නිරෝගීව සිටි සිංහලයා අද එක් එක් රටවල, එක් එක් ජාතීන් විසින් කරන පලියට කෑමට බීමට ඇබ්බැහි වීමෙන් රුපියල් දහස් ගණන් ලක්ෂ ගණන් වැය කිරීමෙන් සමහරවිට මුළු ජීවිත කාලයම විවිධ රෝගීන් වී මිය යන ලාංකිකයා දුබල මෙන්ම දුගී පාපිෂ්ට ජාතියක් වීම ගැන අප කණගාටු විය යුතුයි. නෑදෑ ගමන් යෑමට, ඥාති සංග්‍රහයට එදා සකසා ගත් වෙල්ල වැනුම්, ආස්මී, කීරාටි, තලප, අලුවා, අග්ගලා, කොකිස්, කොණ්ඩ කැවුම්, අතිරස, මුං කිරිබත්, කුරක්කන් හැලප, තල කැරලි ආදී පෝෂ්‍යදායක රස කැවිලි වෙනුවට අද භාවිතා කරන්නේ මාස ගණන් කල් ගතවූ කේක්, බටර්, බිස්කට් වැනි දේය. බොහෝ විට මේවා රෝග කාරකයන්ය. මේ ගැන කවුරුත් සිතා බලන්නේ නම් නැවත ලාංකිකයා නිරෝගී, ශක්තිමත් ජාතියක් වෙනු නොඅනුමානය.
ආයුර්වේද විශාරද පරධින
රා.මු.ක. බණ්ඩාර
වේගොල්ල, පාස්පොත