සියල්ල පවතිනුයේ ශරීරය තුළයි

සියල්ල පවතිනුයේ අප ශරීරය තුළය. එහෙයින් විශ්වය ගැන සෙවීම නිෂ්ඵල ක්‍රියාවකි. වඩා උතුම් වන්නේ තමා ගැන සෙවීම තුළින් නිර්වානය අවබෝධ කර ගැනීමයි. මෙය අප මහා කාරුණිකයාණන් වූ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදනකි. විශ්වය තුළ පවතින සියලු සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවාය. එහෙයින් ස්ථිර යයි ගත හැකි සදාකාලික දෙයක් නැත. (1899-1955) පහළ වූ මහා විද්‍යාඥ අයිස්ටයින්ගේ සාපේක්‍ෂතා වාදයෙන් පසුව එහෙත් පැවති සෛද්ධාන්තික විද්‍යාව වෙනත් මගකට හැරෙන්නට විය.


සියල්ල පවතිනුයේ අප ශරීරය තුළය. එහෙයින් විශ්වය ගැන සෙවීම නිෂ්ඵල ක්‍රියාවකි. වඩා උතුම් වන්නේ තමා ගැන සෙවීම තුළින් නිර්වාණය අවබෝධ කරගැනීමයි. මෙය අප මහා කාරුණිකයාණන් වූ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදනකි. විශ්වය තුළ පවතින සියලු සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හට ගත් ඒවාය. එහෙයින් ස්ථිර යයි ගත හැකි සදාකාලික දෙයක් නැත. (1899 – 1955) පහළ වූ මහා විද්‍යාඥ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදයෙන් පසුව එහෙත් පැවැති සෛද්ධාන්තික විද්‍යාව වෙනත් මඟකට හැරෙන්නට විය. සාපේක්ෂතා වාදයට හා විශේෂ සාපේක්ෂතා වාදයට අනුව විශ්වය තුළ පවතින සියලු ධර්මතාවයන් පවතිනුයේ එකක් තවත් ධර්මතාවයකට සාපේක්ෂකවය. එහෙයින් සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවාය. සියලු අති නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් බටහිර විද්‍යාඥයින් ලබාගත් මෙම දැනුම මෙයට අවුරුදු 2586 කට පමණ පෙර අප තථාගතයන් වහන්සේ ලබාගත්තේ මානසික ඒකාග්‍රතාවය මඟින් ලබාගත් සර්වඥතා ඥානය තුළිනි. බටහිර විද්වතුන් බුදු දහම කෙරෙහි නැඹුරු වූයේ එහි පවතින මේ විශිෂ්ඨත්වය නිසාය.
විශ්වය තුළ පවතින සියලු ධර්මතාවයන්ගෙන් ප්‍රමුඛ වූ ධර්මතාවය මනසයි. සියල්ල පෙරටු කර මනස ඇත. අප තථාගතයන් වහන්සේගේ මෙම වදන් අදටත් හෙටටත් සදාකාලිකමවත් වලංගුය. මිනිසා ඇතුළු සියලු සත්ත්වයින් භෞතික ශරීරය හා මානසික ශරීරය යන කොටස් දෙකකින් නිර්මාණය වී ඇත.
සර්ප දෂ්ඨ වලදී ඇතැම් තද බල හෘද රෝග අවස්ථාවලදී ඇතැම් රෝගීන් සිහි මූර්ඡා තත්ත්වයෙන් පැය කිහිපයක් සිට පසුව සිහි ලබා සුවපත් වූ අවස්ථාවන් ලොව දස දෙසින් වාර්තා ලබා ඇත. ඇතැම් රෝගීන් වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ න්‍යායන්ට අනුව මිය ගියේ යැයි තීරණය කළ අයයි.
බුද්ධ චරිතයෙහි එන සිදුහත් තවුසාගේ සය මසක දුෂ්කර ක්‍රියා කාලය පිළිබඳ අසා ඇතුවාට සැක නැත. දුෂ්කර ක්‍රියාව උග්‍රව සිදු කළ අවසාන කාලය තුළ දිය පොදක් පවා නොලබා අසල වැටෙන ශාක කොළ සහ ගෙඩි පමණක් ආහාරයට ගෙන දිවි ගෙවූ බව සඳහන්ය. සම අස්ථි වලට ඇලී ගියේය. බඩ පිට පොත්තට ඇලුණි. සිහි මූර්ඡා වුණු අවස්ථාවන් කොපමණක් තිබුණාදැයි කිව නොහැක. එහෙත් මරණය ලගා වූයේ නැත. එයට හේතුව සිතෙහි ප්‍රභල අධිෂ්ඨානය යි. එමෙන්ම කිසිදු ආහාරයක් හෝ ජලය පවා නොලබා සති මාස ගණන් භාවනායෝගීව සිටින යෝගීන් අද පවා ඉන්දියාවේ සිටිති. මානසික ශරීරය භෞතික ශරීරයට වඩා ප්‍රමුඛ වන බවට දැක්විය හැකි ප්‍රබල සාක්ෂි වලින් කිහිපයක් පමණක් වේ.
පෙරදින දාර්ශනිකයින් තම මනස ඒකාග්‍රතාවයට පත් කිරීඹ තුළින් විශ්වය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගැනීමට උත්සාහ කළ අතර අපරදිග ප්‍රාඥයින් නවීන විද්‍යාත්මක ක්‍රම මඟින් නවීන තාක්ෂණයෙන් නිපදවන ලද උපකරණ භාවිතයෙන් භෞතික සංසිද්ධීන් නිරීක්ෂණයෙන් යථාර්ථය සෙවීමට උත්සාහ දරා ඇත. එහෙත් යථාර්ථය සෙවීමේදී පළමු ක්‍රමය දෙවනිව සඳහන් ක්‍රමයට වඩා ශ්‍රේෂ්ඨ බව ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාඥයාගේ සාපේක්ෂතා වාදයෙන් පසුව දැන් අපරදිග බුද්ධිමතුන් පවා දක්වන මතයයි.
පෙරදිග දර්ශනය අනුව විශ්වය නිර්මාණය වී ඇති පදාර්ථ පඨවි, ආපෝ, වායෝ, තේජෝ, ආකාශ වශයෙන් ඝන ස්වභාවය, ද්‍රව ස්වභාවය, වායු ස්වභාවය, ශක්ති ස්වභාවය හා ඉඩක් ගන්නා ස්වභාවය වශයෙන් පස් ආකාරයකින් දක්වා ඇත. බුදු දහම අනුව සත්ත්වයාගේ භෞතික ශරීරය නිර්මාණය වූ මූලික අංශු රූප වශයෙනුත් මනස නිර්මාණය වී ඇති කොටස් නාම වශයෙනුත් දක්වා ඇත. එහෙයින් රූප කොටස් යනු පදාර්ථ හා ශක්තිය යි. බුදු දහම අනුව අපට දැනෙන විශ්වය නාම රූපවලට සාපේක්ෂව පවතින දෙයකි.
නවීන විද්‍යාවට අනුව සියලු පදාර්ථ නිර්මාණය වී ඇත්තේ පරමාණු නමින් හැඳින්වෙන ඇසට නොපෙනෙන ඉතා කුඩා අංශු වලිනි. මෙම අංශු තවදුරටත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නි්‍යුට්‍රෝන වශයෙන් අණු පරමාණුක අංශු වලට බෙදා වෙන්කළ හැකිය. පරමාණුවක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට සාපේක්ෂව ඍණ ආරෝපිතය. එමෙන්ම ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වලට සාපේක්ෂව ධන ආරෝපිතය. නි්‍යුට්‍රෝන අනෙක් අංශු වලට සාපේක්ෂව උදාසීනය. නි්‍යුට්‍රෝන හා ප්‍රෝටෝන පරමාණුවේ න්‍යෂ්ටිය වශයෙන් හැඳින්වෙන මධ්‍යයේ ගැබ්ව ඇති අතර ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ආකර්ෂණය වී අවකාශයේ ස්ථානගතව ඇත. පරමාණුවේ සම්පූර්ණ ස්කන්ධය රදා පවතිනුයේ න්‍යෂ්ටියෙහි වූ ප්‍රෝටෝන හා නි්‍යුට්‍රෝන මතය. එයට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය නොගිණිය හැකි තරම්ය. එමෙන්ම පරමාණුවේ සම්පූර්ණ පරිමාව යනු ඉලෙක්ට්‍රෝනයෙහි පරිමාවයි ඉලෙක්ට්‍රෝනයට සාපේක්ෂව න්‍යෂ්ටියෙහි පරිමාව නොගිනිය හැකි තරම්ය. මෙම අණු පරමාණුක අංශූන් තනි තනිව ගත් කල අංශුවක් ද තරංගයක්ද ලෙස ස්ථිරව කිව නොහැක්කේ විටක තරංගයක් ලෙසද තවත් විටක අංශුවක් ලෙසද හැසිරෙන නිසාය. ඉලෙක්ට්‍රෝනයක් අවකාශය තුළ පවතින ස්ථිර ස්ථානයක් හෝ ප්‍රවේගයක් ප්‍රවේගයක් ගැන නොකිය හැකි අතර එය පෙනෙන්නේ වලාවක් ලෙසය.
පරමාණුව තුළ ඇති ඉලෙක්ට්‍රෝන ඒවාට නියමිත වූ ශක්ති මට්ටම් වල පවතී. එම නිශ්චිත ශක්ති මට්ටම් කවච වශයෙන් හැඳින්වෙන අතර එම යාන්ත්‍රණය ක්වොන්ටව් යාන්ත්‍රණය ලෙස හැඳින්වේ. දැනට නිපදවා ඇති අති නවීන අන්වීක්ෂකයකින් පවා මෙම අණු පරමාණුක අංශූන් දැකිය නොහැකිය. දැනීම ලබාගැනීමට හැකිවන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්‍රතිඵලයන් නිරීක්ෂණය කිරීම තුළිනි. එහෙයින් පදාර්ථයේ මූලික ස්වභාවය ශක්ති ස්වභාවයට කිට්ටුය. එසේම මෙය ශූන්‍ය තත්ත්වයට වඩාත් නැඹුරු වූ ධර්මතාවයකි.
විශ්වයේ අප සූර්යග්‍රහ මණ්ඩලය අයත් චක්‍රාවාටය මෙන්ම අනෙකුත් කෝටි ප්‍රකෝටි ගණනක් වූ චක්‍රාවාට නිර්මාණය වී ඇත්තේ අපට සුපුරුදු පදාර්ථ හා ශක්තියෙනි. එහෙයින් විශ්වයේ මුළු අන්තර්ගතයෙන් චක්‍රාවාට තුළ අඩංගු ප්‍රමාණය 4.6% පමණය. ඉතිරි 95.6% පමණ වූ ප්‍රමාණය නිර්මාණය වී ඇත්තේ අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තියෙනි එයින් අඳුරු පදාර්ථ ප්‍රමාණය 24% පමණ වේ. විශ්වයේ මූලාරම්භය වශයෙන් හැඳින්වනෙ මහා පිපිරුම් අවස්ථාවේදී මුලින්ම ඇති වූ දෙය අඳුරු පදාර්ථ හා අඳුරු ශක්තිය යනු විද්‍යාඥ මතයයි. එමෙන්ම ඒවා ශූන්‍ය තත්ත්වයක පවතින බව දැනට පවතින මතයයි.
විශ්වයේ ඇති අප සූර්ය්‍යා ඇතුළු තාරකා තුළ හයිඩ්‍රජන් පරමාණු වලින් හීලියම් පරමාණු බවට පත්වීමේ න්‍යෂ්ටික ක්‍රියාවලිය මඟින් එය තුළ අති විශාල ශක්තියක් ජනනය වන බව දැක්වේ. ජීවයේ හට ගැනීමට මුල් වූ ශක්තිය ලැබුණේ එමඟිනි.
සියලු සංස්කාර ධර්මයන්ට පොදු වූ හටගැනීම වෙනස් වෙමින් පැවතීම හා විනාශය සියලු තාරකාවන්ටත් පොදු ධර්මතාවයන් ය. තාරකාවන් තුළ සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව අවසන් වන විට එය ක්‍රමයෙන් විශාල වී දැවැන්තයෙක් බවට පත්වේ. පසුව ක්‍රමයෙන් හැකිලීමට පටන්ගෙන කුඩා වී විද්‍යාත්මකව කළු කුහරය යන තත්ත්වයට පත්වේ. විද්‍යාඥයන් මෙම තත්ත්වය හඳුන්වනු ලබන්නේ ශූන්‍ය තත්ත්වයක් ලෙසය. මෙයින් හැඟෙන්නේ පදාර්ථයන් ශූන්‍ය තත්ත්වයෙන් ඇරඹී අවසානයේ ශූන්‍ය තත්ත්වයට පත්වන බවය. මෙය බුදු දහමෙහි එන මතයට පටහැනි මතයක් නොවේ.
පදාර්ථය, ත්‍රිමානය, අවකාශය හා කාලය යන ධර්මතාවයන් එකිනෙකට වෙන් කළ නොහැකිය. සියල්ල හේතු ඵල ධර්මතාවයකි. කාලය යනු අණු පරමාණුක අංශූන්ගේ කම්පන රටාව හේතුවෙන් නාම රූප යන ධර්මතාවයන් මඟින් නිර්මාණය වූ සත්ත්වයාට එය දැනෙන ආකාරය යි. අවකාශය හා කාලය අපට ඇල්ලීමට නොහැකිය. අක්ෂි ඉන්ද්‍රිය තුළ තිබෙන දෘෂ්ටි විතානයේ ස්නායු සෛල උද්දීපනය වීමෙන් මොළය කරා ආවේග ගමන් කිරීම හේතුවෙන් අපට දැකීම පිළිබඳ අවබෝධයක් මඟින් අවකාශය පිළිබඳ හැඟීමක් ඇතිවේ.
අතීතයට අයත් වනුයේ සිදුවූ දේවල්ය. අනාගතය යනු සිදුවීමට ඇති දේවල්ය. වඩා වැදගත් වනුයේ අතීතය හා අනාගතය වෙන් කරන මේ මොහොතේ සිදුවන දේවල් අයත් කාල රේඛාවය. මානසික ශරීරයට අතීතයට හෝ අනාගතයට යාමේ විශේෂ හැකියාව ඇත. අතීතයේ සිදු වූ සිදුවීම් පිළිබඳ මතකය ලබා ගැනීමට අප සියලු දෙනාම අත්දැක ඇත. මෝහනය කිරීම තුළින් ඔබේ මතකය කුඩා අවදිය දක්වාත් තවදුරටත් පෙර භවය දක්වාත් ගෙන ගිය හැකිය.
එමෙන්ම අනාගතයෙහි සිදුවීමට නියමිත සිද්ධීන් පිළිබඳ පූර්ව දැනීමක් ලබා ගැනීමේ හැකියාව අප මනසට ඇති බව පිළිගැනීමට තරම් සාක්ෂි බොහෝය. සමහරවිට ඔබත් එවැනි අත්දැකීම් ලබා ඇතිවාට සැක නැත. මම එවැනි අත්දැකීම් විශාල සංඛ්‍යාවක් ලත් අයෙක්මි. මා ලත් එවැනි අත්දැකීමක් මෙසේය.
මෙයට අවුරුදු 20 කට පමණ පෙර මගේ මවට අංශභාග රෝගය වැලඳුනාය. එහෙත් පියා සිටියේ කිසිම රෝගයකින් තොරව නිරෝගිමත්වය. රෝගය ක්‍රමයෙන් සම්පූර්ණයෙන් සුව අතට හැරුණි. ඇය තවමත් ජීවත් වන්නීය. එහෙත් පියා හදිසියේ හෘදයාබාධයක් ඇති වීමෙන් මිය ගියේය. මිය යාමට මාස 4 කට පමණ පෙර අපූර්ව සිහිනයක් කිහිප විටක්ම දිටිමි. මා පාලු පාරක් වැනි ස්ථානයක් තුළින් ගමන් කරමින් සිටියෙමි. පාර දෙපස විශාල ගස් වලින් පිරී පැවැතිණි. එම ගස්වල අලවා තිබුණේ අනිච්චාවත සංඛාරා ලෙස සඳහන් කරන ලද පියාගේ ඡායාරූපය සහිත මරණ දැන්වීම්ය. මෙය අන් අයට පැවසුවද කිසිවකු ගණන් ගත්තේ නැත. සිද්ධාර්ථ කුමරා සිය කුස තුළ පිළිසිඳ ගැනුණු විට මහාමායා දේවිය දුටු සිහිනය ද මෙවැනි ඓතිහාසික සාක්ෂියකි.
පදාර්ථ නිර්මාණය වී ඇති පරමාණු තුළද මතක ශක්තියක් අඩංගු බවට තර්ක කළ හැකිය. පරමාණුව තුළ පවතින අණු පරමාණුක අංශූන් කම්පනය වන්නේ නිශ්චිත රටාවකට එනම් විශිෂ්ට වූ මතකයකට අනුවය. විශ්වය නිර්මාණය වී ඇති චක්‍රාවාට ග්‍රහ මඩුලයි, යනාදී සියලු දේවල් චලනය වන්නේ අහඹු ලෙස නොව විශිෂ්ට මතකයකට අනුවය. අප නිර්මාණය වී ඇති සෛල තුළ පවා විශිෂ්ට මතකයක් ඇත. සෛල තුළ අඩංගු ජාන නමින් හැඳින්වෙන පිටපත් මඟින් පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණිගත ලක්ෂණයන් ගෙන යනු ලබන්නේ මෙම විශිෂ්ට මතකය තුළිනි. අවුරුදු සිය ගණනකට පෙර ඔබේ පූර්වජයන් පිළිබඳ මතකයන් පවත්වාගෙන යාමේ හැකියාවන් ඔබේ සෛල තුළට ඇත.
මුළු විශ්වයම එකම ශක්ති ප්‍රවාහයකි. එයින් භෞතික ශක්තියට වඩා මානසික ශක්තිය අති ප්‍රභලය. දයාව, කරුණාව, මෛත්‍රිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා වෛරය යන ධර්මතාවන් මානසික ශරීරය හා බැඳුණු ඒවාය. ඒවා කාලය අවකාශය මෙන්ම අතින් ඇල්ලීමට නොහැකි සිතට දැනෙන ඒවාය. දයාව, කරුණාව, මෛත්‍රිය වැනි ධර්මතාවයන් සත්ත්ව පැවැත්මටත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි ධර්මතාවයන් සත්ත්ව විනාශයටත් හේතු වේ.
සාපේක්ෂතා වාදය ඉදිරිපත් වීමෙන් පසු විද්‍යාඥ නිව්ටන් විසින් ඉදිරිපත් කෙරුණු ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමය ඇතුළු ඇතැම් විද්‍යාත්මක මතවාදයන් බොරු වන්නට විය. සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය යනු බර වස්තුවක් ත්‍රිමාන අවකාශය තුළින් ගමන් කිරීමේදී කාල රේඛාව හා අවකාශය අතර ඇතිවන වක්‍රතාවය ලෙස දැක්වේ.
එමෙන්ම අප අත්විඳින ත්‍රිමාන විශ්වය නිර්මාණය වී ඇත. පරමාණු තුළ අඩංගු අණු පරමාණුක අංශු වල කම්පන රටාවට වෙනස් වූ කම්පන රටාවලින් යුත් පරමාණු සහිත විශ්වයක් පැවතිය හැකිය. එම පදාර්ථ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙන් පැහැදිලි කරන ලද ගුරුත්වාකර්ෂණය පිළිබඳ සංසිද්ධීන් තර්ක නොකිරීමට ඉඩ ඇත.
එම පදාර්ථ වලින් නිර්මිත ජීවීන් අත්දකින විශ්වය අප අත්දකින විශ්වයට වඩා වෙනස් වූවකි. මොවුන්ගේ චලනය ආකර්ශනයෙන් තොර වූ එකක් විය හැක.
නින්දේදී උඩු හිත නිද්‍රා ගත වී යටි හිත ප්‍රබලව ක්‍රියාත්මක වීමට පටන් ගනී. ගැඹුරු නින්දේදී යටි හිත වෙනත් මානයක පවතින එවන් විශ්වයක් තුළට ගමන් කරවිය හැකිය. එයට හේතුව මානසික ශක්තිය සියලු විශ්වයන්ට පොදු වූ එකක්වන හෙයිනි. සිහින තුළින් මලගිය ඥාතීන් හා වෙනත් අත්භූත පුද්ගලයන් ඔබට හමුවිය හැකිය.
මෛත්‍රිය, කරුණාව, දයාව වැනි මානසික ශක්තීන් මනස ඒකාග්‍රතාවයට පත් කිරීම මඟින් එම මානයන් තුළ සිටින සත්ත්වයන් කෙරෙහිද පැතිරවිය හැකිය. එමෙන්ම ඔවුන්ගෙන් පණිවිඩ අප වෙත ලබාගත හැකිය. මෙයට මාස කිහිපයකට පෙර මා විසින් ඉසිවර සඟරාවට ලියන ලද විශ්වය නමැති ලිපිය මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. එහි දැක්වූ පරිදි මා නිරීක්ෂණය කරන ලද ආලෝක සංඥාවන් මනෝ මායාවන් නොව පවතින යථාර්ථයන් පිළිබඳ සජීවී අත්දැකීම් බව මගේ සහෝදරයන් උපයෝගී කරගනිමින් සනාථ කරන ලද බව දක්වන ලදී. මිනිසා තුළ ඇත්තේ ඇස, කන, දිව, නාසය, ශරීරය නම් වූ පංචේන්ද්‍රියන් පමණක් නොව සයවැනි ඉන්ද්‍රිය මනසයි. මනස ඒකාග්‍රතාවයට පත් කිරීමෙන් වෙනත් මානයන් තුළ සිටින ජීවීන් පිළිබඳවද අවබෝධයක් ලබාගත හැකිය.
පල්ලෙවෙල වෛද්‍ය
ඩී.ඩී. සුනිල් ප්‍රේමසිරි