නිරෝගී සෞඛ්‍ය සම්පන්න නිවසක් හදමු

වාස්තු දෝෂ සම්පූර්ණයෙන්ම නැතිව නිවසක් ඉදිකර ගැනීම අනිවාර්ය කරුණක් වේ. හිතුමතේට නිවාස ගොඩනගාගෙන කායික හා මානසික අසහනයන්ට ගොදුරු වන නිවාස හිමියන් අප කොතෙකුත් දැක ඇත්තෙමු. නිවසක් ගොඩනැගීමේදී සිය ජන්ම නැකතට සම්පත් ක්‍ෂේම සාධක මෛත්‍රී පරම මෛත්‍රී ගණ තලයකට තිබිය යුතුය. වර්ශීකරණය ඉතාම සුබදායක වන අතර දිසානුගත කිරීමද වැදගත්ය.


අත්තිවාරමේ ඊසාන දිසාවේ අධික දිග්වීම, කෙටිවීම, අඩුවීම අසුබයි. ක්‍රමවත්ව නිසි ප්‍රමිතිගත දිග පළල පිටින් පිට යොදාගත යුතුයි.
ගිනිකොණ දිසාවද අඩුවක් ඇත්නම් එයද අසුබයි. මානසිකව ඇදවැටේ. නිරිත දිසාවේ අත්තිවාරම කෙටිවීම හරහා හෝ එල් පොරෝ හැඩය සුබ නැත.
වයඹ දිසාවද ප්‍රමිතිගත විය යුතුමය. අඩු වැඩිවීම සුබ නැත. පවුලේ දියණියන් කෙරෙහි බලපානු ලැබේ.
සිය නිවසේ සිට අවට නිවසක බිත්තියේ අත්තිවාරම් කෝණය තම නිවසේ අත්තිවාරම් කෝණයට හසුවීම සුබ නැත.
තම නිවසේ මංගල දොරටුව වෙනත් නිවසක ප්‍රධාන දොරටුවට එල්ලවීම අසුබයි. සිය නිවසේ සෙවනැල්ල සමීප නිවසට වැටීම අයහපත්වේ.
තවද මුදුන් යටලීය හා බාල්ක වෙනත් සමීප ගෙදර යටලී බාල්කවලට කෙලින් තිබීම සුබ නොවේ.
තම ඉඩමේ උතුර ඊසාන හා නැගෙනහිර දිසාව ප්‍රපාතයක් ගල් තලාවක් පිහිටීම ද සුබ නැත. පල එකේ පන්දලම් වහල අසුබයි. පල 2 සුබයි. පල 3 අසුබයි. පල හතර යහපත්. පල පහ ද සුබයි. පල 6 අසුබයි. පල හත වැඩි පිරිසක් සිටී නම් සමයි. එක වහලයකින් අනික් වහලයට වැසි ජලය වැටීම අයහපත්ය. පල දෙක අතර වැසි පීලි යෙදීම අයහපත්වේ.
ඉතාම දිග දණ්ඩාකාර හැඩය සුදුසු නැත. දිග පළල සම වීම සුබ නැත. කලාත්මක හැඩතල රිද්ම රටාවකට අනුව වහල ගැසීම යහපත්වේ.
මූලප්පරාල පිරිද්දීම යටලී බාල්ක යෙදීම කිඹුල්තල්ල මූට්ටුව ගෙයි හරි මැද සුදුසු නොවේ.
මුදුන් යටලී තුනක් වීම, කුරුපා තුනක් තැබීම, කුරුපා බෙදෙන සංඛ්‍යාවක් වීම මැනවි. තනි කුරුපාව ඉතාම අසුබයි. විකර්ණ රේඛාව උඩින් තිබීම විශාල ලෙස හානි කරයි. පරාල ජනේල ලීය හරි මැද කෙළවර තැබීම යෝග්‍ය නොවේ.
පරාල ඇණ තුනක් යෙදීම අයහපත්ය. ලී ඇණ යෝග්‍ය වේ. නවීන නිවාසවල විවිධ හැඩ අනුව වහල ගැසීමේදී වාස්තුවට අනුගතව කළ යුතුවේ.
පල හතරේ වහල ගැසීමේදී මූලප්පරාල 4 ක් වැටේ 6, 8, 12 අයහපත්ය. ඇතැම් නිවාසවල පිටතට පැන්නූ කඩයිම් වහල වහල ගැසීමේදී කානු පරාලයන් මුළු පරාලයන් මුදුන් යට ලීයත් එක තැන මූට්ටු කිරීම නිසා පස්මූට්ටුවක් යෙදේ. මෙය දෝෂ සහිතයි.
අයෝග්‍ය ලී ගැට දැනගනිමු. උසස් ප්‍රමිතිගත ලී වර්ග යෙදිය යුතුයි. ගැට හා පැළුම් නැති ලී යොදන්න. මල ගැටය, නෙත්ති ගැටය, කොන් ගැටය, අන්තර් ගැටය, මූණත් ගැටය මේ හැර පැලුම් සහිත ලී වර්ග වූ මල් පැලුම, රේඛා පැලුම ආදී දෝෂ සහිත ලී යටලී ආදිය වහලයට යොදා නොගන්න.
සුදුසු ලී වර්ග – කොස්, බුරුත, වල් දෙල්, මී, මිල්ල, ගොඩපර, බටදොඹ, හල්මිල්ල, රතු කොට්ටම් සුදුසුයි. ව්‍යාජ ලී යෙදීම සුදුසු නොවේ.
දෙමහල් නිවසක් ගොඩනැගීමේදී බිම් මහලේ උඩින් දමන්නේ සිමෙන්ති ස්ලැබ් එකයි. උඩු මහලේ බිම එකී කෘතිම තලයවේ. මේ හරහා බලන විට බිම් මහලේ උඩ පියස්ස, (වහලය) ස්ලැබ් එක නිසා දෝෂ නොමැත. නමුත් උඩු මහල්වල වහල ගැසීම වාස්තුවට අනුව සිදුකළ යුතුයි. මඩොල් කුරුපාව තනි කුරුපාව යෙදීම සුබ නැත. විහාර දේවාලවලට යෝග්‍ය වේ. නිවාස වාස්තු, ආගමික ගොඩනැගිලි වාස්තු, හා ව්‍යාපාර වාස්තු යනුවෙන් වෙන් වෙන්ව වාස්තු හැසිරෙන බැව් සිතිය යුතුයි.
තවද නිවාස තුළ දැනට යොදන ආරුක්කු ලෙවල් බෝක්කු පඩිපෙළ ආදියට ද ප්‍රමිති ගත වාස්තු හැසිරීමක් තිබේ. මේ අනුව විමසා බලන විටදී නිවාස වාස්තු විද්‍යාව කොතරම් ශාස්ත්‍රීය ද යන්න පැහැදිලි වන්නේය. ඉදිරි කලාප තුළින් වාසනාවන්ත නිරෝගී වාසයට යෝග්‍ය නිවසක් ගොඩනගන අයුරු එකින් එක පෙළගස්වන්නෙමු.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා උපදේශ,
දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල