බෝවන රෝගවලින් වැළකීමට හෙළඔසු සරණ යමු

අද බොහෝ රෝගාබාධ ඇති වන්නේ දේශයට අදාළව පරිසරයේ ඉබේ වැවෙන දේ ආහාරයට නොගෙන යම් යම් පුද්ගලයන් විසින් මුදල් ඉපයීමේ ක්‍රම වශයෙන් සකසා ප්‍රදර්ශනය කෙරෙන විවිධ කෑම බීම වර්ග භාවිතයෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.


නිරෝගීව ජීවත්වීමට බාධා ඇතිවන්නේ අපේ ශරීරයේ ඇති ස්වසන පද්ධතිය ජීර්නේන්ද්‍රිය පද්ධතිය, මුත්‍ර පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය සහ ස්නායු පද්ධතිය ආදී පද්ධතීන් දුර්වල වීමෙන් හා විෂ වීමෙනි. අත්‍යවශ්‍යම පද්ධතිය ස්වසන පද්ධතියයි. හුස්ම නැත්නම් ජීවිතය නැත. ස්වසනය පිළිබඳ පෙනහලු ප්‍රධාන වෙයි. කෑමෙන් බීමෙන්, නෑමෙන්, ක්‍රියාවෙන් බොහෝ විට පෙනහලුවල සෙම දූෂ්‍ය වෙයි. සෙම වැඩි වූ කල පුප්පුශීය ශිරා සහ නාඩි ක්‍රියාකිරීම අපහසු වෙයි. හෘදයේ ද එසේමය. හෘද ශිරා නාඩි සහ කපාටවල සෙම බැදී රුධිර සංසරණයට අපහසු වෙයි. මේ තත්ත්වයන්ට හේතු වන්නේ නුසුදුසු අවස්ථාවල තෙල් මිශ්‍ර ආහාර ගැනීම, නුසුදුසු අවස්ථාවල අධික උෂ්ණ ආහාර හෝ අධික ශීතල ආහාර පිළුනු වූ ආහාර ආදියයි.
එවැනි සෙම් බහුල අවස්ථාවල අද බොහෝ දෙනෙක් පුරුදුව ඇත්තේ සෙම වේලන පෙති වර්ග ගිලීමටයි. එසේ කිරීමෙන් බොහෝ වියලි සෙම රැස්වීම රුධිරය හා වාතය සංසරණය අවහිර වී එකවරම මිය යෑමට ඉඩ ඇත. ඒ නිසා වියලි සෙම දේශීය තෙල් වර්ග හිස් මුදුන සහ උරපතු යට පිටේ අතුල්ලා නස්න කිරීමෙන් හා පස්පංගුව වැනි ඖෂධ වර්ග තම්බා වේදු ඇල්ලීමෙන් සෙම ඉවත් කළ යුතුය. එලබටු හොද්ද වැනි වර්ග ආහාරයට ගත යුතුයි. එසේ කිරීමෙන් බුරුල් වන සෙම කාරා දැමිය යුතුය. හොටු සූරා දැමිය යුතුය.
නරක් වූ හෝ අපත්‍ය ආහාරයක් අනුභව කර උදරාබාධයක් ඇති වුවොත් අජීර්ණය නැසීමටත්, අජීර්ණ වූ ආහාර විරේක කිරීමටත් සුදුසු විරේචන වැනි ප්‍රතිකර්ම කළ යුතුය. මුත්‍ර දෝෂ බොහෝ විට ඇතිවන්නේ වකුගඩු විෂ වීමෙනි. වකුගඩු ශුද්ධ වීමේ හා මුත්‍ර පිටවීමේ දේශීය ඖෂධ වර්ග භාවිත කළ යුතුය.
ස්නායු පද්ධතියේ මූලස්ථානය මොළයයි. ගමන් කිරීමේ ප්‍රධාන මාර්ගය කොඳුඇට පෙළයි. හිසේ වැදගත් තෙලක් ගාලා විනාඩි කීපයක් පිරිමැදීමෙන් හා කොඳුඇට පෙළෙහි එම තෙල් ආලේප කර පිරිමැදීමෙන් ස්නායු දෝෂ හා අවහිරතා දුරු වී ස්නායු පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙයි. අක්මාව සහ අග්න්‍යාසය ගැනද කිව යුත්තේ එසේමය. ඒ ඒ ඉන්ද්‍රියන්ගේ රෝග ලක්‍ෂණ ඇතිවූ කල එවැනි දොස් දුරු කිරීමට සැකසූ බෙහෙත් මෙන්ම අප වටපිටාවේ ශාකමය ආහාර වර්ග ඇත.
සෙම අධික නම් එලබටු හොද්ද, අධික රුධිර පීඩනය ඇත්නම් කෝප්ප කොළ ද, සීනි ප්‍රමාණය අධික නම් තෙබු කොළ, කෝවක්කා කොළ, බටු, කරවිල ගෙඩි, ගැට පොලොස් වැනි දේද, මොලයේ රෝග ඇත්නම් ගොටුකොළද, මළ බද්ධය ඇත්නම් කංකුන්, වැටකොළු සහ කොහිල අල ද, ධාතු ශක්තිය අඩු නම් පෙනල කොළ ද, ලේ විෂවී කුෂ්ට රෝග ඇත්නම් තෝර කොළද, වකුගඩුවල ගල් තිබේ නම් අක්කපාන සහ කටු අනෝදා ද, මුත්‍ර බද්ධය නම් වැල් කහඹිලියා ද කුසගිනි අඩුනම් සුදු පිටවක්කා මුල් ද, ව්‍යංජන වශයෙන් හෝ කශාය වශයෙන් හෝ අමුවෙන් හෝ කෑමට හෝ බීමට යොදාගත හැක.
මොනරකුඩුම්බිය මැල්ලුම්, ඇඹුල හෝ කොළ කැඳ වශයෙන් ගැනීමෙන් රෝග නොවැළඳීමේ ශක්තියක් ඇත. විෂබීජ නාශක ශක්තියක් ඇත. පොල් වතුර බීම ඉතාම හොඳ ඖෂධයකි.
කොරෝනා රෝගය ද ඇතිවන්නේ ඉහත කී වැරදි ආහාර පාන විහරණ ආදිය නිසාය. ඉහත සඳහන් පරිදි සුදුසු ආහාර පාන ගැනීමෙන් කොරෝනා වෛරසය වැළැක්විය හැකි බව මගේ මතයයි.
ඒ සමගම ආහාර මෙන්ම වෙනත් ඖෂධ වර්ග ඇත. ඉඟුරු, කොත්තමල්ලි, වැල්මී, පත්පාඩගම්, සුදු ලූනු, වෙනිවැල්ගැට සහ කටුවැල්බටු මිශ්‍රව සකසන පේයාවට රෝග සුව කිරීමේ මර්දනය කිරීමේ සහ වැළැක්වීමේ ශක්තිය ඇත. පෙරුංකායම් විෂබීජ හරණයටත්, රෝග වැළැක්වීමටත් රෝග සුව කිරීමටත් ඉතා වටිනා ඔසුවකි. සතියකට වරක් පෙරුංකායම් කලං 1/4 ක් පමණ ගිලීමත් අවට රෝග ඇති අවස්ථාවක පෙරුංකායම් ටිකක් තුනී රෙදි පටියක දවටා අතේ බැඳ ගැනීමත් ඉතා හොඳ ප්‍රතිකාරයකි.
ඇතැම් පැණි බීම වර්ග ද, ටිං මාළු වර්ග ද බොහෝ විට සෞඛ්‍යයට අහිතකරය. චොකලට් නිතර භාවිතය ඉතා අගුණය. එසේම මෛත්‍රි භාවනාව වැනි භාවනා වර්ග ද කේන්තිය දුරු කිරීමත් නිරෝග ලැබීමට හා රෝග සුව කිරීමට මහඟු බලයක් දෙයි.
රා.මු.ක. බණ්ඩාර
ආයුර්වේද පණ්ඩිත
වේගොල්ල, මාස්පොත