බාලගිරි දෝෂය අදටත් වලංගුය

බිලිඳුන්ට වැලඳෙන බාලගිරි දෝෂය ඖෂධ වලින් සුවපත් කළ නොහැකි අසාමාන්‍ය ගුප්ත ස්වභාවයක් පෙන්වන රෝගයකි. සාමාන්‍යයෙන් බිලිඳු දරුවන්ට විවිධ වූ අයහපත් ග්‍රහ බලපෑම් හේතුවෙන් හටගන්නා රෝග බොහෝය. මින් ඇතැම්වා ඖෂධීය ප්‍රතිකර්ම මගින් සුව වන අතර ඇතැම්වා කොතෙක් ප්‍රතිකාර කළ ද දරුවාට කර්මානුරූපව බලපා ඇති ඒරාෂ්ඨක කාලය හෝ අශුභ දශා කාලය අවසන් වන තුරුම පවතී. මෙනිසාම දරුවාගේ මානසික හා ශාරීරික වර්ධනය පිරිහේ. සමාජයේ ඇතැම් පිරිස් විවිධ තර්ක ගෙනහැර පා මෙම තත්ත්වය මිත්‍යාවකට ලඝු කළ ද අප කුඩා කල අපටත් මෙවැනි තත්ත්වයක් ඇතිවූ බව අපේ අප්පච්චිත් අම්මාත් අප හා පවසා ඇත.

ඔවුන් බොහෝ දිනවල රාත්‍රිය පුරාම වාගේ නිදි වර්ජිතව දරුවා නලවා ගැනීමට නොහැකිව ගත කළ බව කියයි. එසේම එවකට යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කළ අපේ පවුලේ ගුරුන්නාන්සේ තෙල් මතුරා යන්ත්‍රයක් සුරයක බහා අප කර පැලඳි පසු එම තත්ත්වය පහව ගිය බව කියයි. එසේ නම් මෙහි යම්කිසි හරයක් ඇති බව පෙනී යයි.
වෛද්‍ය මතයට අනුව දරුවා නිරෝගී වුවද දරුවාට වයස අවුරුදු 12 පමණ වන තෙක් බොහෝ විට පැහැදිලි හේතුවකින් තොරව අතීතයේත් වර්තමානයේත් වැලඳුන මෙන්ම වැලඳෙන රෝග ගණනාවකි. ඒ අතර නින්දෙන් ගැස්සී අවදි වීම, විශේෂයෙන් රාත්‍රී කාලයේ එක දිගට නොකඩවා හැඬීම, මවගෙන් හෝ කිරි බෝතලයෙන් කිරි උරා නොබීම, පෙකනිය පැසවීම, ශරීරයේ ඇස්වහ බිබිලි මතුවීම, රතගාය ලෙස ශරීරයේ රත් පැහැ බිබිලි දැමීම, ශරීරයේ විවිධ ස්ථානවල රත් පැහැ කැලැල්, ලප ආදිය ඇතිවීම, කිරි වමනය දැමීම ආදිය මූලික වේ. මින් බහුතරයක් ලෙඩ රෝග දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් සිදුවේ යැයි යමෙකුට තර්ක කළ හැකි  මුත් එය එසේම යැයි සිතිය නොහැක. ඒ මෙවැනි රෝග පංචායුධ ජීවම් කළ සුර, ජීවම් කළ නූල් වැනි දෑ පැලඳීම තුළින් මගහැරී යන බැවිනි. මේ බව පැරණි පොතපත පරිශීලනයේදී මනාව පසක් වේ. එහි සඳහන් ලෙසට බිලිදෙකු මොලාව එළිය දුටුදා සිට වසර 12 ක් පමණ බාලගිරි නම් යක්‍ෂ දෝෂයට නොදුරු වේ. එසේ වන්නේ දරුවාගේ ඒ ඒ වසරට විශේෂ වූ විවිධ නම් වලින් හඳුන්වන බාලගිරි යක්‍ෂණියන් දොළොස් දෙනෙක් දරුවාට ඇල්ම බැල්ම යොමා බලපෑම් කරන බැවිනි. මෙලෙස බිලිඳාට පළමු වසරේ සිට දොළොස් වන වසර තෙක් බලපෑම් කරන බාලගිරි යක්‍ෂණියන් පිළිවෙළින් මෙසේ නම් කළ හැක.
1. පළමු වසර – නන්දනී යක්‍ෂණිය
2. දෙවන වසර – සුනන්දා යක්‍ෂණිය
3. තෙවන වසර – පූතනා යක්‍ෂණිය
4. සිව්වන වසර – මුණසිකා යක්‍ෂණිය
5. පස්වන වසර – කට පුන්‍යා යක්‍ෂණිය
6. සයවන වසර – ශකුණිකා යක්‍ෂණිය
7. සත්වන වසර – ශුෂ්කා රේවතී යක්‍ෂණිය
8. අටවන වසර – අර්ධකා යක්‍ෂණිය
9. නම වන වසර – ශුසුනිකා යක්‍ෂණිය
10. දස වන වසර – නෙර්ශාසා යක්‍ෂණිය
11. එකොළොස් වන වසර – පිළිපිච්චිකා යක්‍ෂණිය
12. දොළොස්වන වසර – කාමුකා යක්‍ෂණිය
මෙලෙස අලුත උපන් බිලිඳෙකුට වසර 12 ක් ගතවන තුරුම බාලගිරි දෝෂය බලපැවැත් වුවද මෙලොව ජනිත වන සියලු බිලිඳුන්ට බාලගිරි දෝෂය බල නොපවත්වයි. ඒ එම බිලිඳුන් පින්වත් ප්‍රභල විඥානවලට හිමිකම් කියන බැවිනි. එවැනි බලවත් පින්වත් ආත්මවලට බාලගිරි යක්‍ෂණියන්ට බලපෑම් කළ නොහැක. එහෙත් එතරම් ප්‍රභල නොවන ආත්මවලට හිමිකම් කියන විඥාන සහිත බිලිඳුන් උපන් දා සිට වසර කීපයක් හෝ බාලගිරි දෝෂයෙන් පීඩා විඳිනු දැකිය හැක. යම් ලෙසකින් දුර්වලම ආත්මභාවයක් සහිත බිලිඳෙකු වුවහොත් පුන්‍ය ශක්තියේ ඇති මදිකම හේතුවෙන්ම බිලිඳා වසර 12 ම බාලගිරි දෝෂයෙන් පීඩා විදී.
මෙම බාලගිරි දෝෂය සඳහා පුරාණයේ භාවිතා වූ ප්‍රතිකර්ම මෙන්ම කෙම් ක්‍රම ගණනාවකි. ඒ මෙසේය.
1. ජීවම් කරන ලද නිසි ප්‍රමිතියෙන් යුතු පංචායුධයක් පැලඳීම.
2. නිවසේ ප්‍රධාන උළුවස්සේ ‘බාලගිරි අද නොවේ හෙට’ යනුවෙන් තරමක් ලොකු අකුරෙන් කාටත් පෙණෙන සේ ලියා තැබීම.
3. සෙනසුරාදා දිනක පුෂ නැකතින් හිමිදිරි පාන්දර කපුටන් හැඬීමට පෙර කතා නොකර ගොස් ඔළිඳ මුලක් උදුරා ගෙනවිත් දරුවාගේ දකුණතේ බැදීම.
4. දරුවාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බලා සුදුසු යන්ත්‍රයක් ජීවම් කර දරුවාගේ කරට හෝ ඉනට දැමීම.
5. තිලකය මන්ත්‍රයක් තරම් බලගතු බැවින් දකුණත වෙදඟිල්ලෙන් දරුවාගේ නලලේ තරමක් ලොකු කලු තිලකයක් තැබීම.
6 දේවදාර, නාමල් රේණු, අගිල්, සුදු හඳුන්, සුවඳ කොට්ටං, නෙලුම් රේණු යන ද්‍රව්‍ය කුඩුකර ජලනන්දන පිරිතෙන් 108 වරක් මතුරා උදේ සවස දුම් ඇල්ලීම. ඇතමුන් ඉහත ද්‍රව්‍ය වෙනුවට සාම්බ්‍රානි පමණක් ද භාවිතා කරනු දැකිය හැක.
කෙසේ වෙතත් ඔබේ දරුවා හෝ ඔබ දන්නා දරුවකු හෝ ඉහත සඳහන් වූ ලෙසට බාලගිරි දෝෂයට ගොදුරු වී ඇත්නම් ඉහත සඳහන් වත් පිළිවෙත් අනුගමනයෙන් ඉන් අත්මිදී සහනයක් දරුවාගේ නිරෝගීභාවයත් ලැබ ගන්න.
ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද