ආත්ම දමනය කිරීමට ගෝමේද මැණික පළඳින්න

ග්‍රහ පවුලේ ග්‍රහයෙක් ලෙස නම් නොකරන රාහු අසුරේන්ද්‍රයා, ග්‍රහයෙක් නොව ඡායා ග්‍රහයෙක් ලෙස නම් දරයි. හිස කොටස නයි පෙනයක් සහිත වූද කද කොටස මිනිස් රුවක් සහිත වූ ද රාහු ජන්ම පත්‍රය තුළ අශුභ ආකාරයට පිහිටි විට ජීවිතය අවුල් කරන, අධික ලෙස කෝපය ඇති කරන, හිතුවක්කාර මුරණ්ඩු ගති ඇති කරන ග්‍රහයෙකි. එම රාහු අසුරේන්ද්‍රයාට අයිති මැණික ලෙස ගෝමේදය හැඳින්විය හැක. අඳුරු කහ පැහැයට හිමි තැඹිලි වර්ණයක් ගත් ගෝමේද මැණික, අනෙක් මැණික් අතර මිලෙන් ඉතා අඩු මැණිකකි. මෙය මැණික් කර්මාන්තයේදී සුලභව හමුවන මැණිකකි.


පුද්ගලයකුගේ උප්පත්ති භාව කේන්ද්‍රය තුළ රාහු නම් ඡායා ග්‍රහයා සිටින බලය දෙස බලා ගෝමේද මැණික පැළඳීමට නිර්දේශ කළ යුතුය. රාහු ග්‍රහයා උච්ච, ස්වක්ශේත්‍ර, මිත්‍ර බලයෙන් වේ නම් පමණක් ගෝමේද මැණික පැළඳිය යුතුයි. යම් හෙයකින් රාහු නම් ඡායා ග්‍රහයා සම, සතුරු, සතුරු මුඪ හෝ භංග නොවන නීචයක වේ නම් රාහුට අදාළ ගෝමේද මැණික පැළඳීම නොකළ යුතුයි. මෙවැනි පුද්ගලයෙක් ගෝමේද මැණික පැළඳුවහොත් රාහුගෙන් ඇති වන අපල තව තවත් තිව්‍ර වී ජීවිතය විනාශ වී යෑමට ද පුළුවන. එනිසා දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු ලවා ඔබගේ භාව කේන්ද්‍රය පරීක්‍ෂා කරවා මෙම මැණික පැළඳීමට වගබලා ගන්න.
රාහු හොඳ බලයකින් සිටි අයෙක් ගෝමේද මැණික මුදුවකට සවිකර හෝ පෙන්ඩනයකට දමා ශරීරයේ ස්පර්ශ වන ආකාරයට පැළඳීමෙන් එම පුද්ගලයා සමාජයට ප්‍රිය උපදවන පුද්ගලයකු වීම අනිවාර්ය වේ. එපමණක් ද නොව සිතේ තැම්පත් බව හා ආත්ම දමනය වීමද දැකිය හැක. ආත්ම ගෞරවයට හානි සිදුවූ අයකු මෙම ගෝමේද මැණික පැළඳූ විට වී තිබූ අපහාස දුරුවී ගෞරවය, නම්බුව, කීර්තිය, ප්‍රසංසාව නොවඩුව ලැබෙනු දැකිය හැක.
ගෝමේද මැණික පැළඳීමෙන් පුද්ගලයාට එල්ලවන සතුරු බලපෑම්, කරදර වලින් මිදීමේ ශක්තිය ද ලැබේ. රාහු විදේශ ගමන් බිමන් හා දුර ගමන් ගැන කියන ග්‍රහයා බැවින් එවැනි ජන්මියකුට ගෝමේද මැණික පැළඳීමෙන් විදේශ රැකියාවේ මෙන්ම දුර ගමන් බිමන්වලද ප්‍රබල දියුණුවක් අත්පත් කරගත හැක.
ගෝමේද මැණිකේ නියම ප්‍රතිඵල ලැබෙනුයේ රාහුගේ මහ දශාවත්, අතුරු දශාවත්, විදශාවක් හෝ ප්‍රානදශාවක් යෙදෙන විටය. රාහුගේ මහ දශා කාලය අවු. 18 කි. එය දීර්ඝ මහ දශා කාලයකි. එම මහ දශාව තුළ ද රාහුගේ අතුරුදශාවක්, විදශාවක් මෙන්ම ප්‍රාන දශාවක් ද ඇත. මෙම දශා වලදී, ජන්ම පත්‍රය තුළ රාහු වෘෂභය රාශිගතව, කන්‍යා රාශිගතව, කුම්භ රාශිගතව හෝ මිථුන, තුලා, මකර වැනි රාශිගතව සිටී නම් ගෝමේද මැණිකෙන් ලැබෙන සුබ ඵල තිව්‍ර කරනු ඇත. මෙවැනි රාශියක රාහු සිට එම ජන්මියාගේ උපන් නැකතද රාහුට අදාළ අද, සා, සියාවස යන නැකැත් තුනෙන් එකක් නම් රාහු දශාව තුළ එම පුද්ගලයා රජ වූවා බදු වේ. ජන්ම පත්‍රය තුළ රාහු ග්‍රහයා මේෂ රාශිය තුළ, කටක රාශිය, සිංහ රාශිය තුළ, වෘශ්චික රාශිය තුළ හෝ මීන රාශිය තුළ වේ නම් රාහු දශාව එම පුද්ගලයාට පීඩාකාරී වනු ඇත. නමුත් සහන ලබා ගැනීමට සිතා ගෝමේදය පැළඳීම නොකළ යුතුයි. යම් කෙනකු එසේ පැළඳුවහොත් දශාව තුළ ඇතිවන පීඩාකාරී තත්ත්වය තව තවත් තිව්‍ර වනු ඇත.
රාහු සුබ ආකාරව පිහිටි විට ලග්න දොළහට ගෝමේද මැණික පැළඳීමෙන් සිදුවන ශුභඵල පහත පරිදි වේ.
මේෂ ලග්න හිමියකුට ගෝමේද මැණික් පැළඳීමෙන් ඔවුන්ගේ ධනය වර්ධනය වී, ධන යෝග උදාවනු ඇත. තවද මොවුන්ට ඇතිවන සතුරු කරදර මර්ධනය වී ලෙඩ රෝගවලින් මිදී නිරෝගී ජීවිතයකට හිමිකම් කියත හැක. ආදායම් මාර්ග ඉහළ ගොස් බොහෝ ලැබීම් වර්ධනය වනු ඇත. අතමිට සරුවී ජීවිතය ද සතුටින් ගත කළ හැක.
වෘෂභ ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් පෞරුෂය වර්ධනය වී, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය බොහෝ වැඩිවනු ඇත. ඉගෙන ගන්නා වයසේ සිටින වෘෂභ ලග්න හිමියෙක් නම් ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වී විභාග ආදියෙන් ජය ලබා ගැනීමට හැකි වේ. දරුඵල අහිමි අයට මෙන්ම දරුඵල ප්‍රමාද අයට ද සහන ලැබෙනු ඇත. ප්‍රේම සබදකම් ස්ථිර වී ජීවිතය සතුටින් සිටීමට ලැබේ. රැකියාවල දියුණුව ද තනතුරු උසස් වීම්ද, ක්‍ෂණික පඩි වැඩිවීම් ද ලැබෙනු ඇත.
මිථුන ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් ගේ දොර දියුණුව මෙන්ම යාන වාහන හිමි වීම්ද දැකිය හැක. පෙර පිං පල දෙන, පෙර පිං මෝරා එන කාලයක් ද වනු ඇත. විවාහ ජීවිතය සතුට, සැනසුම, තෘප්තිය ලබාගත හැකි වේ. එපමණක් නොව විදෙස්ගතව රැකියාව කරන හෝ දුර ගමන් බිමන් වල යෙදෙන අයට බොහෝ වාසි අත්වනු ඇත.
කටක ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් සහජ දක්‍ෂතා මෙන්ම සහජ කුසලතා ඔප් නැංවී ඒවායින් දියුණු වීමට ලැබීම් ලබා ගැනීමට හේතුවනු ඇත. ආර්ථික දියුණුව ද නොඅඩුව ලබාගත හැක. මාරක අනතුරුවලින් මිදීමේ වාසනාව නිතතින් හිමිවේ. සහෝදර සහෝදරියන්ගේ සහයද නොඅඩුව ලැබේ.
සිංහ ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් ධනය ගලාගෙන එන කාලයක් වනු ඇත. ව්‍යාපාරවල නියැලෙන්නන්ට ව්‍යාපාර දියුණුවී අතමිට සරුවේ. හදිසි ධන ලාබ නිතැතින් ලැබේ. එමෙන්ම පවතින අපල මාරක අපල මෙන්ම හදිසි අනතුරුවලින් ද මිදීමට වරම් හිමි වේ. රැකීරක්‍ෂා දියුණුව මෙන්ම රැකියාවේ උසස්වීම් පඩි වැඩිවීම් ආදිය හිමිවේ. රැකියාවේ බාධක තිබූ අයට ද එම බාධක දුරුවී සහන උදාවනු ඇත.
කන්‍යා ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා පෞරුෂය වර්ධනය වී මානසික සුවයද උදාවනු ඇත. එතෙක් තිබූ සතුරු කරදර, රෝග පීඩා ආදිය සුව වී නිරෝගී මෙන්ම නිවහල් ජීවිතයක් හිමිවනු ඇත. පෙර පිං පලදී වාසනාවන්ත කාලයක් හිමිකර දෙනු ඇත.
තුලා ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීම අනෙක් ලග්න හිමියන්ට වඩා සැලකිලිමත්ව කළ යුතුය. මොවුන් ගෝමේද පැළඳීමේ මෙතෙක් ඇතිවී තිබූ සතුරු කරදර ලෙඩ දුක් ආදිය පහව ගොස් නිරෝගී, සාමකාමී ජීන්‍ිතයක් ලැබෙනු ඇත. තවද තදබල අපල මෙන්ම මාරක අනතුරු ද දුරුවී ජීවිතයේ ආරක්‍ෂාව හිමිවනු ඇත. විවාහ ජීවිතයේ සතුට, සමගිය ගොඩනැගෙන අතර තෘප්තිමත් විවාහ ජීන්‍ිතයක් හිමිවනු ඇත. විදේශ රැකියා දුර ගමන් වලින් ආදායම් උපයන ජන්මීන්ට ද බොහෝ වාසි අත්පත් වනු ඇත.
වෘශ්චික ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් වාහන ලාබ, ඉඩකඩම් ලාබ නිතැතින් හිමිවන අතර ගේ දොර දියුණුව මෙන්ම විවාහ ජීවිතයේද ප්‍රබෝදයක් ඇතිවනු ඇත. විවාහ ප්‍රමාද වූවන්ට මංගල යෝජනා උදාවන අතර විවාහයේ සතුට, සමගිය නිති ඇතිවනු ඇත. එමෙන්ම ආදායම් මාර්ගවල වර්ධනයක් නිතතින් හිමිවේ. ව්‍යාපාර දියුණු වී අතමිට සරුවනු ඇත.
ධනු ලග්න හිමියන් ගෝමේද මැණික් පැළඳීමෙන් තමන් තුළ සැගවී ඇති සහජ දක්‍ෂතා, සහජ කුසලතා වැඩි දියුණු වන අතර එමගින් ශීඝ්‍ර දියුණුවක් ද ලබාගත හැක. සහෝදර සහෝදරියන්ගේ නොමසුරු සහයෝගය ද ලැබී සෑම දෙයකින්ම පාහේ ජය ලබාගැනීමට හැකි වේ. එහෙත් පැවති සතුරු කරදර මෙන්ම රෝග පීඩා ද නැති වී යනු ඇත. රැකිරක්‍ෂා දියුණුව, ව්‍යාපාර දියුණුව රැකියා උසස්වීම්, රැකියාවේ පඩි වැඩිවීම් ආදිය සිදුවේ.
මකර ලග්න හිමියන් ගෝමේද මැණික් පැළඳීමෙන් පෙර පිං සොයා විත් පලදෙන කාලයක් උදාවේ. ආර්ථිකය දියුණු වී අතමිට සරුවී වාසනාවන්ත වේ. ධන යෝග මතු කරයි. ඉගෙනීමේ කටයුතුවලට සුබදායක වන අතර ප්‍රේම සම්බන්ධතාද ස්ථාවර තත්ත්වයට පත්වේ. දරුඵල ප්‍රමාද අයට ද ඉක්මන් පිළිතුරු ලැබෙනු ඇත.
කුම්භ ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් පෞරුෂ්‍ය වර්ධනය වන අතර ආත්ම ශක්තිය, ආත්ම අභිමානය වැඩි කරනු ඇත. ගේ දොර දියුණුව, වාහන ලාබ, ඉඩම් ලාබ ආදිය හිමි වී ජීවන මට්ටම උසස් වේ. හදිසි අනතුරු, මාරක ආදියෙන් ද බේරීමේ හැකියාව නොඅඩුව ලැබේ.
මීන ලග්න හිමියන් ගෝමේද මැණික පැළඳීමෙන් සහජ දක්‍ෂතා ඔප්නැංවෙන අතර එමගින් දියුණුව ද උදාවේ. සහෝදර සහෝදරියන්ගේ නොමද සහය ද මොවුනට හිමිවේ. විවාහයේ මෙතෙක් තිබූ ගැටලු මගහැරී වාසනාවන්ත විවාහයකට හිමිකම් කීමේ භාග්‍ය උදාවනු ඇත. විවාහයේ සතුට, සමගිය, සහයෝගය වර්ධනය වේ. දුර ගමන්වල යෙදෙන්නන්ට මෙන්ම විදෙස්ගත වී සිටින්නන්ට ද බොහෝ සුබ ඵල, වාසි උදාවනු ඇත.
ඉහත සඳහන් ආකාරයට නිවැරැදිව ගෝමේද මැණික පළඳා කරදර වලින් තොර සතුට රජයන ජීවිතයක් උරුමකර ගන්න.
ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර