ගයනි ගුරුතුමියත් මෝහනයෙන් සුවය ලබයි

ගයනි ඉගෙන ගන්න දක්‍ෂ දරුවෙක්. එයා ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් වන බව අපි කලින්ම දැන සිටියා. ඔය ළමයිනුත් එයා ආදර්ශයට අරගෙන ගයනි දුව වගේ ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත්වෙන්න කියා ගයනි විභාගය සමත් වූදා ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරිය උදෑසන රැස්වීමේදී ඇය ලැබූ අගයකිරීම මෙන් තවත් දෙවතාවකදී ඇයට එවන් උසස් අගය කිරීම් ලැබුණි. ඉන් එක් වරක් ඇයගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූ දිනයයි.

ඒතාක් කාලයක් පුරා ගයනිගේ ජීවිත කාලය ගෙතුණු සොඳුරු ගම්පියස අතහැර නගරයට සේන්දු වන්නේ මේ අධ්‍යාපනික ප්‍රතිඵල දෝතිස් දරා ගනිමින් තම ජීවිතයේ ඒතාක් දුටු ලොකුම සිහිනය සැබෑකර ගැනීමේ අදහසිනි. ඒ සරසවි වරම් ලැබ කවදා හෝ උපාධිධාරිනියක වීමයි. ඇයගේ මෙම සියලු සිහින කෙළවර පැවතියේ කෙදිනක හෝ අතිශ්‍ය කාරුණික ගුරුවරියක වී තම ගම්පියසේ තමා ඉගෙනගත් පාසලේම ඉගෙන ගන්නා දරුවන්ගේ නුවණැස පෑදීමේ අධිෂ්ඨානයයි. ඉගෙනගත් පාසලේම ඉගෙන ගන්නා දරුවන්ගේ නුවණැස පෑදීමේ අධිෂ්ඨානයයි.
සරසවියට ගිය ගයනි ඒ අධිෂ්ඨානයෙන් යුතුවම තම ඉගෙනීමේ කටයුතුවලට යොමුවිය. එහෙත් සරසවි ප්‍රේමයෙන් වසන්ව දිවිගෙවීමට නම් ඇයට හැකි නොවිණි. ගයනි හා සංකගේ පෙම් රජදහනත් ඒ සරසවි බිමේම ඉදිවිය. සරසවියේ සිව්වසර නිමවා උපාධිධාරීන් හැටියට සරසවියෙන් නික්මුණි. නොබෝ දිනකින්ම ගයනිට ගුරු පත්වීමක් ලැබුණු අතර සංකගේ කළමනාකරණ උපාධියට සරිලනසේ ඔහුට බැංකු ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරක් ලැබිණි.
ඉගෙනීමත් රැකියාවත් සම්පූර්ණ වූ පසුව ගයනි තම පෙම් සිත් විමානේ කිරුළු පලන් රජ කුමරු වූ සංක පිළිබඳව මවුපියන්ට පැවසීය. එහෙත් සාම්ප්‍රධායික ඉහළ කුල පරපුරකින් පැවත ආ ගයනිගේ මවුපියන් සංකගේ කුල පරපුරෙහි සහ තම කුල පරම්පරාවේ ඇති උස් මිටිකම් සලකා ඒ ආදර පලහිලව්වට තදින්ම විරුද්ධ විය. ගයනි ගමේ වැදගත් නම්බුකාර මෙන්ම ධනවත් පවුලක දියණියක වුවද සංක අගනුවර කුලී නිවසක ජීවත් වන දුප්පත් තරුණයකු වීමේ දුප්පත් පොහොසත් බේදය ද ඔවුන්ගේ ආදරයට හරස් විය.
එහෙත් මවුපියන්ගේ විරෝධයන් තැකීමට ගයනි කැමති නොවීය. ඇය දැඩි ලෙසම සංක හා සරණ යා යුතුම බව පැවසූ හෙයින් මවුපියන් ඒ සඳහා කටයුතු සලසා දීමට එකඟතාව පළ කර සිටියහ.
විවාහයෙන් පසු අගනුවරට මාරුවක් ගත් ගයනි සංකගේ කුලී නිවහනම තම නවාතැන්පල බවට පත්කර ගත්තාය. ගමේදී මෙන්ම නගරයේ පාසලේදීත් ඇය දරුවන්ගේ සිත් දිනාගත් ආදරණීය ගුරුතුමියක් බවට පත්විය. එහෙත් ටික කලෙකින් ඇය දරුණු හිසරදයකින් පීඩාවට පත්විය. දරුවන්ටත් නිකරුනේ සැරවැර වෙමින් දඬුවම් පැමිණවීම හේතුවෙන් ඇය පාසලේ දරුවන් අතරින් ක්‍රම ක්‍රමයෙන් ප්‍රතික්‍ෂේප වන්නට විය. කාරුණික ගුරුවරිය ආකාරුණික විය.
තම පාසලේ දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විදුහල්පති තුමියට පැමිණිලි ගලා එන්නට විය. සෑම සුළු සිදුවීමකදීම ඇය දරුවන්ට දඬුවම් පමුණුවනු ලැබුවේ වේවැල් පහරවල් කීපයක්ම එල්ල කරවමිනි. ඇය පංති භාර ගුරු තනතුරෙන් ඉවත් කරන ලෙස මවුපියන් වරින් වර විදුහල්පතිතුමියගෙන් ඉල්ලා සිටියහ.
මේ පිළිබඳ අවධානය යොමු කළ විදුහල්පතිතුමිය මේතාක් කලක් කීර්ති නාමයක් දිනා සිටි ගයනි ගුරුතුමිය යම් මානසික පීඩනයකින් පසුවන බව අවබෝධ කරගෙන ඇය මනෝ උපදේශනය වෙත යෙමු කරවීය. මූලික මනෝ විශ්ලේෂණයෙන් අනතුරුව වෛද්‍යවරයා ඇයව මෝහනයට පත් කළේය.
මම විවාහ වුණේ මවුපියන්ගේ අකමැත්තෙන්. ඒ නිසා එයාලා මට කිසිම දෑවැද්දක් දුන්නෙ නැහැ. සංක හරිම දුප්පත්. එයාලා ජීවත් වුණේ කුලී නිවසක. එයා හොඳට ඉගෙන ගෙන තියෙන්නෙ. නමුත් එයාලගේ පවුල් පරිසරය ඉතා පහළ මට්ටමකයි තියෙන්නෙ. එයාලා කොළඹ මුඩුක්කු ගෙවල්වල හැදුනු අය. අපේ අම්මලා ගෙවල් දොරවල් බලන්න එන්න කලින් එයාලා හොඳ කුලී ගෙදරකට මාරුවෙලා. එහෙමකරලා තියෙන්නෙ මාව බැඳලා මට ලැබෙන දෑවැද්දෙන් එයාගේ පවුල සුරක්‍ෂිත කර ගන්න.
එයාට නංගිලා දෙන්නයි මල්ලිලා තුන්දෙනෙකුයි ඉන්නවා. තාත්තා පිටකොටුවේ නාට්ටාමි කෙනෙක්. අම්මා හොරට අරක්කු විකුණනවා. එයා මේ හැම දේම මගෙන් වසන් කළා. මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නෙ. ඒත් මේ කිසිවක් මම මගේ දෙමාපියන්ට තවම කිව්වේ නැහැ. එයාලා අපිව රවට්ටන්න ගත්තු කුලී ගෙදරමයි තවමත් අපි ඉන්නෙ. ඒ ගෙදරට කුලිය ගෙවන්නෙත් මමයි. නැති නම් මුඩුක්කු ගෙදරට යන්න වෙනවා.
මේ හැම දේම මතක් වෙද්දි මට මගේ ජීවිතේ විනාශ වුණා නේද කියලා හිතෙනවා. එවිට තදින් හිසේ කැක්කුමක් ඇතිවෙනවා. ජීවිතේ නැතිකර ගන්න තරම් දැඩි කේන්තියක් ඇතිවෙනවා. එම කේන්තිය පාසලේ දරුවන් පිටින් යන්නෙ. එයාලා සුළු වරදක් කළත් මම හරියට දඬුවම් දෙනවා. මගේ හිතේ තියෙන කේන්තිය පාලනය කර ගන්න අපහසුයි. ගයනි කියූ සියල්ල අසා සිටි මනෝ වෛද්‍යවරයා අතීතය ගැන සිතා පසුතැවීමෙන් අනාගතය අඳුරු වන බවත් දිරිමත්ව කටයුතු කිරීමෙන් සියලු අභියෝග ජයගත හැකි බව ඇයගේ යටි සිතට අවබෝධ කරවනු ලැබූ අතර මෝහන නිදාවෙන් අවදි වූයේ පෙර සිටි කරුණා බර ගුරුතුමිය බවට පත් වෙමිනි. උත්සාහ වන්තව කටයුතු කළ ගයනි ගුරුතුමිය මේ වන විට තමාගෙම නිවසක හිමිකාරියක් වෙමින් සංක සමග ප්‍රීතිමත් යුග දිවික් ගත කරති.
බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති මනෝ වෛද්‍ය ගුණසේකර මුදලිගේ
0773855910