LPL තරඟාවලියේ ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

 ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කණ්ඩායම අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) අවසන් තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක පහසු ජයක් ලැබීය.

ඒ අනුව, පළමු LPL තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20  දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස් කළේය.  නායක තිසර පෙරේරා පන්දු  14කට මුහුණ දී ලකුණු 39ක් රැස් කළේය.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 135කි.

භාණුක රාජපක්‍ෂ පන්දු 17කදී ලකුණු 40ක් ලබාගැනීමට සමත් විය.