‘දේශීය වෙදකමේ අතීත සංවර්ධනය සහ එහි අනාගත පිරිහීම’

සිංහල ජාතියේ ආරම්භයටත් පෙර සිට අපේ රටට ම ආවේනික වූ දියුණු වෛද්‍ය ක්‍රමයක් පැවතුණ බව ඓතිහාසික මූලාශ්‍ර හා තොරතුරුවලින් පිළිබිඹු වේ. එනම් රාවණ යුගය පිළිබඳ ප්‍රාග් ඓතිහාසික තොරතුරු නොමැති වුවද අවුරුදු 4000 කට පෙර පමණ ජීවත් වූ රාවණ රජතුමා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයකු මෙන්ම මහා බලවන්තයෙක් වූ බවත් එකල යන්ත්‍රානුසාරයෙන් පවා ඖෂධ නිෂ්පාදනය කළ බව ද කියැවේ. වංශ කතා, අට්ඨ කතා සහ සෙල්ලිපි ආදී ඓතිහාසික තොරතුරුවලට අනුව දේශීය වෛද්‍ය ක්‍රමයේ දියුණුව පිළිබඳ උදාහරණ සමඟ ද මැනවින් ඔප්පු කර ඇත.

ලෝක ඉතිහාසයේ රෝගීන් සඳහා මුල් වරට රෝහල් ගැන සඳහන් වන රටවල් අතර අපේ රට ප්‍රමුඛස්ථානය ගන්නා අතර ක්‍රි. පූ. 04 වන ශත වර්ෂයේ අනුරාධපුර යුගයේ කාන්තාවන් සඳහා ප්‍රසුතිකාගාර සහ ආරෝග්‍ය ශාලා පිහිටුවා ඇති බව මහ වංශයේ සඳහන් වේ. තවද ඉතා උසස් සෞඛ්‍යාරක්‍ෂක කටයුතු සංවිධානය වූ බවට ඒවායේ නටබුන් වශයෙන් දක්නට ලැබෙන බෙහෙත් ඔරු සහ කැණීම්වලින් සොයාගත් ශල්‍ය උපකරණ ආදියෙන් සනාථ වේ. අනුරාධපුර යුගය ආයුර්වේදයේ ස්වර්ණමය යුගය ලෙසත් බුද්ධදාස රජ දවස ඔහු දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයකු වීම එක් නිදසුනකි. එමෙන්ම එකල මනුෂ්‍යයාට පමණක් නොව සතුන් සහ වෘක්‍ෂලතාදිය සඳහා ද ප්‍රතිකාර ක්‍රම පැවතුණි.

ක්‍රි.ව. 4 සහ 5 ශත වර්ෂයේ සිට අපේ රට පාලනය කළ රජවරු දේශීය වෛද්‍ය ක්‍රමය වඩ වඩාත් දියුණු කිරීම සඳහා මහත් කැපකිරීමක් දරා ඇති බවත් වසංගත රෝග උවදුරු ආදී රෝග සඳහා වෙනම රෝහල් ඉදිකළ බවත් දඹදිවින් උගතුන් ගෙන්වා වෛද්‍ය ක්‍රම හා එහි කටයුතු වැඩිදියුණු කරවීම ද, රාජ සභාවේ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් නියෝජන වීම සහ රෝගියකුට එක් සාත්තු සේවකයකු වශයෙන් පත්කර තිබීමෙන් පෙනී යන්නේ දේශීය වෙදකම ඉතා ඉහළ ස්ථානයක තිබූ බවයි.

14 වන ශතවර්ෂයේ ආරම්භක අවධියේ වෙළෙඳාම පිණිස මෙරටට පැමිණි අරාබි ජාතික ජනතාව සමඟ පැමිණි ‘යුනානි’ වෙදකම ආයුර්වේදය හා එක්වීම වැදගත් සංධිස්ථානයකි. 15 වැනි ශත වර්ෂයේ එනම් කෝට්ටේ යුගයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉතා දියුණු අවධියකි. ආයුර්වේද ශාස්ත්‍රයේ විශේෂ පෝෂණයක් හා ග්‍රන්ථ රාශියක් බිහිවීමයි. ශත වර්ෂ ගණනාවක් දියුණු වෙමින් පැවති දේශීය වෙදකම පරිහානියට පත් වූයේ එනම් වර්ෂ 15 වැනි ශත වර්ෂයේ පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් සමඟ අපිට උරුම වූ දේශීය වෙදකම වෙනුවට ඇලොපති වෙදකම ප්‍රචලිත කරවීම නිසාත් මහනුවර අවධිය වන විට ධර්ම ශාස්ත්‍ර උගතුන් අඩුවීම නිසාත් මුළු ආයුර්වේද ශාස්ත්‍රයම පසුබෑමකට ලක් විය.

පාරම්පරිකව රැකගත් එක් එක් රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම පවත්වාගත් වෛද්‍යවරුන් එය ඉදිරියට ආරක්‍ෂාව පිණිස දේශීය වෙද අත් පොත් හා ග්‍රන්ථ නිකුත් කළේ ද ඒ නිසාවෙනි. එසේ ආරක්‍ෂා වූ වෙද පාරම්පරා ප්‍රතිකාර කළ රෝග කිහිපයක් නම් සර්ප විෂ වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම, ඇස් වෙදකම, පීනස් වෙදකම, වාත රෝග වෙදකම, විදුම් පිළිස්සුම් වෙදකම, මාන්දම් වෙදකම, නිල ඇල්ලීමේ ප්‍රතිකාර ආදී වශයෙන් වර්ග වුවත් මේ වන විට අංග අටකින් යුත් ආයුර්වේදයේ සර්වාංග වෙදකම හැර අන් සියලුම අංශ අභාවයට පත් වී අවසන්ය.

කෝට්ටේ යුගයෙන් පසු ජාතිය පරාධීන වීමත් සමඟ ජාතික උරුමයක් වූ සියලුම දේ විනාශ මුඛයට ඇදවැටෙමින් පවතී. එදා සිට අද දක්වා රජයේ අනුග්‍රහය ලැබුණේත් සෞඛ්‍ය සේවාවන් සම්පාදනය වූයේත්, විදේශිකයන් හා මෙරටට සංක්‍රමණය වූ පිරිස් විසින් මෙරටට හඳුන්වා දුන් වෛද්‍ය ක්‍රමයන් සඳහා පමණක් වීම ඉතා කනගාටුවෙන් වුවද කිව යුතුය. එය දේශීය වෙදකමේ පසුබෑමට ප්‍රධාන හේතුවක් විය. එය එසේ ක්‍රියාත්මක වීමේදී පරිහානියට පත් වී ඇති දේශීය වෛද්‍ය ශිල්පය කරුණු රාශියක් නිසා අද වන විට තව තවත් අගාධයට පිරිහෙමින් පවතී. හේතු සාධක කිහිපයක් සැකවින් දක්වමි. එනම් ආයුර්වේද ‘කලු කඩ’ ලෙස පවත්වාගෙන යන නැතහොත් පාරම්පරික දේශීය වෛද්‍ය මුවාවෙන් කූඨ ලෙස වෛද්‍ය වෘත්තිය කරගෙන යන පුද්ගලයන් නිසා අද සමාජයේ බොහෝ දෙනකු අතර දේශීය වෙදකමට ඇති ගරුත්වය බෙහෙවින් අඩුවෙමින් පවතී. අද වන විට සෑම ප්‍රදේශයකටම වංචනික ලෙස වෛද්‍ය වෘත්තිය කරගෙන යන පුද්ගලයන් විසින් සිදු කරනු ලබන නොහොබිනා අකටයුතු සිද්ධීන් නිසාය. රෝගය පිළිබඳ දැනුමක් නොතිබීමත් රෝගියාට සිදුකළ යුතු ප්‍රතිකාර මොනවාද යන්න නොදැනීමත් නිසා අද වන විට අපේ දේශීය වෙදකම හෑල්ලුවට පත්වෙමින් පවතී. තව සමහර පුද්ගලයන් විසින් ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා ද මෙම වෙදකම යොදාගනී. එනම් රෝගීන් අපහසුතාවට පත් වෙන ආකාරයට ප්‍රතිකාර ක්‍රම යොදා ගැනීමත්, නොහොබිනා හැසිරීම් හා ප්‍රතිකාර ක්‍රම යැයි පවසා රෝගීන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ කිරීමත්ය. විශේෂයෙන් මෙයට භාජනය වන්නේ කාන්තාවන් වීම ඉතාමත් ඛේදනීය තත්ත්වයකි.

තවත් සමහරු කිසිදු වෘත්තියම පලපුරුද්දක් හෝ පාරම්පරිකවත් නොවන හා කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව මුදලට ලබාගත් නිර්නාම හා කීර්තිනාම යොදාගෙන විවිධ කුඩා මධ්‍යයන් හා මාධය ප්‍රචාර යොදාගෙන සමාජය අතර බොරු ප්‍රචාර සිදුකරමින් ඔවුන්ගේ අභිමතාර්ථයන් පෙරමුණ කරගැනීමට දරණ උත්සාහයන් නිසා අපේ දේශීය වෙදකම තව තවත් පරිහානියට පත් නොවේද? විශේෂයෙන් පෙන්වා දියයුතු තවත් කරුණක් නම් පාරම්පරිකව දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රාදේශීය වශයෙන් ස්ථාපිත කර ඇති ‘ආයුර්වේද සංරක්‍ෂණ සභා’ ද ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ පවත්වාගෙන කටයුතු නොකරන හෙයින් එහි සභාපතිවරු විසින් සිදුකරනු ලබන අකටයුතුකම් හා දුර්වලකම් නිසා ප්‍රාදේශීය වශයෙන් දියුණු කිරීමට ඇති ක්‍රමයක් අවහිර වී ඇත. තව දුරටත් සොයා බැලීමේදී පසුගිය කාලය පුරාම යම් යම් අයගේ උදව් උපකාර ඇතිව තැරැව්කරුවන් විසින් පවත්වාගෙන යන ‘ආයුර්වේඳ යන නම ඉදිරියට යොදා ගනිමින් කරන සම්බාහන මධ්‍යස්ථාන වලින් සිදු වන විවිධ අපචාර හා විශාල වශයෙන් සිදු කරනු ලබන ගණිකා වෘත්තිය නිසා සිදුවන්නේ දේශීය වෙදකමේ අවසානය නොවේද? එනම් දේශීය වෛද්‍ය වෘත්තිය මුදලට විකිණෙන සමාජයක් බවට පත් වෙමින් පවතින්නේ අපේම වෛද්‍ය වෘත්තිකයන් නිසා බව අසතුටෙන් හෝ කිව යුතුය. එනම් අපේම දේශීය වෛද්‍ය වෘත්තිකයන් මුදලට යටවෙමින් විවිධ අපචාරවලට උදව් උපකාර සිදුකරමින් හා වෛද්‍ය වෘත්තිකයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දේශීය වෙදකම සමාජයට පිළිකුලක් ඇතිකරමින් පවතී. මෙවැනි තත්ත්වයකදී සමාජයේ ඇතැම් පිරිස් දේශීය වෛද්‍යවරයකු වෙත පැමිණීමේ සම්භාවිතාව අඩු වෙමින් පවතී. එනම් මෙම වෙදකම නැවත නඟාසිටුවීමට නම් කළ යුත්තේ කුමක් ද යන්න විමසා බලමු. එනම් පළමු පියවර ලෙස සිදු කළ යුත්තේ කුමක්ද යන්න සොයා බැලීමේදී ඈත අතීතයේ සිට පැවත එන දේශීය වෙදකම නව පරම්පරාව විසින් ප්‍රතික්‍ෂේප කරමින් පවතින අවධියක එහි අගය හා වටිනාකම ලබාදිය හැක්කේ අධ්‍යයනය තුළ දීමය.

එනම් ළමා මනස තුළ දේශීය හා දේශීයත්වය පිළිබඳ දැනුමක් කුඩා කල සිටම ඇතිකරලීම සඳහා නව අධ්‍යාපනයේ විෂය නිර්දේශයට දේශීය වෙදකමේ ඇති වැදගත්කම සම්බන්ධව පරිච්ඡේදයක් හෝ එකතු කිරීමක් සිදුකිරීමත් ඒ හා සම්බන්ධ වැඩසටහන් පාසල තුළින්ම ආරම්භ කිරීමත්, දේශීය වෙදකම ඉගෙනීමට කැමැත්තක් ඇති අයවලුන් සඳහා මේ පිළිබඳ අධ්‍යාපනයක් ලබා වෛද්‍යවරයකු වීමේ ඉඩ ප්‍රස්ථාව ලබාදීමට නම් දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් බිහිකිරීමත් ඉතා අගනේය. තවද දේශීය වෙදකමේ ඇති අගය හා එහි ඇති වැදගත්කමක් සමාජය අතර ගිලිහී ගිය විශ්වාසය නැවත සමාජගත කිරීම නම් වෛද්‍ය සායන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ගම් මට්ටමින් පවත්වා ගෙන යෑමත් රජයේ සෑම රෝහලකම හෝ දිස්ත්‍රික් මට්ටමින් ආයුර්වේද රෝහල් ඇතිකිරීම ඒ තුළින් බටහිර වෛද්‍ය ක්‍රමයේ සමහර වෛද්‍ය ප්‍රතිකාර මගින් මහජනතාවට සිදුවන අපහසුතාවයන් හා මුහුණපාන ගැටලුවලට විසඳුමක් වනු ඇත. එසේම දේශීය වෛද්‍යවරුන් ආරක්‍ෂා කිරීමටත් ඉතිරි වී ඇති පරම්පරා ආරක්‍ෂා කිරීමටත් රජය මැදිහත් වී ඔවුන්ට එය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම තුළින් දේශීය වෙදකම ආරක්‍ෂා කරගත හැකිය. එනම් පාරම්පරික වෛද්‍යවරුන් සඳහා රෝහල්වල වෛද්‍යපත්වීම් ලබාදීමට කටයුතු සිදු කිරීමත්ය.
අවසාන වශයෙන් දේශීය වෙදකම ආරක්‍ෂා කර ගැනීමට නම් කූඨ ලෙස වෛද්‍ය වෘත්තිය කරගෙන යන ව්‍යාජ පුද්ගලයන් නීතියට හසුකර ගැනීම හා ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමත්, ආයුර්වේද සංරක්‍ෂණ සභා ආයුර්වේද අමාත්‍යංශයේ නීති රීතිවලට අනුගත කරමින් විධිමත් ලෙස එය පවත්වාගෙන යෑමත්, ආයුර්වේද නමින් සිදු කරන සියලු නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන ආයුර්වේදයට අනුකූලව සිදුකරනවා දැයි සොයා බැලීමට කමිටුවක් පත්කර හෝ ඊට අදාළ නීති අණපනත් තද කිරීම හෝ ස්ථාපිත කිරීමත්, ආදී කටයුතු සිදු කිරීම තුළින් සමාජය අතර නැවතත් දේශීය වෙදකමට නව ජීවයක් උදාවේ යැයි ප්‍රාර්ථනා කරමින් නව යුගයක වෙනසක් සිදු කරමින් එය බලයට ලබා දෙමින් කටයුතු සිදු කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත්, සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත්, ආයුර්වේද ප්‍රවර්ධන අමාත්‍ය සිසිර ජයකොඩි මහතාටත් මෙහි අවධානය යොමු වේ යැයි ප්‍රාර්ථනා කරමින් මේ කටයුතු සිදු කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

වෛද්‍ය ආර්. ඒ. එස්. රෝෂාන්
(දේශීය වෛද්‍ය, සාමවිනිසුරු
නො. 45
ගුණෝද්‍ය වෙද අසපුව
කොටුගොඩ

0712 070500/076 7970500