බාල රෝග සහ ප්‍රතිකාර විධි

ගැබිණියකගෙන් දරුවකු බිහිවන්නේ ගැබ හටගෙන මාස 9 දී හෝ දහයේදීය. ඒ සාමාන්‍ය සිද්ධියයි. බෝධිසත්ව දරුවකු දස මස ඇවෑමෙන් බිහිවෙයි. එසේම ගැබට හත් මාසයේදී ද දරුවකු බිහිවීමට ඉඩ ඇත. ඊට විශේෂ හේතු ඇත. ඒ දරුවා බොහෝ විට දුර්වලයකු විය හැක. සමහර විට එම දරුවා ජීවත් කිරීමට අපහසු වීමට ඉඩ ඇත. 8 වැනි මාසයෙන් ද දරුවකු බිහිවන අවස්ථා ඇත. එවැනි දරුවකු ජීවත් වීම සැක සහිතය. ජීවත් වූයේ නම් ඔහු නිරෝගී නොවීමට බොහෝ ඉඩකඩ ඇත. එසේම එලෙස දරුවකු උපන්නොත් දරුවා හෝ මව මිය යෑමට ඉඩ ඇත. ඊට හේතුව වන්නේ ගැබට 8 වැනි මාසයේදී ශක්තිය වරින් වර මවගෙන් දරුවාටත්, දරුවාගෙන් මවටත් මාරු වන නිසාය. ශක්තිය දරුවා කෙරෙහි වූයේ නම් මව මිය යෑමටත්, මව කෙරෙහි වූයේ නම් දරුවා මිය යෑමටත් ඉඩ ඇත. දෙදෙනාම ජීවත් වන්නේ නම් එක්කෙනෙක් රෝගී වෙයි.
කෙසේ හෝ දරුවකු ගර්භයෙන් බිහිවූ දා සිට අවුරුදු දොළහ දක්වා බාල කාලය යනුවෙන් හැඳින්වෙයි. එම කාලය තවත් අනු කාලවලට බෙදෙයි. එනම් ළදරු කාලය, බාල කාලය හා ළමා කාලය වශයෙනි. ඒ සියලුම කාලවලදී ඇතිවන රෝග බාල රෝග යනුවෙන් හැඳින්වෙයි. එම රෝග ඇතිවීමට බොහෝ විට හේතු වන්නේ මවගේ හෝ උප මවගේ හෙවත් කිරි මවගේ කිරිවල දෝෂ හෝ කිරි දීමේ ක්‍රමවල දෝෂයි. දරුවා ගැබේ සිටින විට එක් එක් මාසයේදී මවගේ ආහාරපාන විහරණ ආදියේ ඇති වැරදි නිසා දරුවාට වැළඳෙන රෝග ගැන මීට පෙර සඳහන් කර ඇත. එසේම දරුවාට නිතර නිර කිරි දීමත්, කිරි දෙන කාලයේ මව ගන්නා වැරදි ආහාර නිසාත් මවගේ හෝ කිරි මවගේ කිරි දූෂ්‍ය වෙයි. කිරි දීමට පෙර මව ජලස්නානය කළේ නම් හිස කෙස් හොඳින් වේලෙන තුරුත්, ශරීරය වේලෙන තුරුත් කිරි දීම නුසුදුසුය. දරුවාට කිරි පොවන්නට පෙර මව තම තන පුඩු උණු දියෙන් තෙමා පිස දැමීමත්, දරුවාට කිරි පෙවීමට පෙර තන පුඩුවේ ඇති කිරි බිංදු කිහිපයක් මිරිකා ඉවත දැමීමත් කළ යුතුය. මිරිකා කිරි ඉවත් කළ යුත්තේ රෙදිකඩකට මිස අහකට නොවේ. කිරිවලට ගරු කළ යුතුයි. එය වටිනා වස්තුවකි. කිරි දීමට පෙර තනය පහතට අතගා කිරි ගලා ඒමට සැලැස්විය යුතුය. එසේම කිරි පොවන විට වරින් වර දෙපැත්තට මාරු කරමින් පියයුරු දෙකෙන්ම කිරි දිය යුතුය. එසේම එම අවස්ථාවේ දරුවා කෙරෙහි ඉතා ආදරය ඇතිකර ගත යුතුයි. තමාට වැඩපොල තිබුණ පලියට කේන්තියෙන් පොවන කිරි විෂ වෙයි. එයින් දරුවාට බරපතළ රෝග වැළඳෙයි. කිරි පොවන විට තම දරුවාගේ නාසය, ඇහි බැම, කණ ආදිය අතගෑමෙන් ඒවායේ ඇති අඩුපාඩු සකස් කළ යුතුයි. මෙයින් මව් සෙනෙහස ඇතිවෙයි. කිරි එරෙහිය. ශුද්ධ වෙයි. දරුවා නිරෝගි වෙයි.
එසේම සමහර විට දරුවා බිහිවී කිරි වැරීමට පෙර නැවතත් මව ගැබ් ගන්නා අවස්ථා ද ඇත. එසේ ගැබ්ගෙන සිටියි නම් එම කාලය තුළ දරුවාට කිරි නොදිය යුතුයි. වෙන මවකගෙන් කිරි දෙන්නේ නම් එම මවගේ දරුවා ද මෙම දරුවාගේ වයසේම විය යුතුයි. දරුවාට වඩා බාල නම් කිරිවල ශක්තිය මදිය. දරුවාට වඩා වයස නම් එම කිරි සාරවත් නැත. මවට කිරි නැත්නම් හෝ දිය නොහැකි නම් ඒ වෙනුවට දිය යුතු හොඳම කිරි වන්නේ එළු කිරිය. කෙසේ හෝ දරුවාට කිරි පොවන විට දරුවාගේ බඩට වාතය පිරෙන නිසා කිරි දීමෙන් පසු දරුවා කෙලින් අතට ගෙන තම පපුවට හේත්තු කරගෙන මොහොතක් දරුවාගේ පිට පහතට අත ගෑමෙන් දරුවාගේ කුසට ඇතුල් වූ වාතය (හුලං) උගුරෙන් පිටට එයි. සමහර විට ඒ සමඟ කිරි ස්වල්පයක් ද ආපසු ඒමට ඉඩ ඇත. එය ගැටලුවක් නොවේ.
දරුවකුට වසරකට වඩා කිරි දීම සුදුසු නැත. එසේ කිරි දීමෙන් මව දුර්වල විය හැකි අතර එම කිරිවල කිසිදු පෝෂ්‍ය බවක් නොතිබිය හැක. එසේම මව තනයෙන් කිරි දීමේදී පිට උදවියට පෙනෙන පරිදි කිරි දීම නොකළ යුතුයි. ඇතැම් අයගේ ඇස්වහ කටවහ දෝෂ වැදීමට ඉඩ ඇත. එය සත්‍යයකි. දරුවකුට දත් මතුවන තුරු ඝණ ආහාර වර්ග බත්, බිස්කට් වැනි ආහාර වර්ග නොදිය යුතුය. ඒවා දිරවන්නේ නැත. දත් මතුවීමෙන් දෙන සංඥාව නම් දරුවාගේ ජීර්නේන්‍ද්‍රිය පද්ධතිය ආහාර දිරවීමට ශක්තිමත් බවයි.
දරුවාට මාස 6-7 වැනි වයසේදී මවට කිරි හිඟ නම් ඝණ නොවූ බත් කැඳ, කොත්තමල්ලි තැම්බූ වතුර සීනි ස්වල්පයක් දියකර දීම සුදුසුය. කිරි හිඟ අවස්ථාවලදී පිටිකිරි වර්ග ලැක්ටෝජන්, කව් ඇන්ඩ් ගේට් වැනි වර්ග දීම වරදක් නැත. දරුවා මෝරන විට කොළ කැඳ වර්ග, එළවළු සුප් වර්ග සතියකට තුන් වරක් පමණ දීම සුදුසුය. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ළමා කාලයේ දරුවන්ට මස්, මාළු වැනි දේ දීමට නියම කරතත් මම එය අනුමත නොකරමි. සතෙකු මරාගෙන කෑමට වඩා පලා වර්ග, එළවළු වර්ග, පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් නියම පෝෂණය ලැබෙයි. එයින් පිංවත් නියම මිනිසකු ඇතිවෙයි.
බාලයන්ට වැළඳෙන රෝග අතර රත්ගාය, පණුගාය, මාන්දම වැනි රෝග විශේෂයෙන් ඇතිවිය හැක. ඊට හේතු වන්නේ දරුවා කුසේ සිටීමේදී මවගේ වැරදි නිසාත්, දරුවා බිහිවීමෙන් පසු මවගෙන් හා දරුවා හදන වඩන අයගේ වැරදි නිසාය. ග්‍රහ දෝෂ සහ භූත දෝෂ ද දරුවාට ලෙඩ කරයි. එය සත්‍යයකි. ඒ සඳහා බලි, තොවිල්, යන්ත්‍ර, මන්ත්‍ර ආදිය ද පුරාණයේ සිට එන පැවතුම්ය. එහෙත් අද ඒවා ගැන හුරුවක් නැත්තේ ග්‍රහයන් හා දෙවියන් ගැන තබා තමාට තමා ගැනවත් විශ්වාස නැති අයවලුන් නිසාය. අඩු වශයෙන් ඉහත යන්ත්‍රයවත් තඹ කොළයක ඇඳ නිසි පරිදි ජපකර බිළිඳුන් හිස තබන කොට්ටය තුළට හෝ දමන්නේ නම් මහා ගුණ ලැබෙයි.

රා. මුක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
ජානක ඖෂධාලය
වේගොල්ල, මාස්පොත