මුළු විශ්වය තුළ අනසක පතුරණ සක්දෙවිදු

චාතුර්මහා රාජිතය, තාවාතිංසය, යාමය, තුසිතය, නිර්මාන රතිය හා පරිනිර්මිත වසවර්තිය යන දිව්‍ය ලෝක හයට සක්දෙවිදු අධිපතීත්වය දැරුවද සක්‍ර දේවේන්ද්‍රයන් වැඩවාසය කරන්නේ චාතුර්මහා රාජිතය හා තාවතිංසය යන දිව්‍ය ලෝක දෙක තුළ පමණි.
දෙවිවරු ඕකපාතිකව බිහිවේ. එසේ පහල වන දෙවිවරු කර ඇති පිං බලයෙන් ඔවුනට දිව්‍ය වස්ත්‍ර හා දිව්‍ය ආභරණ පහල වේ. අතීත සසර තුළ කර ඇති පිං මහිමයෙන් දිව්‍ය තේජසින් විරාජමානව වාසය කරයි.
අතීතය සසර තුළ කර ඇති පිං ප්‍රමාණය මත දෙවියන් හීන, මධ්‍ය, ප්‍රනීත ලෙස කොටස් තුනකට වර්ග වේ. ඒ අනුව සක්‍රයා ප්‍රනීත දෙවි ගනයට වැටේ. එසේ වන්නේ සක් දෙවිදු අතීත සසරෙහි අසාමාන්‍ය ලෙස බොහෝ දාන, ශීල, භාවනා යන ප්‍රත්‍ය ක්‍රියා කළ අයෙක් වීම නිසාය. ප්‍රනීත දෙවියෙක් වන ශක්‍රයාගේ ශරීරය වටා විශාල රශ්මි මාලාවක් හෙවත් අන් කිසිදු දෙවියකුට නොමැති විශාල ආලෝකයක් පවතී. එපමණක් නොව සක් දෙවිදුන්ගේ අතට දෙවියන් මෙන්ම බ්‍රහ්මයන්ද යටත් වේ.
සක් දෙවි යනු පදවියකි. කිසිදා වෙනස් නොවන තනතුරකි. නමුත් කාලෙන් කාලෙට මෙම පදවියේ සිටින දෙවියන් වෙනස් වෙයි. සක් දෙවි පදවියට පත් වන්නේ මතු සසර තුළ බුදු බව ලබන උත්තමයකු හෝ පසේ බුදු පදවිය ලබන උත්තමයකු පමණි. එවන් විශ්වය පාලනය කිරීමට දැනුම මෙන්ම පිං, සිල් ඇති අය මෙම පදවියට පත් වේ. නමුත් සෑම සක් දෙවියකුගේම බලය එක සමාන නොවේ. ඔවුන් තුළ ඇති පිං, සිල් ප්‍රමානය මත බලය අඩු වැඩි වේ.
විවිධ රටවල විවිධ ජාතීන් සක්‍රයා විවිධ නම් වලින් හඳුන්වයි. සක්‍රයා හඳුන්වන පර්‍යාය පද අතර ඉන්දු, සුරරද, සුරපති, සක්දෙව්, ඉදුරු, සුරනිදු, මහේන්ද්‍ර සත් ඉදු, විදුරවි, දික්පති, සුරගුරු, සක්‍ර, වජපාතී යන නම් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව අනු, තෝර්, අමුන්, සියුස්, ජුපිටර්, වජ්‍ර සත්ව, පුරන්දර, දසැස් සුරපති යන නම්ද සක් දෙවිදුන්ට පර්යාය පද ලෙස භාවිතා කරයි.
සක් දෙව් පදවිය ලැබීමට නම් බොහෝ සෙයින් පිං රැස් කළ යුතු වේ. ඒ අතර සිල්වත්ව දන් පිං කළ යුතුයි. අවංක විය යුතුයි. සත්‍යවාදී විය යුතුයි. කේලම් පරුෂ වචන භාවිතා නොකළ යුතුයි. දෙමාපියන්ට ආහාරයෙන් සැලකීම මෙන්ම මෘදු වචන කතා කිරීම හා වැඩිහිටියන්ට ගරු කිරීම අනිවාර්ය වේ.
සක්‍ර දේවේන්ද්‍රයන්ට සේවය කරනුයේ අල්පේශාක්‍ය දෙවිවරුන්ය. නමුත් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ බිරිඳ වන ඉංද්‍රානී දේවිය ප්‍රනීත දෙවි කුලයට අයත් වේ. සක් දෙවිදුගේ වාහනය හිස් 3 ක් හා දල 4 ක් ඇති එෛරාවන නම් ධවල හස්තිරාජයාය. නමුත් එම හස්තිරාජයා සත්වයෙක් නොව පිං අඩු අල්පේශාක්‍ය දිව්‍ය ආත්මයකි. එනම් අල්පේශාක්‍ය දෙවියෙකි. සක්දෙවිදුගේ රියැදුරු මාතලී දිව්‍ය පුත්‍රයා වන අතර වීනාව වයන්නා පංචසික වේ. මොවුන් ද අල්පේශාක්‍ය දෙවිවරුන්ය.
සක් දෙවිදුගේ සක්‍ර භවන මහමේරු පර්වතයේ අමරාවතී දිව්‍ය ප්‍රාසාදයේ හා වෛජයන්ත ප්‍රාසාදයේ වේ යැයි පුරාන පොත පතේ සඳහන්ය. සක් දෙවිදුන්ගේ ආයුධය ප්‍රභල වජ්‍රායුධයයි. වජ්‍රායුධ මුළු විශ්වයටම ඇත්තේ එකකි. මෙම ආයුධය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මගින් නිර්මානය කර ඇත. වජ්‍රය යනු මහා බල සම්පන්න ආයුධයකි. වජ්‍රය මගින් සක් දෙවිදු අකුණු, විදුලි, වැසි, කුණාටු ආදිය ඇතිකරයි. එනිසාම සක්දෙවිදු වැසි කුණාටු ඇති කරන දෙවියන් ලෙස නම් දරා ඇත. මීට අමතරව වජ්‍රය මගින් සක් දෙවිදු සමාජයේ වෙසෙන අදම නපුරු මිනිසුන්ට මෙන්ම අහිංසකයන්ට බොරු චෝදනා කරන, ගරහන අයට ද දඬුවම් කරයි. අකුණු සැර වැදී මිය යන්නේ මේ භවයේ හෝ පෙර භවයක එවන් පාප ක්‍රියා කළ අය වේ.
අධර්මිෂ්ඨ අයට ශක්‍රයා දඬුවම් කළ ද යහපත් ධාර්මික අයට පිහිටවීම සිදු කරයි. මනුෂ්‍යයන්ට ඇතිවන කරදර කම්කටොළු දුරුකර දමයි. එමෙන්ම චක්‍රවර්තී රජ කෙනෙක් නොමැති කාලයන් හි මනුෂ්‍ය ලෝකය පාලනය කරනුයේ ද සක් දෙවිදුන් විසිනි. මන්ද සක් දෙවිදුන් මනුෂ්‍යයන්ට පිහිට වීමේ සුවිශේෂ ගුණයෙන් යුතු දෙවියෙක් බැවිනි.
සක් දෙවිදුගේ ආසනය පාන්ඩුකම්බල ශෛලාසනයයි. මෙය ගල් ආසනයකි. මනු ලොව සිල්වත්, ගුණවත් අයකුට අකටයුත්තක් වන විට එය රත් වීම සිදුවේ. එවිට සක්දෙවිදු එම තැනැත්තාට පිහිටවීම සඳහා මනුලොව පැමිණෙනු ඇත. වජ්‍රය අත නොදරන සෑම අවස්ථාවකදීම සක් දෙවිදු වජ්‍රය තැන්පත් කරනුයේ ද පාන්ඩුකම්බල ශෛලාසනයේ දකුණු බාහුව මතය.
සක් දෙවිදුට ඇස් 1000 ක් ඇත. එම ඇස් තුළින් මනුලොව වගතුග නිතර සොයා බලයි. සක් දෙවිදු හතර පෝය එනම් පුර පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක පවතින දිනයන් හී මනු ලොව වැඩම කරන බව ධර්මයේ සඳහන්ය. ඒ යාචකයකුගේ වෙස් රැගෙනය. එනිසා මාසයේ හතර පෝය තුළදී තමා ළඟට විත් මුදල් යදින යාචකයන්ට හැකි පමණින් දන් දීම ඉතා උචිතය. මන්ද ඒ ඔබ ළඟට විත් සිඟමන් යදින්නේ යාචක වෙසින් සිටින සක් දෙවියන් විය හැකි බැවිනි.
සක් දෙවිදුන් විවිධ නාම වලින් විවිධ රටවල අදහනු ලබයි. පිං පෙත් අනුමෝදන් කරනු ලබයි. අපද සක් දෙවිදුන් ඇදහීම, විශ්වාස කිරීම කළ යුතුය. අප සිදුකරන යහපත් ක්‍රියාවලින් ජනිත වන පිං උන්වහන්සේට අනුමෝදම් කළ යුතුය. තවද සක් දෙවිදුන් බුදුන්ගෙන් බන අසා සෝවාන් ඵලයට පැමිණි උත්තමයෙක් බවද අප සිහියේ තබාගත යුතුයි. අද සමාජයේ සක් දෙවිදුන් සංකල්පයක් යැයි කියමින් උන්වහන්සේට අපහාස, අවමන්, උසුළු විසුළු කිරීම නිතර දැකගත හැක. නමුත් සක් දෙවිදු සංකල්පයක් නොවන බවත් උසුළු විසුළු කිරීම මහා පාපකර්මයක් බවත් ඉහත කරුණුවලින් සැවොම වටහා ගත යුතුය.
සක් දෙවිදුට ඇති මහා පිං මහිමය හේතුකොට ගෙන ශක්‍රයා කිසිදින මහලු භාවයට පත් නොවේ. ශක්‍රයාට විශාල භාර්යාවන් ප්‍රමාණයක් සිටිය ද ප්‍රධාන භාර්යාව වන ඉංද්‍රාතී දේවියද වයසට යෑම සිදු නොවේ. ශක්‍රයා තමන්ගේම පුන්‍ය විපාකයෙන් ජීවත් වන දෙවියකු වුවද සම්බුද්ධ ශාසනයේ පුන්‍යකර්ම සැදැහැ සිතින් අනුමෝදන් වේ.
සක්‍ර දේවාත්මයට පත්වන සක් දෙවිදු තුළ අනිවාර්යයෙන් දැකගත හැකි ගුණාංග හා ලක්‍ෂණ ගණනාවකි. සක්‍ර දේවේන්ද්‍රයන් කොතරම් උසස් වුවද අනෙක් දෙවිවරුන්ට ගෞරව කිරීම, වැදීම සිදුකරයි. සක්‍ර දේවේන්ද්‍රයන් තුළින් පිටවන ආලෝකය හා තේජස අනෙක් දෙවිවරුන්ට වඩා වැඩිය. සක් දෙවිදු ගන්නා තීරණවලට අනෙක් සියලුම දෙවියන් එකඟ වේ. අත්දැකීමෙන් බහුල විය යුතුය. සක් දෙවිදු තමා සතු සිල් බිඳ ගැනීමකින් තොරව රැකගනී. මීට අමතරව දෙව් ලොව සිටින සියලුම දෙවිවරුන්ට වඩා සක් දෙවිදුන්ට පිං වැඩි විය යුතුයි.
සක් දෙවිදු පන්සිය පනස් ජාතකයේ ජනප්‍රිය චරිතයක් වනවා මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හෙනරාජ තෛලය සඳහා යොදා ගනුයේ ද හෙනරාජ දෙවියන් වන සක්‍ර දේවේන්ද්‍රයන්ය.
දහසක් නුවන් ඇති, අති ප්‍රබල වජ්‍රය අත දරන පාන්ඩුකම්බල ශෛලාසනය මත විරාජමානව වැඩ හිදින දෙවියන්ගෙත් මහා දෙවි, මහා තෙද ඇති, මහා බල ඇති, මහා පිං ඇති, සෝවාන් ඵලයේ පිහිටියා වූ සක්‍ර දේවේන්ද්‍රයානන්ට මාගේ නමස්කාරය වේවා!
දහසක් නෙත් තුළින් මනුලොව බලමින්නේ
එෛරාවන ඇතු පිටයි ඔබ මෙහි පැමිණෙන්නේ
යාචක වෙසින් සිව් පෝයෙදි දිස්වන්නේ
සක් දෙව් ඔබයි හැම හට පිහිටක් වන්නේ

ගුණ දම් පිරි අයට ඔබ නිති සලකන්නේ
ගුණමකු අයට අකුණුයි ඔබ ගෙන එන්නේ
තුන් ලොව ඔබේ කිතු ගොසමයි පැතිරෙන්නේ
දෙව් බඹු සැවොම ඔබෙ අතටයි පිලිගන්නේ

වජ්‍රය ඔබේ සුරතේ නිති දිස් වන්නේ
විදුලි අකුණු වැසි එයිනුයි ඇති වන්නේ
දෙවියන් අතර මහා දෙවියන් ඔබ වන්නේ
හැම දුක් හමුවෙ ඔබෙ අසුනයි උණු වන්නේ

වෛරය හමුවේ මනු ලෝකෙම විනාසෙට
දින දින ඇදෙන්නේ මරණය දිහාවට
බේරාගත හැකි කෙනෙක් නෑ මේ වෙලාවට
දිව නෙත හෙලනු මැන මනුලොව දිහාවට
සක් දෙවිදුගේ ආනුභාවයෙන්, පිහිටෙන්, අනුකම්පාවෙන් කොරෝනා වෛරසය ලොවින් තුරන් වී සැමට නිරෝගී සුව හා චිරජීවනය ලැබේවායි පතමි!

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද,
පානදුර