අපේ මුතුන් මිත්තන්ගේ ආහාර රටාව වෙනස් වූයේ මන්ද?

ඉංග්‍රීසීන්ගේ පාලනයට පෙර අපේ මුතුන් මිත්තෝ ස්වාභාවික ආහාර රටාවකට උරුමකම් කියමින් ජීවත් වූ අතර සමහරුන් පරදේශිකයන්ගේ ආධිපත්‍යයට නැඹුරු වූ බැවින් අද දක්වා එදා සිංහලයා කා බී ගොවිතැන පවා විනාශ කරන්නටත් පැරණි සිංහල වෙදකම පවා විනාශ කරන්නට උත්සාහ කළ නිසා අද අපට විශාල ව්‍යසනයකට මුහුණ දීමට සිදුවී හමාරයි.
එදා අපේ මුතුන් මිත්තෝ මනා ශරීර ශක්තියකින් කිසිම රෝග පීඩාවකින් තොරව, ජීවත් වූ නිසා මහා දාගැබ් ගොඩනැන්වූ අතර ශෛල්‍යමය නිපැද වූ මහා ප්‍රතිමා ගල් කණු පිහිටවූයෙන් ටොන් ගණන් බරැති විශාල කළු ගල් ප්‍රතිමා ඒ ඒ තැන්වල පිහිටවන්නට සැලස්සුවේත් අපේ ආදි මුතුන් මිත්තන්ගේ කාය බල ශක්තියේ මහිමය නිසාත් අද වගේ යන්ත්‍ර සූත්‍රවල ආධාරයෙන් නොවන බව කිව යුතුය.
දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් ද ගජබා රජතුමාගේ නීල මහා යෝධයා ද සිදුකර ඇති කායික දක්‍ෂතා නොදන්නෝ කවරහුද? මෑත යුගයේ සිටි ලෙව්කේ මැතිඳු වැනි වීර වික්‍රමාන්විත වාර්තා තැබූ සිංහලයන්ගේ කායික මානසික ක්‍රියාවන් ගැන අප ගෞරව කළ යුතුය. අනුරාධපුර, පොළොන්නරුව, තිස්සමහාරාමය, දිගාමඩුල්ල ආදී ස්ථානවල පැරණි ගොඩනැගිලි දෙස බලන විට අපේ ආදි මුතුන් මිත්තන් කළ දස්කම් අප අභිමානයෙන් සිහිපත් කළ යුතුය.
අපේ මුතුන් මිත්තන් ලොව මවිත කළ ඒ වීර ක්‍රියාවන් කර ඇත්තේ දෙවියන්ගේ වරමකින් හෝ දේව ඇදහීමකින් නොව එදා ඔවුන් ආහාර පානවල බලයෙන් ලබාගත් කායික මානසික තත්ත්වයේ බලයෙනි. ආදි මුතුන් මිත්තෝ ඔවුන්ග් දෑත දෙපා වෙහෙස කර වවා ගත් ගොවිතැනේ සාරය නිසා ඔවුන්ට කාය ශක්තිය හා මානසික සුවය ලබාගෙන ඇත. අද වගේ තාක්‍ෂණික මෙවලම් යොදා නොගත් අපේ ආදි මුතුන් මිත්තෝ ගොවිතැනට අවශ්‍ය කැති, උදළු ආදියත් සීසෑමට ගවයන් බෝකර ගත් බවත් කිසිම අඩුපාඩුවකින් තම ගොවිතැන කරගත් බවත් පැහැදිලිය. ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගෙන වවා හදාගත් වී, පොල්, අල වර්ග, පලා වර්ග ආහාරයට ගත් අපේ සිංහලයෝ නිරෝගීමත් ජීවිත ගත කළහ.
අපේ ජන්ම භූමිය වූ මේ පොලෝ තලයේ අද කෙසේ වෙතත් එදා ස්වාභාවිකව වැවුණු පෝෂණීය පදාර්ථයන්ගෙන් යුත් කොස්, දෙල්, මුං, කුරක්කන් ආදියෙන් අඩුවක් නොවූ බවද එදා අපේ මුතුන් මිත්තෝ බෙදාහදාගෙන සෑම ආහාරයක්ම බුක්ති වින්ද බව සත්‍යයකි. පෙර සිටි අපේ ආදි පරපුරේ උදවිය කල්යල් බලා ගොවිතැන් කිරීමට සුදුසු පරිසරයක් ස්වභාව ධර්මය විසින්ම සකසා දී තිබුණේය.
නානා විධ රෝග වැළඳුන රෝගීන් අද රෝහල්වල දුක් විඳිනවා. එදා අපේ මුතුන් මිත්තන් මෙවැනි රෝගවලින් පෙලුනා නම් අද අපට මහා සාගරය වැනි වැව් අමුණු, මහා දාගැබ් දැකබලා ගන්නට හැකි වේද? අද මිනිසුන්ගේ ආහාර රටාව යොමු වී ඇත්තේ දියවැඩියාව, අර්ශස්, හෘද රෝග, පිළිකා වැනි කල් ගත කරන ආයුෂ හීන කරන රූප කාය විකෘති කරන උපදිනා දරුවන් මන්දබුද්ධික කරන ආහාර පද්ධතියක් අද සමාජයට උරුම වී හමාරයි.
නමුත් අද අපේ වෙද හෙදකම් දන්නා බොහෝ පවුල්වල දෙමාපියන් දරුවන් දැන් දැන් ඉහත කී ලෙඩ රෝගවලින් මිදීමේ අරමුණින් කොස්, පොලොස්, දෙල්, අල වර්ග පළා වර්ග තමන්ගේ ආහාර රටාවට එක්කර ගැනීමට නැඹුරු වී සිටීම වාසනාවකි. මෙවැනි ක්‍රියාමාර්ග කෙරෙන්නේද ගම්බද පවුල්වල මිසක් නාගරිකයන්ගේ අවධානය ඉතාම අඩුය. අද ටික ටික නාගරික පිරිස් කොළ කැඳ වර්ග බෙලි මල් ආදියට නැඹුරු වූ බවක් පෙනේ.
එදා අපේ මුතුන් මිත්තෝ උෂ්ණ කාලය ශීත කාලය අධික වර්ෂාපතනය වන කාලයට ගැළපෙන ආහාර ගත් බවත් තුන් දොස් කිපෙන ආහාර පානවලින් වැළකී සිටි බවත් කිව යුතුය. දඩමස් අතර ගෝන, මුව, ඉත්තෑ ආදී උෂ්ණ ගුණයෙන් යුත් මාංශ වර්ග ඉඳහිට ගත් ඔව්හු එමගින් ශරීරයේ ලේ වැඩීමත් අපේක්‍ෂා කළහ. වල් ඌරු මස් ගැනීමෙන් මේදය බලාපොරොත්තු වූහ. වෙල් මාළු නොහොත් මිරිදිය මසුන් පෝෂණයෙන් අනූන බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් යෝධබල යෝධ ශක්තිය ළඟාකර ගත්හ.
එකල සෑම ගෙදරකම ගොවි පවුලක් වූ බව නොරහසකි. ගවයා ගොවියාගේ ජීවිතයට අත් වැළක් වූ නිසාම සෑම ගෙදරකම ගවයන් සිටි අතර ඔවුන්ට ද දරුවන්ට මෙන්ම සැලකූ බවද සත්‍යයකි. ගවයා ගොවියාට සම්තක් වූවා මිසක ඌ මරා කෑමට ආදි අපේ මුතුන් මිත්තෝ ප්‍රයත්න දැරුවේ නැත. ගවයා මරා කෑමෙන් තමන්ට වන හානිය විපාකය සහ පව පැරැන්නෝ හොඳාකාර දැන සිටියහ. ගව මස් බුදින්නන්ට බරපතල රෝග පීඩා වැළඳෙන බවත් තමන්ගේ ගොවිතැන් කටයුතු පිරිහෙන බවත් දෙවියන්ගේ ඇල්ම බැල්ම අඩුවන බවත් ඔවුන් හොඳාකාරව දැනගෙන ජීවත් වූහ. සොබාදහමට අනුව ඉර, හඳ, මහපොළොව, දෙවියන් ලෙස නමස්කාර කර ජීවත් වූ අපේ මුතුන් මිත්තෝ අකල් මරණවලට ගොදුරු නොවී විඳදරා ගන්නට අමාරු රෝග පීඩාවලට ගොදුරු නොවී සුවෙන් සැපෙන් ජීවත් විය. එසේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත් විනාශ කර දමන්නට මෙරටට පැමිණි පර දේශක්කාරයන්ගේ ආකල්ප සිරිත් විරිත් වැළඳ ගන්නට උත්සාහ කළ ඔව්හු අපේ පැවති සිංහල වෙදකමට පවා අකුල් හෙලා එය විනාශ කරන්නට යෙදූ ප්‍රයත්නය දැන් සාර්ථක වී ඇත.
ඒ හේතුවෙන් අපේ ජන්ම භූමියේ ශ්‍රී විභූතිය විනාශ කර දමා සංකර රටක් ගුරු දෙමාපිය වැඩිහිටි උදවිය නොසලකා හරින කිසිම ගුණ දහමකට හිස නොනමන අසංවර භූමියක් බවට ලක් පොළොව පාත්‍ර වී හමාරය. එදා අපේ මුතුන් මිත්තන්ගේ ගුණ සුවඳ ඉතිරිකර ඒ අය ගිය මාවත කොහේද? ඒ අය අගය කළ වටිනා ගුණධර්ම කොහේ දැයි අපි තවමත් නොදනී. ලක් පොලෝ තය මත ශ්‍රී විභූතිය සලසා අපේ උරුමයන් නගාසිටවූ අපේ මුතුන් මිත්තෝ කොහේ උපත ලබා ඇත්ද ඒ අයට අප සදා ණයගැතිය.

එන්. කේ. එස්. කුලසූරිය
සර්වාංග වෛද්‍ය
සමන් ඖෂධාලය
අරංදර – අටාල