සෙම රෝගයට සුපිරි අත් බෙහෙත් ඔබම හදාගන්න

පුරාණ වේද ග්‍රන්ථවල මෙන්ම ආයුර්වේදයේ සඳහන් වන්නේ නිරෝගී ශරීරයක් හිමිකර ගැනීමට නම්, තුන් දොස් සමනය කරගත යුතු බවයි. තුන් දොස් යනු වාතය, පිත සහ සෙමයි. ශරීරයක අවශ්‍ය ප්‍රමාණයට මධ්‍යස්ථව මේවා පවත්වා ගැනීම තුන් දොස් සමනය කර ගැනීම ලෙස සඳහන් වෙයි.
මෙහිදී සෙම පාලනය කර ගැනීමෙන් වාතය සහ පිත ඉබේම පාලනය වන බවද පුරාණ දේශීය වෛද්‍යවරුන් පවසන්නේ තම තමන් ලබා ගන්නා අත්දැකීම් තුළිනි.
සෙම රෝගයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදීම සඳහා පුරාණ ඍෂිවරුන් විසින් නියම කරන ලද අත් බෙහෙත් පිළිබඳ සඳහන් වුණු පුරාණ පුස්කොල පොත්වල සඳහන් සරල අත් බෙහෙත් දෙකක් අද අප ඔබට ඉදිරිපත් කරන්නේ කියවා නොසලකා හැර ඉවත දැමීමට නොව, සෙම රෝග ඇති අයටත්, නැති අයටත් අකලට මහලු නොවී නිරෝගීව ජීවත්වීමට අප විසින් කරන සද්කාර්යක් ලෙසටය.
අත් බෙහෙත් සඳහා ඔබ විසින් සපයාගත යුතු ඖෂධීය අමුද්‍රව්‍ය වන්නේ… කොත්තමල්ලි ග්‍රෑම් 200 ක්, අමු ඉඟුරු ග්‍රෑම් 100 ක්, තිප්පිලි කරල් ග්‍රෑම් 50 ක් ය.
මෙම ඖෂධ වෙන වෙනම සෝදා පිරිසිදු කර වේලා ගන්න. අමු ඉඟුරු සිහිනියට කපා ගැනීමෙන් වියලා ගැනීමට පහසුවේ. පිටි වන තරමට කුඩුකර ගැනීමට සුදුසු වන තුරු වියලා ගෙන වෙන වෙනම ග්‍රයින්ඩරයක හෝ වංගෙඩියක දමා කොටා ගන්න. ඉන්පසු මෙම ඖෂධ තුනම එකට හොඳින් කලවම් කර සුදුසු භාජනයක අසුරා ගන්න. (සුලං නොවදින සේ.)
දිනපතා උදේ සවස හොඳින් පැසුණු උණු වතුර කෝප්පයකට සකසා ගත් ඖෂධයෙන් තේ හැඳි එකක් දමා පානයට සුදුසු උණුසුමේදී පානය කරන්න. තේ වෙනුවට බීම ඉතා සුදුසුයි. මෙම ඖෂධය පානය කරන පළමු දිනයේ සිට යහපත් ප්‍රතිඵල ලැබෙන අතර සියලුම සෙම් රෝග සහ සෙම නිසා හැදෙන සියලු රෝග නිමා වන අතර ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ද ඉහළ යනු ඇත. වෛරස් රෝග හටගැනීමට සෙම ප්‍රධාන ලෙස බලපාන අතර වෛරස් රෝගවලින්ද අත්මිදී ඔබ නිරෝගී වනු ඇත.
සෙම රෝග සඳහා දෙවැනි අත් බෙහෙත ලෙස ඉඟුරු ග්‍රෑම් 100 ක්, තිප්පිලි කරල් ග්‍රෑම් 50 ක්, ගම්මිරිස් ග්‍රෑම් 50 ක් පෙර පරිදිම හොඳින් කුඩුකර නස්නාරං ඇඹුල් සමග මේස හැඳි 02 ක් එකවර පානය කරන්න. දිනකට දෙවතාවක් පානය කිරීමේදී සෙම ගැලවී ඉවත් වීම සිදුවේ.
මෙම සෙම ඉවත්වීමද ශරීරයට මහත් සුවතාවක් ගෙන දෙන්නක් වන අතර ශරීරය තුළ අනවශ්‍ය ලෙස සෙම හටගැනීම ද නවතී.
මෙම අත් බෙහෙත්වලින් එක බෙහෙතක් කර ගැනීම ප්‍රමාණවත් බවද සඳහන් කරන්නෙමු.

කවින්දි චේතනා අමරසිංහ