අපල සඵල කරන බොදු පිළිවෙත්

අපල සඵල කරන බොදු පිළිවෙත් අනුගමනය කිරීම තුළින් ජන්මියාගේ මේ ජීවිතයේ ඇති බොහෝ දුක තුනි වීම පමණක් නොව සංසාරික මහා දුක් කඳක් නිමා කිරීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ද දමනු ලබන්නේ ය. මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණ නම් මෙම බොදු පිළිවෙත් වැරදියට අනුගමනය කිරීම තුළ ජන්මියාගේ මේ ජීවිතය පමණක් නොව සසර ද දුක් ගොඩක් බවට තවදුරටත් පත්වන බවය. එය උදාහරණයක් තුළින් විමසීම වඩා වැදගත් වේ. බොදු පිළිවෙත් අතර බෝධි පූජාව ඉතා ජනප්‍රිය වූවකි. මෙහි දී ඇතැමුන් බෝධි පූජා සඳහා කොඩි හා මල්දාම දමනුයේ බෝ අතුවලය. බෝ අතු පහත් කර බෝ අතු හා පත්‍රවලට හානි කරමින් කරන එම ක්‍රියා තවත් අපල වැඩි කරන්නේ එම බෝධියේ සිටින දෙවි දේවතාවුන්ගේ ද උදහසට ලක් වෙමිනි. අප සිහි තබා ගත යුත්තක් නම් බොදු පිළිවෙත් සාර්ථක වීමේ රහස වන්නේ අන්ධ භක්තියෙන් තොරවූ ශ්‍රද්ධාවයි. බෝධි වෘක්ෂය යනු සිද්ධාර්ථ කුමරුන් මෙලොවට බිහිවන විටම පහළ වූ උත්තුංග වස්තුවකි. එදා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ පහළ වූ වජ්‍රාසනය මත දස මරුන් පරාජය කොට බුද්ධත්වයට පත්වූ සේක. මාරයා අවීචි මහා නිරයේ ලෝදිය ගෙන පහර පිට පහර දෙද්දී බෝ පත්‍රයකට හෝ එදා හානි නොවුණි. ඒ උතුම් බෝධියේම දක්ෂිණ ශාඛාවක් අනුරාධපුර උඩ මළුවේ විරාජමාන බව ඔබ හොඳාකාරවම දනී. ලංකාවේ දසත ඇති බොහෝ බෝධීන් උන්වහන්සේලා උන්වහන්සේගේ ශාඛාවන් වෙයි. ඉතින් බොහෝ පිරිස් අපල දුරුකර ගැනීමට බෝධියේ පත්‍ර හා අතු කඩා දමමින් කොඩි, පඬුරු, මල් වැල් ආදී ගැටගසමින් පූජනීය වස්තුවක් වන බෝධියට හානි කිරීම තුළින් වන්නේ බුද්ධ අගෞරවයකි. ඉන් අපල වැඩි වන්නේ පෙර අකුසලයට වත්මන් අකුසල ක්‍රියාවන් ද එක් වීම තුළිනි.
මෙහිදී ජන්ම පත්‍ර පරීක්ෂා කරන ජ්‍යොතීර්වේදීන් ද අදාළ ජන්මියාට දින හතක් බෝධි පූජා කිරීමට පමණක් නොකියා එය නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳව ද දැනුවත් කළ යුතුම ය. තවද මෙහිදී ජන්ම පත්‍ර පරීක්ෂාකොට බලා ග්‍රහයන්ගේ බල දුබලතා ද නිවැරදිව හඳුනාගත යුතුය. අෂ්ඨ වර්ග වැනි ක්‍රම ශිල්ප එහිදී භාවිතය ද වඩා වැදගත් වේ. මෙහිදී අදාළ සුබ අසුබ ග්‍රහයන් නිවැරදිව කේන්ද්‍ර පරීක්ෂාවෙන් හඳුනා ගත් පසු අදාළ ග්‍රහයන්ට අදාළ දිනයද, දින ගණන ද, වේලාවන්ද තෝරා ගත යුතුය. තවද පංචභූත තත්ත්වයන් සමබර වන පරිදි අදාළ පූජා ද්‍රව්‍යයන් ද තෝරා දිය යුතුය. මෙහිදී මිත්‍යා ක්‍රමශිල්ප වලින් බැහැර වී ශ්‍රද්ධාවෙන් යුතුව එය සිදු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ජෝතීර්වේදීන් විසින් ලබා දිය යුතුය.
කවුරුන් හෝ දුකකදී ජෝතිශ්‍යවේදීන් සොයා එන්නේ මෙම උපදේශන ද ලබා ගැනීමට බැව් ඔවුන් අමතක නොකළ යුතුය. වසර විස්සකට ආසන්න අත්දැකීමෙන් අප දන්නා කරුණක් නම් බෝධි පූජා නිවැරදිව සිදුකරන අකාරය පිළිබඳ දැක්මකින් තොරව බොහෝ පිරිසක් කේන්දර පරීක්ෂාවට එති. බෝධියට මල් ටිකක් තබා, කොඩියක් ගැටගසා බෝධියට පැන් කළයක් වත්කර බෝධි පූජා කවි ටිකක් කී පමණින් බෝධි පූජාවක් සිදු කළා යැයි බොහෝ පිරිස් සිතති. තිදොර සංවර සිදු කළ යුතු බෝධි වන්දනාව ඊට වඩා බොහෝ වෙනස් වේ. එසේම නිවැරදිව සිදු කරන බෝධි වන්දනාව තුළින් ප්‍රතිඵල ලැබීම ද නිසැකවම සිදුවන්නෙකි. එවැනි අති සාර්ථක උදාහරණ ගණනාවක් අප සතුව ඇතත් මෙම ලිපිය රචනා කරන විට මතකයට එන එක් උදාහරණයක් මෙසේ සනිටුහන් කරමු. දිනක් ජන්ම පත්‍ර පරීක්ෂාව සඳහා අප කරා තරුණ යුවළක් පැමිණියේය. එම තරුණිය මාස දෙකකට වැඩි ගැබිනියක් බව මුත්‍රා පරීක්ෂා කොට දැන ගෙන ඇත. එහෙත් ඇයගේ දෙවරක් කළ ස්කෑන් පරීක්ෂණවලට අනුව ඇය ගැබිනියක් බවට තහවුරු වූයේ නැත.
අප ජන්ම පත්‍රය පරීක්ෂා කර විමසා බැලූ විට දැනගත්තේ තරුණියගේ කේන්ද්‍රය වූ හයවැන්නට කුජ අයහපත් ලෙසින් සම්බන්ධව ඇති බවත්, ගබ්සා සම්බන්ධ දෝෂ එම නිසා හටගැනීමට බොහෝ ඉඩ ඇති බවත් ය. තව ද එම කාන්තාවට දරු සම්පත් අවම බවත්, එම තරුණයාට දරු සම්පත් තිබුණ ද ඔවුන් දෙදෙනාම එම කාලයේ ඒරාෂ්ටක අපලවලින් දැඩි පීඩා විඳින බවත් ය. ඒ අනුව අදාළ ග්‍රහයන් බලවත් වන පරිදි බෝධි වන්දනාව සිදු කිරීමට නියම කරන ලදී. එහිදී දින කිහිපයකින් පැලෝපීය මාර්ගයේම කලලය වැඩෙන බව ඔවුන් නැවත ස්කෑන් පරීක්ෂාවක් මගින් දැනගත් අතර තවදුරටත් බෝධි පූජා හා තවත් බොදු පිළිවෙත් කිහිපයක් අනුගමනය කිරීම තුළ පැලෝපීය මාර්ගයේ සිටි දරුවා මවගේ ගර්භාෂය වෙත ගොස් තිබුණි. මෙහිදී අප සම්පූර්ණයෙන්ම නිර්දේශ කරන ලද්දේ බොදු පිළිවෙත්ම පමණි. නිරෝගී දරු උපතක් සමඟ ජීවිත දෙකක්ම මින් බේරුණේය. එය සනාථ කිරීමට අදාළ වෛද්‍ය සහතික ද ඇත.
ඔබත් මමත් සසර ගමනේ රැස් කරන ලද පින් පව් දෙකම අපගේ කේන්ද්‍රයේ රාශි තුළ සැඟවී ඇත. සසරේ කරන ලද පුණ්‍ය සම්භාරය ජන්ම කේන්දරයේ නව වැනි රාශිය තුළත් කරන ලද පව්කම් පිළිබඳ වාර්තාව ජන්ම කේන්ද්‍රය 6 , 8 රාශි තුළත් සටහන්ව ඇත. ඵල අපල වශයෙන් අප එදිනෙදා භුක්ති විඳින්නේ මෙයයි. මෙය විවාහ ජීවිතයට ද පොදු වූ ධර්මතාවකි.
විවාහ ජීවිතයක් ගෙවන කාගේත් පරම සැපත නම් දරු සැපත වේ. දරුවන් නොමැතිවීම ජීවිතය කලකිරීම හා විවාහය කඩාකප්පල් වීමට ද බොහෝ අයට හේතුවක් වී ඇත. බොහෝ සැප සම්පත් ඇති පිරිස් දරුවන් නොමැතිව විශාල ලෙස වධ වේදනා විඳින අයුරු අප කේන්ද්‍ර පරීක්ෂාව තුළ ලද බොහෝ අත්දැකීම් තුළින් දන්නෙමු.
5 භාවය හා ගුරු චන්ද්‍ර පිහිටීම මෙන්ම 5 අධිපති සිකුරු වඳ රාශියක සිටීම, ගුරු වඳ රාශියක සිටීම, 5 අධිපති සිකුරු 8 වන භාවයේ සිටීම, 5 අධිපති කුජ වඳ රාශියක සිටීම හා තවත් කරුණු ගණනාවක් දරුපල අඩු වීම සඳහා බලපානු ලබයි. තවද පස් වැන්නේ සහ හය වැන්නේ කුජ ශනි රාහු පාප ග්‍රහයන් දුර්වල තත්ත්වයෙන් පිහිටා තිබේ නම් පිළිසිඳ ගැනීමේ දෝෂ හා ප්‍රසූත දෝෂ ඇති වේ. එසේම පස් වැන්නාධිපතියා පාප ග්‍රහයකු සමග සංයෝග වී කේන්ද්‍රයේ කුමන භාවයක සිටිය දී, පස් වැන්නේ පාප ග්‍රහයකු තැන්පත්වීම ද දරුඵල හීනවීමට හේතුවේ. පස් වැන්නාධිපති අට වැන්නේ පිහිටීම මෙන්ම අට වැන්නාධිපති ග්‍රහයාගෙන් පස් වැන්නට අසුබ දෘෂ්ටියක් ලැබීම ද දරුවන් නොලැබීමට හේතුවකි.
දෙදෙනාගේ එක් අයෙකුගේ කේන්ද්‍රවල සුබඵල ඇත්නම් එම තත්ත්වයන් බොහෝ දුරට අකා මකා දැමිය හැකි බැව් ද අපගේ අත්දැකීම් වේ.
දිනක් කේන්ද්‍ර පරීක්ෂාවට පැමිණි යුවළක් අඬමින් දරුවන් නොමැති දුක අප වෙත කියන්නට වුණි. ධනය බලය බොහෝ ඇතත් දරුවන් නොමැතිවීමේ අකුසලය ඔවුන්ගේ කේන්ද්‍ර තුළින්ද මනාව විද්‍යමාන විය.
බුදු දහමට අනුව දරු සම්පතක් නොමැති වීම පෙර කරන ලද අකුසල කර්මවල ප්‍රතිඵලයකි. ප්‍රශ්න මාර්ගය නම් ඉපැරණි ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථය ද මෙම කරුණ මනාව සනාථ කොට ඇත. පෙර ආත්මවල ළමුන් ඝාතනය කිරීම, ගබ්සා කිරීම, සතුන්ගේ බිත්තර විනාශ කිරීම, දරුවන් දෙමව්පියන්ගෙන් බලයෙන් ඉවත් කිරීම, ප්‍රාණඝාතය හා සතුන් වඳ බවට පත් කිරීම මේ සඳහා විශාල වශයෙන් බලපාන සාධක අතර වෙයි. දරුඵල නොමැතිවීම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී සඳහන් වන්නේ සර්ප ශාප යෝගයේ බලපෑම නිසා සිදුවන්නක් ලෙසිනි.
කැලෑ ගිනි තැබීමෙන් සත්ව ඝාතනයට සම්බන්ධ වීමද, අලියා නාගයා ඉබ්බා කැස්බෑවා වැනි දීර්ඝායුෂ හිමි සතුන් මරා දැමීමට හවුල් වීම ද එවැනි පාපකර්ම දැක සතුටුවීමද ඉහත කී පාපකර්ම වේ.
මෙවැනි අකුසල කර්මයක අඳුරු සෙවණැල්ලක් විසින් එම යුවළගේ ජීවිතය ද වසා ඇති බැව් අපට ප්‍රත්‍යක්ෂ විය. කුසලය නම් ආලෝකය සැපයීමෙන් පමණක් එම අඳුරු සෙවනැල්ල පලවා හැරිය හැකි වේ. එහිදී අප ඔවුන් වෙත නිර්දේශ කරන ලද්දේ බොදු වත් පිළිවෙත් කිහිපයක් නිවැරදිව කිරීම වේ. එහිදී අදාළ පාප ග්‍රහ සංයෝග, බලවත් ග්‍රහ සංයෝග, වත්මන් දසා තත්ත්වය, අෂ්ඨ වර්ග, තත්කාල කේන්ද්‍රයේ චන්ද්‍රයා හා රවි සිටින රාශිය ආදිය විමසා බැලීමද ඉතා වැදගත් වේ.
තවද මෙම ජන්මීන්ගේ කේන්ද්‍ර පරීක්ෂාව තුළින් කුජ හා කේතු පීඩාකාරීව සම්බන්ධ වී භූත ප්‍රේත පිසාච බාධා ද එම කාන්තාවට පවතින බව හඳුනාගත් අතර පසුව කළු කුමාර දෝෂය පවතින බවද මනාව තහවුරු කර ගතිමු. කේන්ද්‍ර පරීක්ෂාව තුළින් එම අමනුෂ්‍ය උපද්‍රව පවා පැහැදිලිව විමසා බැලිය හැකිය. පෙර ආත්මවල ඇති නොයෙක් ගනුදෙනු හා ඥාති මිත්‍රකම් මත ඔවුන් මෙම ආත්මයේ ද තම ඥාති මිත්‍රාදීන් පසු පසම එයි. අපගේ අත්දැකීම් අනුව කළු කුමාර දෝෂය තුළින්ද දරු උපත් සීමා වේ. එය වෛද්‍ය පර්යේෂණවලට හසු නොවන තත්ත්වයකි. අදාළ අමනුෂ්‍ය බැල්ම තුළ ගර්භාෂය තුළ ඩිම්බ හා ශුක්‍රාණු එකතු වීමට ඉඩ නොදෙන අතර ශුක්‍රාණුවල හා ඩිම්බවල එක්වීමද විනාශ කරනු ලබයි. එවැනි ප්‍රශ්න ගණනාවකින් මෙම යුවළ පීඩා විඳින බව අපට මනාව කේන්ද්‍ර පරීක්ෂාව තුළින්ම තහවුරු විය.
අප ශාන්තිකර්ම නිර්දේශ කරන ලද්දේ මෙවැනි අපල තත්ත්වයන් සඵල වන ආකාරයට වේ. එහිදී කේන්ද්‍ර පරීක්ෂාවට අනුව අදාළ බෝධි වන්දනාව දින විසි හතක් එක දිගට කිරීමට ද නිර්දේශ කරන ලදී. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවත්, කැපවීමත් එහිදී මූලිකවම වැදගත් වේ. එම දින කිහිපය නිර්මාංශ විය යුතු අතර අදාළ ග්‍රහයන් බලවත් වන පරිදි බෝධි වන්දනාව සඳහා කළ යුතු වත් පිළිවෙත් රැසක් ද නිර්දේශ කරන ලදී. එහිදී අප නිර්දේශ කළ ශාන්තිකර්ම අතර ඖෂධ පූජාව ද ප්‍රමුඛව ඇත. අද බොහෝ සෙයින් පිරිස් ඖෂධ පූජාව සඳහා විවිධ ඖෂධ කොළ පූජා කිරීමට පෙළඹේ. නමුත් අදාළ ග්‍රහයින් තෘප්තවන පරිදි ග්‍රහයින්ට අදාළ ඖෂධයම තෝරා ගෙන ඒවා තම්බා ඔවුන්ගේ අතින්ම පිළියෙල කොට පූජා කිරීම ද අතිශයින් වැදගත් වේ. එසේම චතුමධුර පූජාව ද මෙහි දී කිසිසේත් අමතක කළ නොහැකිය.
මේ ආකාරයට අදාළ ග්‍රහයන්ට ද අදාළ වන පරිදි ඔවුන් බෝධි වන්දනාව කළ යුතුය. මෙම ග්‍රහයන් නියෝජනය කරන දෙව් පිරිස් සිටියි. ඔවුන් අතරින් බොහෝ පිරිසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය දෙවිවරු බැව් මහා සමය සූත්‍රය තුළින් ද අනාවරණය වේ. මෙම පිරිස මේ ආකාරයට බෝධි වන්දනාව සිදු කරන විට එම එම දෙව් පිරිස් ද ජන්මියාට ආශිර්වාද කරයි. එසේම සුදුසු මව්කුසක් සොයන පිංවන්ත ආත්ම ද මෙම උතුම් බෝධින් වහන්සේ අතර නිතර සැරි සරයි. තවද බෝධි වන්දනාමය කුසලය තුළින් ජන්මියාගේ පෙර අකුසල් ද යටපත් වේ. පෙර කුසල් මතුවේ. එම කරුණු නිසා එම යුවළ වෙත ඇති අමනුෂ්‍ය බැල්ම ද දැන් ටිකෙන් ටික දුරු වෙයි. ඒ සඳහා භාවිත කළ යුතු විශේෂ පිරිත් ගණනාවක්ද ඇත. මෙම ප්‍රතිකාර හා තවත් වත් පිළිවෙත් කිහිපයක් මාස තුනක් වැනි කාලයක් එක දිගට භාවිත කිරීම තුළ වසර හතකට ආසන්න කාලයක් ඔවුන් දැඩිව පීඩා විඳි දරුවකු නොමැති වීමේ ගැටලුවට නිශ්චිත පිළිතුරක් ඔවුන් වෙත ලැබුණි. එනම් එක් දරුවකු හෝ නොසිටි ඔවුන්ට දැන් නිවුන් පිරිමි දරුවන්ම සිටියි.
අප මෙය පළ කරන්නේ මෙය අපගේ ජයග්‍රහණයක් බව පැවසීමට නොව බොදු පිළිවෙත්වල ඇති වැදගත්කම හා සාර්ථකත්වය අද ද මනාව තහවුරු වන ආකාරය පෙන්වා දීමටය. බොදු පිළිවෙත් වලින් සාර්ථකත්වය ලබා ගැනීමට නම් ප්‍රධාන වශයෙන්ම ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවත්, පංච සීල ප්‍රතිපත්තියත් ඉතා වැදගත් වේ. එවැනි ප්‍රතිපත්තිගරුකව සිදුකරන බෝධි වන්දනාව දෙවිවරුන්ගේ අවධානයට ද යොමු වන අතර ඉන් ජන්මියාට විශේෂ ආශිර්වාදයක් ද ලැබේ. එහිදී ජ්‍යොතිර්වේදියා යම් කාලයක් ගෙන ජන්මියාට මේ සඳහා යම් උපදේශනයක් සැපයීම වඩා වැදගත් වේ.

ජ්‍යොතිෂවේදී, මනෝවිද්‍යා උපදේශක
ශාස්ත්‍රපති, ශ්‍රී නුවන්තික බුලත්සිංහල
දම්හිරු ජ්‍යොතිෂ උපදේශන සේවය
දු.අංකය – 070 618 1000/ 0777 95 7700