වැග්නර් නායකයා අප්‍රිකාවෙන් මතුවෙයි

අසම්පූර්ණ කැරැල්ලෙන් පසු ප්‍රථම වරට රුසියානු වැග්නර් සන්නද්ධ කුළී බළකායේ නායක යෙව්ගෙනි ප්‍රිගෝසින් වීඩියෝ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

වැග්නර් බළකායට අයත් ටෙලිග්‍රෑම් නාළිකා ඔස්සේ සංසරණය වූ එම වීඩියෝ පටය බොහෝදුරට අප්‍රිකාවේ රූගත කර ඇති බව විශ්වාස කෙරෙයි.

ඒ අනුව වැග්නර් බළකායේ නායකයා දැන් අප්‍රිකාවේ සිටින බවට ඉඟිකෙරෙන බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය.

අප්‍රිකාවේ ගැටුම් පවතින රාජ්‍යයන්හි වැග්නර් බළකායේ ක්‍රියාකාරකම් මීට පෙර වාර්තා වී තිබූ අතර, ඔවුන් දැන් සිදුකරන මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

නව වීඩියෝ පටයේ ප්‍රිගෝසින් කාන්තාර ප්‍රදේශයක කැමෆ්ලාජ් නැත්නම් කැලෑ ඇඳුමකින් සැරසී රයිෆලයක් අතැතිව සිටි අතර ඔහු අසල තවත් සන්නද්ධ පිරිස් සහ පිකප් වාහන රැසක් දක්නට ලැබෙයි.