යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවෙයිද?

යුක්‍රේන යුද්ධයේ කඩිනම් අවසානයක් අපේක්ෂා කළ නොහැකි බවත්, මේ නිසා දීර්ඝ යුද්ධයකට මුහුණදීමට සූදානම් විය යුතු බවත් නේටෝ සංවිධානයේ ප්‍රධානී ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් පවසයි.

ජර්මානු පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, සියලුම යුද්ධ ආරම්භයේදී අපේක්ෂා කළාට වඩා දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වී ඇති බවය.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන ප්‍රති ප්‍රහාර මෙහෙයුම අපේක්ෂා කළාට වඩා මන්දගාමීව ක්‍රියාත්මක වන පසුබිමකය.

2022 වසරේ පෙබරවාරියේදී රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග යුරෝපය නැවතත් යුද්ධයකට පිවිසුනේ දශක ගණනාවකට පසුවය.

පසුගිය ජුනි මාසයේ ආරම්භ වූ ප්‍රති ප්‍රහාර මෙහෙයුමේදී යුක්‍රේන හමුදා දකුණු සහ නැගෙනහිර යුද පෙරමුණුවල යම් ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වුවත්, කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගැනීමට මෙතෙක් සමත් වී නැහැ.

නේටෝ ප්‍රධානී ස්ටොල්ටන්බර්ග් ජර්මානු පුවත්පතට ලබාදුන් සාකච්ඡාවේදී සඳහන් කළේ, සියල්ලන් කඩිනම් සාමයක් අපේක්ෂා කරන බවය.

එමෙන්ම ජනාධිපති සෙලෙන්ස්කි සහ යුක්‍රේන හමුදා සටන් නතර කළහොත් යුක්‍රේනය යන රාජ්‍යයේ පැවැත්මක් තවදුරටත් අපේක්ෂා කළ නොහැකි බව ඔහු කියා සිටියේය.

ජනාධිපති පුටින් සහ රුසියානු හමුදා ආයුධ බිම හෙලුළුවහොත් අපට සාමය උදාකරගත හැකිදැයි නේටෝ ප්‍රධානියා සඳහන් කළේය.

යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වය පිළිබඳව විමසූ විට නෝටෝ ප්‍රධානියා ප්‍රකාශ කළේ, අවසානයේ යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම නියත වශයෙන්ම සිදුවනු ඇති බවය.