අල් අහ්ලි රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් 500කට අධික පිරිසක් මරණයට

යුද්ධයක ම්ලේච්ඡත්වය පසක් කරමින් ගාසාහි රෝහලකට එල්ල වූ දරුණු ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු 500 දෙනෙකුට අධික පිරිසක් මරණයට පත් ව තිබේ.

ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලයට බැරවූවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල හමුදා පවසන්නේ, ගාසාහි ක්‍රියාත්මක ජිහාඩ් සටන්කාමීන් ප්‍රහාරය එල්ල කළ බවයි.

මේ අතර, යුද්ධය දරුණු ලෙස පැතිරෙමින් පවතිද්දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලය වෙත අද (18) පැමිණියේය.

උතුරු ගාසාහි ගාසා නගරයේ අල් අහ්ලි ක්‍රිස්තියානි රෝහලට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කෙරුණේ, යුද්ධයක ම්ලේච්ඡත්වය තහවුරු කරමිනි.

ඉන් දැනට වාර්තා වන මරණ ගණන 500කට අධිකය.

ප්‍රහාරය එල්ල වන විට රෝගීන් සහ ගාසා සරණාගතයන් දහස් ගණනක් එහි රැඳී සිටි බව හමාස් සංවිධානය පවසයි.

මේ අතර, අල් අහ්ලි රෝහලට එල්ල වූ ප්‍රහාරය මේ වන අරාබි ලෝකය කලඹා තිබේ.

ප්‍රහාරයට එරෙහි ව ඊයේ රාත්‍රියේ සිට රටවල් රැසක විරෝධතා පැවැත්වුණු ආකාරය ද විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණි.

මෙම කුරිරු ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය භාරගත යුතු බව හමාස් සංවිධානය සහ පලස්තීනය චෝදනා කරයි.

එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ගාසාහි ක්‍රියාත්මක ජිහාඩ් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහලට පතිත වී ඇති බවයි.

එය සනාථ කරන බව පැවසෙන වීඩියෝවක් ද ඔවුන් නිකුත් කර තිබිණි.

එමෙන්ම ප්‍රහාරයට අදාළ ව ජිහාඩ් සංවිධානයට අයත් බව කියන හඬපටයක් ද මේ වන විට නිකුත් වී ඇත.

නමුත් එක්සත් ජාතීන් ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

මෙම දරුණු ප්‍රහාරය ඊශ්‍රායලය වෙත දැඩි පීඩනයක් එල්ල කර ඇති අතර, විචාරකයන් පවසන්නේ මෙය ඊශ්‍රායල – හමාස් යුද ගැටුමේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

මේ අතර, ඊයේ නිවේදනය කළ පරිදිම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද ඊශ්‍රායලයට පැමිණියේය.