ගාසා ගුවන් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 9,500කට ආසන්න පිරිසක් මරුට

 

අඛණ්ඩව ක්‍රියාත්මක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගාසා තීරයේ උතුරු ප්‍රදේශ මෙන්ම මධ්‍යම සහ දකුණු කලාපද ඉලක්ක කර ක්‍රියාත්මක වෙයි.

මධ්‍යම ගාසා හි මඝාසි කඳවුර සහ එක්සත් ජාතීන් පවත්වාගෙන ගිය මේ වන විට සරණාගත කඳවුරක් ලෙස ක්‍රියාත්මක උතුරු ගාසා හි ජබාලියා පාසලත් ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කයක් වී තිබුණි.

මෙම ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 50 කට අධිකය.

උතුරු ගාසා හි තුවාලකරුවන් වැඩි ප්‍රමාණයක් යොමුකෙරෙන අල් ෂිෆා රෝහලේ ඉන්ධන අවසන් වෙමින් ඇති අතර එසේ වුවහොත්  රෝගීන් 100දෙනෙකු පමණ මියයනු ඇතැයි රෝහල් බලධාරීන් පවසයි.

ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර මාසයකට ආසන්න කාලයක් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දැනටමත් 9,500කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් මියගොස් තිබේ.

ප්‍රහාර හේතුවෙන් අවතැන් පිරිස් රඳවා සිටින කඳවුරු තුළ මේ වනවිට බෝවන රෝග ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.