අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව හූති කැරලිකරුවන්ට ප්‍රහාර

රතු මුහුදේ වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල කරන යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අමෙරිකානු සහ බ්‍රිතාන්‍යය හමුදා නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

හූති කැරලිකරුවන්ගේ භූගත අවි ගබඩා මෙන්ම මිසයිල සහ සන්නිවේදන හැකියාවන් අඩපණ කිරීම එම ප්‍රහාරවල අරමුණ වී ඇත.

යේමනයේ බහුතර ප්‍රදේශයක පාලන බලය හිමිකරගෙන සිටින හූති කැරළිකරුවන් රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කරන්නේ ගාසා තීරයේ පලස්තීනුවන්ට සහෝදරත්වය පළ කරන බව පවසමිනි.

කෙසේ නමුත් මෙම ප්‍රහාර හේතුවෙන් ගෝලීය නෞකා භාණ්ඩ ප්‍රවාහනයට බාධාවන් මතුවී ඇති අතර ගෝලීය උද්ධමනය ඉහළ නැංවීමට ද එය හේතුවනු ඇතැයි විශ්වාස කෙරෙයි.

එමෙන්ම එය මැදපෙරදිග වාතාවරණය අස්ථාවර කිරීමට ද හේතුවී තිබේ.

සිය නවතම ප්‍රහාරවලදී අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා යේමනයේ ඉලක්ක 08ක් වෙත ප්‍රහාර එල්ලකර ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කරයි.