ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

 

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අදින් ආරම්භ වේ.

ඉරාන – අසර්බයිජාන දේශ සීමාවේ වාරි ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානාව නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්ත කඳුකර කලාපයේදී අනතුරකට ලක්වුණි.

ජනාධිපතිවරයා ඇතුළුව එහි ගමන්ගත් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කරගැනුනේ ඊයේ (20) දිනයේදීය.

මෘත දේහ හඳුනා ගැනුණද එම දේහයන් ආපසු රැගෙන ඒම එතරම් පහසු වූයේ නැත.

දැවීගිය සුන්බුන් අතරින් හමුවූ ඉරාන නායකයාගේ අත පැළඳ සිටි බව කියන මුදුව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර එය කාගෙත් හදවත කම්පා කළ සිදුවීමක් වුණි.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවයේ නිල කටයුතු අද පෙරවරුවේ ආරම්භ වූයේ ටැබ්‍රිස් නගරයේදී ය.