පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක්

තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබේ.

Gliese 12b නමින් නම්කර ඇති මෙම ග්‍රහලෝකය මේ දක්වා පෘථිවියට සමාන ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට උපකල්පනය කරයි.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත.

2022දී එක්සත් රාජධානියේ පැවැති උණුසුමට සමාන තත්ත්වයක් මෙම ග්‍රහලෝකය තුළ ඇති බවට පර්යේෂණවලින් අනාවරණ වී තිබේ.

විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ, ග්ලීස් 12 බී ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු දැනටමත් හදුනාගෙන ඇති ග්‍රහලෝක කිහිපයට අයත් බවය.

ග්ලීස් 12 බී ග්‍රහලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු ගත කර ඇති නමුත් එහි වායුගෝලය කෙබඳුද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.

කෙසේවෙතත් මෙම ග්‍රහලෝකයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටීම නිසා එය සමීපව නිරීක්ෂණයට බාධාවක් වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

වෝර්වික් විශ්වවිද්‍යාලයීය තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය තෝමස් විල්සන් පැවසුවේ, “මෙම සොයාගැනීම අපගේ මන්දාකිණිය හරහා පෘථිවියට සමාන ග්‍රහලෝක පිළිබඳ අපගේ පර්යේෂණයට උපකාරයක් වගේම උද්යෝගයක් වනු ඇති” බවය.‍

ග්ලීස් 12 බී ග්‍රහලෝකය සෑම දින 12.8 කට වරක් එහි සූර්යයා වටා කක්ෂගත වන අතර එය පෘථිවියට සමාන විශාලත්වයක් දරයි.

මෙම ග්‍රහලෝකය මීන රාශියේ පිහිටා ඇති සිසිල් රතු වාමනයෙකු වන අතර පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය මෙන් 1.6 ගුණයක ශක්තියක් ග්‍රහලෝකයට එහි තාරකාවෙන් ලැබෙන බවද වාර්තා වෙයි.

ග්ලීස් 12 බී ග්‍රහලෝකය සොයාගනු ලැබු විද්‍යාඥ කණ්ඩායම ග්‍රහලෝකයේ පැවැත්ම සහ එහි ප්‍රමාණය, උෂ්ණත්වය සහ පෘථිවියෙන් ඈත්ව ඇති දුර වැනි ලක්ෂණ තහවුරු කිරීමට නාසා සහ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියෙහි චන්ද්‍රිකාවලින් දත්ත භාවිත කර තිබේ.

ආචාර්ය විල්සන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ “පුදුමයට කරුණක් නම්, “මෙම ග්‍රහලෝකය අප දන්නා පෘථිවි ප්‍රමාණයේ සහ උෂ්ණත්වයට සමානම ග්‍රහලෝකය” බවය.

එමෙන්ම අප දැන් දකින ආලෝකය මීට වසර 40කට පෙර එනම් 1984 වර්ෂයේ නිකුත්වූවකි. එය පෘථිවියේ සිටින අප වෙත කරා පැමිණීමට එතරම් කාලයක් ගතවී ඇති බවද ආචාර්ය විල්සන් වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ග්ලීස් 12 බී වැනි ග්‍රහලෝක ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයක් නිසා මෙය සමීපව පරීක්ෂා කර එහි වායුගෝලය සහ උෂ්ණත්වය පිළිබඳව ඉගෙන ගැනීමට හැකිවීම ඉතා කලාතුරකින් ලැබෙන අවස්ථාවක් බවද ආචාර්යවරයා වැඩිදුරටත් පවසයි.