අංශභාග රෝගය දේශීය වෙදකමෙන් සුව කළ හැක

අංශභාග රෝගය දේශීය වෙදකමෙන් සුව කළ හැක

66අංශභාග රෝගය යනු ශරීරයේ එක් අංශයක ඉන්ද්‍රියයන් අකර්මන්‍ය වීම හෝ වේදනාවට පත්වීමය. මෙය ශරීරයේ වම දකුණ වශයෙන් හෝ ඉණෙන් ඉහළ පහළ වශයෙන් හෝ සිදුවිය හැක. වැරදි ආහාර පාන, විහරණ නිසා හෝ ඉන්ද්‍රියයන්ට ඇතිවන හදිසි ආබාධයක් නිසා හෝ අධික ශෝකය, මානසික පීඩනය, මොළයේ රුධිර නාලයක ලේ කැටියක් හිරවීම නිසා හෝ මෙම රෝගී තත්ත්වය ඇති විය හැක.

එක් අංශයක මෙම රෝග තත්ත්වය ඇති වූ විට ඊට ඉක්මන් ප්‍රතිකාර නොකළොත් අනික් අංශය ද රෝගී වීමට ඉඩ ඇත. එසේ වන්නේ අතපය හැසිරවීම, ඇවිදීම, නිදාගැනීම වැනි කාර්යයන්ගේ බර නිරෝගී අංශයට අධිකව ලැබීමේ හේතුවෙනි. එනිසා ප්‍රතිකාර කිරීමේදී රෝගී අංශයේ මෙන්ම නිරෝගී අංශයේද තෙල් ගැල්වීම ආදිය කළ යුතුය. කයට බෙහෙත් දීමෙන් සර්වාංගයටම ප්‍රතිකාර ලැබෙයි.

අංශභාග රෝගයේ ලක්‍ෂණ මොනවාද? එක් අංශයක අතක් කකුලක් හිරිවැටීම, හන්දි වේදනාවීම, බෙල්ල හිරවීම, ඇස් වපර වීම කට එක් අංශයකට ඇදී යෑම, අත් පා චලනය කිරීම අපහසුවීම, තදබල හිසරුජාව, කතා කිරීමට අපහසු දිව ගොතගැසීම ඇවිදීම අපහසුවීම වැනි විවිධ රෝග ලක්‍ෂණ ඇති විය හැක. වම, දකුණ වශයෙන් අංශයක හෝ ඉණෙන් පහළ හෝ ඇතිවන වාත රෝගය යැපසචකැටස් යනුවෙන්ද   සියලු ශරීරයෙහිම ඇතිවන වන තත්ත්වය ච්ර්කහිසි යනුවෙන්ද හැඳින්වෙයි.
අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරයා ඉක්මන් විය යුත්තේ ‘හිස ගිනිගත්තකු මෙනි’ යනුවෙන් යෝගරත්නාකරය නමැති වෛද්‍ය ග්‍රන්ථයෙහි සඳහන්ව ඇත. අංශභාග රෝගය ඉතා සුළු මොහොතකින් විවිධ අංශවලට වර්ධනය විය හැකි නිසා ප්‍රතිකාර ඉක්මන් කළ යුතුය. මෙහිදී අෂ්ට විධ පරික්‍ෂාව උපයෝගී කරගත යුතුය. ප්‍රථමයෙන්ම ආකාර පරීක්‍ෂාවෙන් රෝග තත්ත්වය වටහා ගත යුතුය. ස්පර්ශ පරීක්‍ෂාවෙන් ශරීරයේ උෂ්ණත්ව නාඩි පරීක්‍ෂාවෙන් වා, පිත්, සෙම් තත්ත්වය දැනගත යුතුය. මෙම පරීක්‍ෂාවන්ට වැඩි වේලාවක් නොගත යුතු අතර රෝගියා පරීක්‍ෂා කරන අතරම රෝගය ඇතිවීමට හේතු ආදිය විමසිය යුතුය. තදබල රෝගී තත්ත්වයක් ඇත්නම් වාත නාශක ප්‍රබල බෙහෙත් තෙලක් සර්වාංගයෙහිම ගැල්විය යුතුය. තෙල් නස්න කිරීමට සුදුසු තත්ත්වයක රෝගියා නොවේ නම් නාසය ඇතුළේ තෙල් ටිකක් ආලේප කළ යුතුය. මේ සඳහා ඉතා ප්‍රබල බෙහෙත් තෙල වන්නේ මහ කළුකුමාර තෙලය. තෙල් ගැල්විය යුත්තේ විශේෂයෙන්ම හිස් මුදුන, නළල දෙපස, උකුණුවල, උරපතු යට සහ කොඳු ඇට පෙළ දිගේය. ඉන්පසු අත් පා ආදියේ ගැල්වීම සුදුසුය. තෙල් ගැල්වීමට පෙර තෙල් කුප්පිය උණු වතුරේ තියා තරමක් රත් වූ පසු ගෑම සුදුසුය. තෙල් ගල්වන තැන් තරමක් තෙරපා තෙල් සිඳෙන තුරු පිරිමැදිය යුතුය. පංචකර්ම ප්‍රතිකාර ක්‍රමයේ තෙල් ගැල්වීම, තැවීම ආදිය කිරීම වඩාත් සුදුසුය.
රෝගියාගේ කයට වාත නාශක බෙහෙතක් දීම අවශ්‍යමය. ඒ සඳහා මහ කළුකුමාර තෛලයම ඉතා සුදුසුය. රෝගී තත්ත්වය උග්‍ර නම් බෙහෙත් ගිලීමේ හැකියාව රෝගියාට තිබේ නම් ‘මහ සන්නිකුක්‍ෂ නොහොත් තෙලින් ගුලිකර ගිලින්ට දිය යුතුය. ගුලිකර ගිලීම අපහසුනම් බෙහෙත් කුඩු ටිකක් කෝප්පයකට දමා උණු වතුර දමා තැම්බුනාට පසු කොහොඹ තෙල් බිංදු 6 ක් පමණ දමා බොන්නට දීම ද සුදුසුය. මධුමේහය, අම්ලපිත්තය, අධිවේධතාවය වැනි රෝග ඇත්නම් ඊට ගැලපෙන අයුරින් ප්‍රතිකාර කිරීම වැදගත්ය.
සෙම හිරවී හුස්ම ගැනීමේ අපහසුවක් තිබේ නම් නියම ප්‍රාණජීව තෙල් ස්වල්පයක් පෙරසේම උණු වතුරේ තියා රත්කර ගැල්වීම කළ යුතුය. එසේම අත් පා තද වී හන්දි නමන්නට බැරි තත්ත්වයක් ඇත්නම් ප්‍රාණජීව තෙල ඒ ස්ථානවල ගැල්වීම සුදුසුය. (ඇතැමෙක් ගින්නෙන් තෙල් රත්කරති. එසේ කිරීමෙන් තෙල්වල පදම වෙනස් වී ගුණය නැතිවෙයි.)
කට ඇදවී, ඇස් වපර වී ඇත්නම් මෙම තෙල් දෙකෙන් කුමන තෙලක් හෝ ගල්වා එම වපර වූ ඇද වූ අවයව යථා තත්ත්වයට පත් වන තුරු නිසි තැන දක්වා තෙරපිය යුතුය. වාතය කිපීමෙන් ඇදවූ, තදවූ ඉන්ද්‍රියන් වහාම යථා තත්ත්වයට පත් නොකළොත් පේශි සහ නහර තදවීමට ඉඩ ඇත. තද වූ පසු යථා තත්ත්වයට පත් කිරීම අපහසුය. එනිසා එම වාත ගතිය තිබියදීම යථා තත්ත්වයට පත් කළ යුතුය.
අංශභාග රෝගයට ඉහත කී බෙහෙත්වලට අමතරව සීන මුල් චූර්ණය, දේවරාජ පැත්වන, දිව්‍ය රාජපැත්වන, අෂ්ට භෛරව චූර්ණය, වාතගජේන්‍ද්‍රසිංහ රස, යෝග රාජ ගුග්ගුල, සීතාරාම වටි විජේරාජ ගුලිය, වැනි බෙහෙත් වර්ග ද සුදුසුය.
තෙල් ගැල්වීම හා කයට බෙහෙත් පෙවීමට අමතරව සුදුසු තැවිලි පොට්ටනියකින් තැවීම කළ යුතුය. පපුව බඩ සහ කොඳු ඇට පෙළ තැවීම සුදුසු නැත. තෙල් ගල්වා තෙරපන්නේත්, තැවිලි කරන්නේත් පහළ සිට ඉහළටය. හිසේ ගල්වන්නේනම් හිසේ සිට පහළටය. කුමන ආකාරයෙන් තෙල් ගැල්ලුවත් පපුව දක්වා තෙරපිය යුතුය. ඉන් අදහස් කරන්නේ හෘදය වස්තුවේ ප්‍රාණය රඳවා ගැනීමය.
අංශභාග රෝගියාට අධිරුධිර පීඩනය ඇතිවිය හැක. එසේ වුවොත් රෝගයේ තත්ත්වය දැනගෙන සර්පගන්ධ වටි හෝ ඒකාවේරිය වටි ගුලි 1 ක් දවසට වරක් හෝ දෙවරක් දීම සුදුසුය. එය ඉතා කල්පනාවෙන් කළ යුතුය. රෝගය තරමක් සුව තත්ත්වයට පත් වූ විට බඩ විරේක කළ යුතුය. ඒ සඳහා ජාපාල මිශ්‍ර බෙහෙත්වලට වඩා තිරැස්සවාලු චූර්ණය දීම ඉතා ගුණදායකය. තිරැස්සවාලු චූර්ණය විරේකයක් වන අතර අංශභාග රෝගයට සුදුසු වටිනා බෙහෙතකි. මුත්‍ර බද්ධ නොවීමට සුදුසු බෙහෙත් යෙදිය යුතුය.
ඊළඟට සැලකිලිමත් විය යුත්තේ රෝගියාගේ ආහාර පාන ගැනය. සුදුසු ආහාර පාන කීපයක් හෝ සටහන් කරදිය යුතුය.
සුදුසු ආහාර –

පතෝල, කොහිල අල සහ දලු, මුගුණුවැන්න, කෙසෙල් මුහ, කැකිරි, සාරණ, ගොටුකොළ, මොනරකුඩුම්බිය ආදිය සුදුසුය.
සුදුසු බීම වර්ග –

කොත්තමල්ලි, ඉඟුරු දැමූ තේ, රණවරා මල් තැම්බූ වතුර වැනි දේ සුදුසුය.
පලතුරු –

සීනි කෙසෙල්, පැපොල්, රටඉඳි, දෙලුම් මසන් ආදිය සුදුසුය.
තදින්ම අඟුණ කෑම බීම –

කොච්චි, නයි මිරිස්, අච්චාරු, බිලින්, තෙල් කෑම, කැකුළු බත්, රට දෙල්, වැටකොළු, අමු මස්, මාලු වර්ග, උෂ්ණ කරවල වර්ග, බිත්තර, අධික ලුණු ඇඹුල්, මිරිස්, දුම්කොළ, දුම්පානය, මත්පැන්, කෝපි, දෙහි ශීත කළ කෑම බීම, බෝතල් කළ පැණි බීම වර්ග, පිපිඤ්ඤ බණ්ඩක්කා වැනි තද ශීතල වර්ග.
ඇල් දිය නෑම සහ බීම නුසුදුසුය. නික කොළ, පාවට්ටා (ආඩතෝඩා) කොහොඹ වැනි කොළ වර්ග තැම්බූ ජලය නෑම සුදුසුය. එසේම නිදිවැරීම ද ඉතා අගුණය.
මෙහි මා සඳහන් කළ ආහාර පාන විහරණ ආදිය සහ බෙහෙත්වලින් ප්‍රතිකාර කරන්නේ නම් අංශභාග රෝගය, පැය කීපයක් ඇතුළත සියයට හතළිහකින් පමණ ඒ මොහොතේම සුව කළ හැකි බව වසර 46 ක වෛද්‍ය කර්මය තුළින් මා අත්දැක ඇත. මාසයකින් පමණ සම්පූර්ණයෙන් සුව කළ හැක.
මෙම රෝගීන්ට රෝගයේ බරපතළකම හා භයානකකම වැනි අශුභ අදහස් ප්‍රකාශ නොකළ යුතුයි. රෝගය භයානක නැති බවත් ස්ථිර වශයෙන්ම සුවකරන බවත් රෝගියාට ඒත්තුගැන්වීම රෝගියා සුව වීමට මහෝපකාරී වෙයි. රෝගියාට ප්‍රතිකාර කිරීම මුදල් ඉපයීමේ චේතනාවෙන් කරන ව්‍යාපාරයක් නොවිය යුතු බවත්, රෝගය හා ඖෂධ ගුණ දැනගෙන තමා විසින්ම නිෂ්පාදනය කරනු ලබන බෙහෙත්ම යෙදීම, ඉක්මන් සුවය සහ ස්ථිර සුවය ලබාදීමට හේතුවන බවත් අවධාරණය කරමි.

රා. මු. ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත,
වේගොල්ල, මාස්පොත
0723920873