රාහු සහ කේතුගේ සැඟවුන බලය

රාහු සහ කේතුගේ සැඟවුන බලය

rahu-ketu-1000X250මේ ලිපියෙන් ඔබට අනාවරණය කරන්නේ රාහු ගැන විශේෂ තත්ත්වයන් රැසක් අනාවරණය කිරීමය. රාහු ගැන කතා කරන විට කේතු ගැන ද කතා කළ යුතුය. මක්නිසාද රාහු කේතු යුගල ග්‍රහයන් වන බැවිනි. වෛදික ජ්‍යොතිෂ යුගය හා සසඳන විට රාහු කේතුට ගුප්ත බවක් දැඩි ගුප්ත බවක් එකල ඍෂිවරුන් විසින් ආරෝපනය කිරීම තුළ යම් ගැඹුරු සත්‍යයක් පවතී. එනම් අධිමානසික හැකියාවන් සමාධි බලය වැනි උසස් මානසික තත්ත්වයන් මිනිසාට ඇති කිරීමට යම් මෙහෙයක් මේ දෙදෙනාගෙන් ඇතිවන බව විශ්වාස කෙරේ.


විශේෂයෙන් පෙර භවය හා ඔවුන්ගේ සම්බන්ධය අනුව පැවසෙන තොරතුරු හා පුබ්බේ නිවාසානුස්මති ඥානය සම්බන්ධ ඉඟියක් ඇතිකරයි. මිනිස් මනසේ ගැඹුරු ප්‍රඥාවට සම්බන්ධ මේ ගැඹුරු මානසික සංකීර්ණතාවයට රාහු කේතුගේ යම් සම්බන්ධතාවක් පවතින බව පෙනේ. කේතු ගැඹුරු ඥානයට අධිපතියෙක් ලෙස ජ්‍යොතිෂ ඍෂිවරුන් හඳුන්වා තිබීමද එයට කදිම නිදසුනකි.
මිනිස් මනස හා විශ්වයේ ගති සමාන්තරය. ඒවා එකිනෙක සංකීර්ණ රටාවෙන් යුතුව පවතී. රාහු කේතුගේ ක්‍රියාකාරිත්වයද මනසින් මනසට වෙනස් වෙයි. මානසික සංකීර්ණතා මිනිසාගේ සිතුවිලි අනුව සකස් වෙයි. බුදු දහමේ ඉගැන්වෙන භාවනා ක්‍රම රාශියක් මගින් මිනිස් මනසේ සිත හෙවත් හැඟීම් යම් කිසි බලයක් බවට පත් කිරීම පිණිස ලෝබ ද්වේෂාදී හැඟීම් පාලනය කරන්නට ඉගැන්වේ.
එසේ කෙළෙස් දුරුවීමෙන් ඉතා තීක්‍ෂණව පාරිශුද්ධ වන මනස තුළ මතුවන්නේ ඥානය බුද්ධිය ඉක්මවා ගිය ප්‍රඥාවේ සූක්‍ෂම සංකීර්ණතාවයයි. මේ තුළ විශ්වයෙන් රාහු කේතුගේ විශ්වීය බලය එයට සම්බන්ධ වන බවක් පෙනේ. ඒ බලය නිසා සමාධි සිතක යම් ප්‍රාතිහාර්ය බලයක් මතුකරන බව සිතිය හැක.
යම් පුද්ගලයන් නිවැරැදිව යම් ප්‍රමාණයකට හෝ කෙළෙස් සංසිඳුවා සිත සමාධියකට යොමු කළ අයට යම් යම් දේ ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. මේ හැකියාව සහිත වූ ඔහුගේ චිත්ත සංතානයට රාහු කේතුගේ විශ්ව බලය සංකේන්‍ද්‍රණය වන බව පෙනේ.
විශ්වයේ මහා ප්‍රාඥයා වන බුදුන් වහන්සේගේ ජන්ම පත්‍රය මෙයට කදිම නිදසුනක් දක්වයි. බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රය හෙවත් කටක ලග්නය තුළ ගුරුට සංයෝගව රාහු සිටී. කේතු කුජ සමග ඊට ප්‍රතිවිරුද්ධ මකර රාශියේය. ගුරු ප්‍රඥාවට කාරක ග්‍රහයා වන අතර කටක ලග්නය සියුම් නුවණ වඩන රාශියකි. මකරයේ උච්චවූ කුජගේ ගති උරාගත් කේතු ගුරු දකී. ගුරුට කේතු පෙනේ. රාහුගේ බලය එයට ප්‍රතිවිරුද්ධ දිසාවේ සිටින කේතු අවුල්කර දැමීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වුවද බලවත් ගුරුගේ බලය නිසා කේතු ගුරුගේ බලයට අවනත වෙයි.
බුදුන්වහන්සේ සියලු කෙළෙස් ප්‍රහාණය කළ බැවින් උන්වහන්සේගේ ඍද්ධි බල විශ්වයේ අන් කිසිවකුටම නොලැබෙන පරිදි පරිපූර්ණ වශයෙන් ලබාගත් සේක. බුදුවරයකුට පමණක් සීමා වන මහා ඍද්ධි ප්‍රාතිහාර්යක් වූ යමාමහ පෙළහර පෑමේදී ආපෝ සහ තේජෝ ධාතුන් සිරුරින් විහිදූ බලයට ද මේ විශ්ව ශක්තීන් සම්බන්ධ විය හැකි බව උපකල්පනය කළ හැක.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. ඇම්. ගුණපාල ශූරීන් විසින් ලියන ලද දශාඵල රහස් නම් ග්‍රන්ථයට කටක රාශිගත රාහු ගැන විවරණයක් කරමින් මෙසේ පවසයි. කටක රාශිගත රාහු සුබ වීක්‍ෂණයෙන් යුක්ත නම් නිර්මාණාත්මක බව ඉහළ නංවයි. මෙසේ පවසන වදන බුදුන්වහන්සේ වෙත සසඳන විට විශ්වයේ සත්‍ය දර්ශනයක් බිහි කිරීමට හැකි ලෙස රාහුගේ ශක්තිය උන්වහන්සේ වෙත සම්ප්‍රේක්‍ෂණය වූවා විය හැක.
සාමාන්‍යයෙන් යෝගාවචරවී භාවනා වඩන ඇතැම් අය සාමාන්‍යයෙන් නුදුරේ සිදුවිය හැකි නපුරුක් පිළිබඳව කල් ඇතුව ප්‍රකාශ කරන අවස්ථා අපට අත්දකින්නට ලැබී තිබේ. මේ ස්වභාවයන් සමාධි මනසකට යම් විශ්ව ශක්තීන් සම්බන්ධ වීමකි. භූත කාරක ශක්තිය රාහු කේතුට පවත්නා බැවින් සමාධි මනසකට ඔවුන්ගේ වීක්‍ෂණය එවැනි අත්භූත බව ඇති කරයි. කෙලෙස් ගහනවූ මනසකදී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සුබා සුබ මිශ්‍ර පලාඵලයක් නිකුත් කරයි.
සාමාන්‍ය පෘථග්ජන මිනිසාට රාහු කේතුගේ බලය විවිධ ලෙස විපරීත තත්ත්වයන් සේම අනතුරු ඇවිදීම් අධ්‍යාපන බිඳවැටීම් සේම විජයග්‍රහණ දිනුම් වැනි අවස්ථාවන් ද ඇති කරයි. නමුත් කෙළෙස් යම් පමණකට අඩුකර ගන්නා වීර්යයෙන් යුතුව සිත සමාධි කිරීමට දිගු කලක් වෙහෙස දරන යෝගාවචරයන්ට රාහු කේතුගේ විශ්ව ශක්තිය පාරිශුද්ධ වීමකට ලක්වන බව පෙනේ.

ජ්‍යොතිෂවේදී අගලවත්තේ
බී. හේරත්