මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – නිදහස් පරිසරය

නිදහස් පරිසරය

maharahathමේ ජීවිතය තුළදීම, නිවීම සාක්‍ෂාත් කිරීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස් පරිසරයක් අවශ්‍යමය. නිදහසට එක් අර්ථයක් දිය නොහැක. ලෞකික, ලෝකෝත්තර උවමනාවන්ට අනුව නිදහසේ
අර්ථය වෙනස් වෙයි. කෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත්  වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටින්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාන ප්‍රතිපදාවේ කියැවෙන නිදහස නම් නොවේ.  මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්මෙන ළමා තරුණ  භික්‍ෂූන් වහන්සේලාට නොව, ජීවිත අවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක, මේ සියල්ල තුළින් රැස්වන්නේ දුකම බව දැක, ගිහි බැමිවලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදී මේ ජීවිතයේදීම නිවීම සාක්‍ෂාත් කරගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවන්තයන්ටය. මෙවැනි සත්පුරුෂයන් විශාල පිරිසක් ශාසනය තුළ සිටින බව සත්‍යයකි. ඒ මඟ යන්නට ඔබ රුචි නම් ඔබට ද මඟ විවෘතය.

 


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මඟ කියාදී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිතිය යුතුය. ‘මා පැවිදි වූයේ අනුනට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමිනමකගේ මීළඟ උරුමක්කාරයා වීමට හෝ දිව්‍ය, බ්‍රහ්ම සංඥා වැඩීමට නොව, මේ ආත්මභාවය තුළදීම නිවන් මඟ සම්පූර්ණ කරගැනීමට බව සිතීමට ඔබට ශක්තිය තිබිය යුතුය. ලොව්තුරා බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ  ධර්මයට අනුව නිදහස යනු මීට විරුද්ධව සිතීමයි. බුදු පුතකු ලෙස පළමුවෙන්ම, ඔබගේ නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, නායක ස්වාමීන් වහන්සේ ළඟවත්, පිරිත්  පොතේ හෝ ත්‍රිපිටකයේ නොව තමා තුළම බව සිතිය යුතුය.
ඉහත කිසිවක් තුළ නිවීම නොමැත. දැනුම, ආදර්ශ, මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක් නොමැත. ඔබ ධර්මය ඉගෙනීමට පොතපතට යොමු වුවහොත් ඊලඟට සිදුවන්නේ දැනුමේ පණ්ඩිතභාවය වැඩිවී ධර්ම දේශනා, ධර්ම සාකච්ජා පැවැත්වීමට යාමය. එසේ නැතිනම් මිහිරි ස්වරයෙන් බුදු මැදුරට, බෝ මළුවට කොටුවී පූජාවන් පැවැත්වීමටය. ගිහි දායකයන් මේවාට ඉතා ප්‍රියයි.
භික්‍ෂූන් වහන්සේටද ලැබෙන ලකුණු, ජනප්‍රිය භාවය, සැලකිලි  ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස් ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතුවේ. අවසානයේදී සියළු දේ අතහැර  පැවිදි වූ හාමුදුරුවෝ දායක පින්වතුන් සතුටු කරන රූකඩයකි. මෙහිදී සියල්ල අත හැරීමට ඔබ දක්‍ෂ විය යුතුය. හැබැයි ඔබට වඩා  දක්‍ෂ, මාර්ගය වැඩූ, කළ්‍යාණ මිත්‍රයෙක් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ  ශක්තිමත් තැනකට එන තුරාවට ඔබ එය අතහරින්න එපා. නිරතුරුවම  ඔබ ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සැරියුත්  මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව, ඔබට අවවාද දෙන බව සිතන්න. දකින්න. මේ ගමනේදී ඔබට මෙයට වඩා ආරක්‍ෂාවක් අවශ්‍ය නැහැ. ඔබට හැමෝම කියාවී රැස් කරන්න කියාලා.
මොනවාද?
දැනුම, ගාථා, පිරිත්, සූත්‍ර, අභිධර්ම, බණ…. මේ සියල්ල ඔබ අත හරින්න. ඔබ සැහැල්ලු වන්න. සෑම බරකින්ම නිදහස්වන්න  උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්. මේ මෙහෙයුමට ඔබට අවශ්‍යවන්නේ  තුන් සිවුරත්, පාත්‍රයත්, හුදෙකලා වන කුටියත් පමණයි. ඔබ සීලයෙන්,  සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇතැයි ඔබට විශ්වාස නම්, ඔබගේ  සීලය ගැන ඔබට කුකුසක් නොමැති නම් වනයේ හුදෙකලා කුටියක්  තෝරාගැනීමට ඔබ සුදුස්සෙක්. ඔබගේ සීලය ගැන ඔබට විශ්වාසයක්  නොමැති නම්, වනයේ හුදෙකලා වීමට ඉක්මන් නොවිය යුතුය.
ඔබ ශක්තිමත් නොවීම මාරයාට ගොදුරකි. එවැන්නකු වනයේදී ගල්  කුටියේදී අමනුෂ්‍යයන් විසින් වහලකු, රෝගියෙකු, මානසික ලෙඩෙකු කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මඟ වැඩූ කළ්‍යාණ මිත්‍රයකුට කෙටි  කමටහන් කිහිපයකින් ඔබව ශක්තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී සීලය යනු ඔබ සාමණේරද, උපසම්පදාද, මොන නායක ස්වාමීන්  වහන්සේගේ ගෝලයකුද යන්න නොව, ඔබ නිවැරදි බවට ඔබ තුළ  ඇති විශ්වාසය පමණි. ලොව්තුරා ධර්මය කෙරෙහිද, ඔබ කෙරෙහිද  ඔබ විශ්වාසය තබන්න. අවශ්‍යම වේලාවට කළ්‍යාණ මිත්‍රයකුගෙන්,  ගුරුවරයකුගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න.
තමාගේ ආරක්‍ෂාවට අවශ්‍යම මොහොතක දී පමණක් භාවිතයට තෙරුවන් වඳින ගාථා තුනත්, කරණීය මෙත්ත සූත්‍රයත්, කඳ පිරිතත්  ඔබ අර්ථ වශයෙන් දැනසිටියොත්, එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මඟ  වැඩීම පහසු කරගත හැකිය. අන් සියල්ල අතහැරීමට දක්‍ෂ වූවේ නම්  පමණක් ඔබ නිවන් මෙහෙයුමට සූදානම්ය.
හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කණ්ණාඩියක්, උණු වතුර බෝතලයක්, සීතලට පෙරවන පෙරෝනයක්…. මේ වගේ
දෙයක් තිබුණ හොත් තවම ඔබ සූදානම් නොමැති බවයි පෙනෙන්නේ.  මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ ‘මගේ කයේ සැප’ පිළිබඳ  චේතනාවයි. සියල්ල අත හරින්න. එතෙක් ඔබ සූදානම් නැත. මුහුණ  බලන කණ්ණාඩිය අතහැරීමට නොහැකි කෙනෙකුට, කය අත හරින්න යැයි කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත  බුදු සමිඳුන්ව සිතෙන් මවාගන්න. ඔබේ හදවතට වඩම්වා ගන්න.  නිරතුරුවම ඔබ උන්වහන්සේගේ සෙවණෙහි සිටින වග බව දකින්න.  ඔබ හිමිදිරියේ පිණ්ඩපාතය වඩින විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩින බව දකින්න. සැරියුත්, මුගලන්, ආනන්ද මහෝත්තමයන් වහන්සේලා  සිතින් මවාගෙන ඒ උතුමන් සමඟ සිතින් ජීවත්වන්න. උන්වහන්සේලා සමඟ හදවතින් සාකච්ජාවේ යෙදෙන්න. උන්වහන්සේලාගේ ඇවැතුම්
පැවතුම් ඔබේ ජීවිතයට එකතු කරගන්න. උන්වහන්සේලා නිවන් මඟ  අවබෝධ කරගැනීම පිණිස ගත් වෙර වීරිය මනසින් දකින්න. චක්ඛුපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවාගන්න.
ඉහත උපක්‍රම භාවිතා කර ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු පුහුණු  කරන්න. මාර බැමි එකිනෙක කඩා දමමින්ද, අත්හල යුතු දේවල්  අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකය ඉදිරියේ රහතන්  වහන්සේ කෙනෙක් ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ඔබ ලෝකය ඉදිරියේ එසේ හැසිරෙන්න ගියහොත්  නිවන් මඟ ගබ්සා වෙනවාමය. එවිට ඔබට නිවීම කරා නොව, මානසික රෝහලකට යා හැකිය. හොඳින් මතක තබාගන්න, ඔබ දක්‍ෂ නම්, භාවනාව නිවන් මඟ කරාද, අදක්‍ෂ නම් භාවනාව ඔබව මානසික රෝගියකු  බවටද පත්කරනු ඇත. මෙවැනි අසරණ උද්යෝගිමත් පින්වත් චරිත අනන්තවත් අපට හමුවී ඇත. අර්ථවත්ව මඟ වැඩූ ගුරුවරයෙකුගේ  මාර්ගෝපදේශන නොලැබීම මෙම විනාශයට හේතුවේ. තමා තුළ  ඇති මාන්නය ද, මාර්ග ඵල උන්මාදය ද, ඉලක්කය කරා යෑමට ඇති හදිස්සියද, ගිහි පින්වතුන්ගෙන් ලැබෙන වැඩි ප්‍රතිචාරද ඔබට මර උගුලක් වනවා ඇත.
පින් පව්, කුසල් අකුසල්, රුචි අරුචි ලෝක ආදිය ගැන ඇති කැමැත්ත අත හරින්න. මේවායේ අනිත්‍ය බව දකින්න. ඔබ  නිවන් මෙහෙයුමට සූදානම් වන්න. මේ වන විට ඔබගේ කුටියේ තිබිය යුත්තේ තුන් සිවුරත්, පාත්‍රයත් කය පිරිසිදු කිරීමට අවශ්‍ය අවම දෙයක් පමණකි. ඔබ නැවත කුටිය දෙස බලන්න. එහි පැරසිටමෝල් පෙත්තක් තිබුණද එයත් ඔබ අයින් කළ යුතුය. ඔබ එය  තබාගන්නේ කය සුවපත් කිරීම සඳහාය. දැන් ඔබ සූදානම් වන්නේ කය අත හැරීමේ මෙහෙයුමටය. වේදනාව සමනය කිරීමට උත්සාහ ගන්න එපා. වේදනාවේ අනිත්‍ය බව, එහි ස්වභාවය, වේදනාව තමන්ට අයිති දෙයක් නොවන බව දකින්න උත්සාහ ගන්න. ඔබේ ශරීරයේ යම් වේදනාවක් දැනේ නම් හිමිදිරියට ස්වමුත්‍රා උගුරු දෙකක් වළඳන්න. මුත්‍රාවල මුල් කොටසද, අග කොටසද අතහැර මැද කොටස පාවිච්චිය සඳහා ගන්න. උගුරු දෙකකට වඩා නොගන්න. මන්ද ශරීරයේ ඇසිඞ් ගතිය වැඩිවී දාහය වැඩි වන හෙයිනි. මෙම ඖෂධය ඔබේ කායික වේදනා අවම කරාවි. මෙම ස්වමුත්‍රා උගුරු දෙක ඊයේ රාත්‍රියේ ඔබ වැළඳූ පැන් බව මෙනෙහි කරන්න. මාරයාට හීන් නූලෙන් පහර දෙන්න. ඔබ ස්වභාව ධර්මයේම කොටසක් වන්න. ස්වභාව ධර්මයත්,  ඔබත් දෙකක් නොව, එකක් බවට පරිවර්තනය කර ගන්න දක්‍ෂ වන්න.  ඔබ ඉදිරියේ තිබෙන රූස්ස ගසත්, ඔබේ කයත් සංසන්දනය කර බලන්න. දෙකම ධාතූන්ගේ විවිධත්වය පමණක් බව දකින්න.
ඔබ නැවතත් හිතන්න, ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්‍ෂුවක්  පමණයි. ඔබ හැකිතාක් විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා  භාවනා කළ යුතුයි, රාත්‍රි නිදිවරා භාවනා කළ යුතුයි යන සිතිවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. මා  ප්‍රාර්ථනා කරන්නේ, වීර්ය වඩන්නේ මාගේ අවසන් හුස්ම මේ කයෙන්  පිටවන මොහොතේ කිසිම ඇලීමක්, බැඳීමක්, ගැටීමක් නැතිව පිටකිරීමට පමණක් බව සිහිකරන්න. මොන හේතුවක් නිසාවත් සෝවාන්,  සකෘදාගාමී, අනාගාමී, අරිහත් මාර්ග ඵල ගැන නොසිතන්න. ඒවා කෙලෙස් ධර්මයන් බව සිතන්න. මාර්ග ඵලවලට ඇති ආශාව අත හරින්න. ඔබ මාර්ග ඵල තණ්හාවෙන් අනාගාමී වීමට ගියහොත් ඔබේ  වටිනා ජීවිතය ‘අනාගන්නා’ බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමත නම් නිදාගන්න. සරලව, පහසුව, නිදහස්ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොහඟවන්න. ඉන්ද්‍රියන් හයට  ඵස්ස වන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකිමින්, සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිටින්න.

ඔබ නිරතුරුවම සිතන්න, ඔබ මේ සටන් කරන්නේ මාරයා සමඟ බව. ඔබට අවශ්‍ය සෑම වේලාවකම මාරයාව රවට්ටන්න. බිය ගන්වන්න. තැති ගන්වන්න. ඔබට මුලින් කීවනේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත්වන්නටය කියලා. ඒ මාරයාව රැවටීම පිණිස කරන දේවල්. දැන් ඔබ  මාරයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිණිවීම මනසින් දකින්න. එම ධාතූන් වහන්සේලාගෙන් ගොඩනැගූ ස්ථූපයන් දකින්න. ඒවා ද විනාශ වන බව මනසින් දකින්න.  දැන් නැවතත් ඔබ මාරයාව රවට්ටන්න. රුවන්වැලි මහා සෑය, කිරි වෙහෙර මහා සෑය, ජයසිරිමා බෝ සමිඳුන්, දන්ත ධාතූන්  වහන්සේ සිතින් මවාගෙන සාධුකාර දෙන්න. දැන් නැවත මාරයාව තැතිගන්වන්න. ඉහත වන්දනීය පූජනීය වස්තූන්ද කාලගුණිත, දේශගුණික, යුදමය හේතූන් නිසා (මේ ශුද්ධ වස්තූන්ද) විනාශ වී  යනවා දකින්න. මේ සියල්ලේම අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍යය මාරයා මත ටිකෙන් ටික පටවන්න. ලෝක ධාතුවේ හැමදෙයකම අනිත්‍යය ඔබ මනසින් දැක මාරයාව  කම්පා කරවන්න. තැතිගන්වන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක සිට ඔබව මුලාකරමින්ද,  සතර අපායට, මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද, ඔබ කෙරෙහි ආධිපත්‍යය පැතිරූ මාරයාට ටික ටික රිදවන්න.

බොක්සිං තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් සෙමින් පහරදෙමින්ද, ඔහුගෙන් උපක්‍රමශීලීව පහර වළකවමින් ප්‍රතිමල්ලවයාව හෙම්බත්  කොට අවසාන මරු පහර කිහිපයකින් ඔහුව බිම දමන්නා සේ, ඔබද මාරයාව උපක්‍රමශීලීව රවට්ටන්න. ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචර වන  සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මග හරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් නොවන්න. මන්දගාමීද නොවන්න. ඔබේ ස්වභාවය තුළම ඔබ කටයුතු කරන්න.  ‘දැන් මොන මාර්ග ඵලයකද ඉන්නේ, තව කොච්චර කල් යයිද?, මට පුළුවන් වෙයිද?…… මේ මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක් දුටු සැනින්  එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක් ඔබ තුළ ඇතිවන්නේ නම් එම රූපය විනිවිද දකින්නට උත්සහා ගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්මන් වේවි. අදාළ රූපය  සුරූපිී කාන්තා රුවක් කියා සිතන්න. ඔබ ඇය මව් කුසේ සිටිනවා දකින්න. ඉස්ගෙඩියෙක් ලෙසින් පටන්ගෙන, නව මාසයක් බැලුම් බෝලයක් වැනි මව් කුසේ විඳි අනන්ත වේදනා, මර ලතෝනි දීගෙන ලෝකයට බිහිවන හැටි, මළ මුත්‍රා ගොඬේ දඟලන ළදරු වයස……

ළමා, තරුණ, මධ්‍යම, මහළු වශයෙන් එම රූපය දකින්න. ඔබ දුටු  ලස්සන රූපය ඇටසැකිල්ලක් කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල්, නහර, මස් එල්ලාගෙන සිටින ස්වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත් කොට සම්, මස්, නහර විනිවිද ගොස්, සම නැමැති උරයට පුරවා ඇති ජරා ගොඩ දකින්න.  ලස්සන තිබුනේ සුරුපී ඇය තුළ හෝ ඔහු තුළ නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍යවන සිත තුළ බව සිහි නුවණින් දකින්න. පංච උපාදානස්කන්ධය, සප්ත බොජ්ජංග, පටිච්ච සමුප්පාදය, සතර  සතිපට්ඨානය ධර්මතාවයන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව, රූපයේ අනිත්‍ය බව දකිමින්, ප්‍රඥාවෙන් තීවුර වනවිට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත  ධර්මතාවයන් බව සිතන්න. ඔබ තවම සිටින්නේ පුහුණු මට්ටමකය. තවම තරගය පටන් ගත්තේ  නැත. තවම ඔබ තරගයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්තිමත්ව උණුසුම් වන තරමට තරගයට ජවය ලැබේ. මෙය මුළු  ලෝක ධාතුව තුළම තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරගයකි. තරගයෙන් ඔබ දිනුවොත් ඔබ  ලෝකයෙන් එතෙරට යන කෙනෙක්ය. ඔබ මේ යෙදී සිටින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා,  අරිහත් උතුමන් උත්තමාවියන් තරග කොට ජයගත් තරගයකටය. මේ තරගයෙන් රාහුල, සෝපාක, නිග්‍රෝධ වැනි දරුවන්ද ජයගෙන ඇත. පටාචාරා, ඉසිදාසි වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක  නම් ජයග්‍රහණය ස්ථිරය. ඔබ සරල වන්න. සැහැල්ලු වන්න. නිදහස්ව සිටින්න. අවශ්‍ය  වේලාවේදී පැන් පහසු වන්න. පොරවන සිව්ර දහඩිය ගඳ නම්  සෝදා ගන්න. කුටිය මිදුල පිරිසිදුව තබාගන්න. අනිත්‍ය දකිනවා කියා  අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම  ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනිත්‍යයකි. එය මාර  බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්ථ වන්න. අසුභය දැකීමට  නම් සාපේක්‍ෂව ලස්සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්සනට  නොඇලීමට ලස්සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්තිමත් විය යුතුය.  මේ ලෝකයේ සියලුම ලස්සන රූප ඔබේ කමටහන් විය යුතුය. හින්දි  සිනමාවේ සුරුපීම නිළියත් වැඳිරියක්, ඇටසැකිල්ලක් සේ දැකීමට ඔබට හැකිවිය යුතුය. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඇය සුරුපී වූ නිසාය. ලස්සන නොමැති ලොවක ඔබට අසුභය වැඩිය නොහැක.

අවලස්සන බවට යමක් පත්වන්නේ ලස්සන තිබුණහොත්ය. මන්ද ලස්සන අනිත්‍ය වී අවලස්සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ  ස්වභාවයන්ය. ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවී. මොකද දැන් ඔබේ හදවත හැබෑ බුදු කුටියක් නිසා. උන්වහන්සේ ඔබට කියා දෙනු  ඇත. ඊළඟට ගත යුතු මඟ සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්දන්ත හස්ති රාජයෙකු සේ වීර්යයෙන් නැගී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් වැටහෙනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩ සිටින බව. ඔබට කමටහන් දෙන බව ඔබට වැටහේවි. මෙහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහ ප්‍රඥාව යනු දෙකක් නොව එකක් බව ඔබට වැටහේවී. නිවන් මඟ වඩන්න! බුදු සමිඳුන් දකින්න!
මේ විශ්වාසය තුළ ජයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවෘත කරගන්න. ඔබ දොරටුව විවෘත කර ගතහොත් ලෝකය තුළ ඔබ නිවෙනු ඇත. එවිට දෑස් පියාගත් සැනින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදු සමිඳුන්වත් අට්ඨික සංඥාවෙන් දැකීමට සිදුවනු ඇත. එයට ඔබ ශක්තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මග පෙන්වීම අවශ්‍යය. එතෙක් ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්‍ෂකයා  වශයෙන් වඩම්වා ගන්න දක්‍ෂ වන්න. නිසි වේලාව පැමිණි විට ඔබගේ ශාස්තෘන්වහන්සේවද අත හරින්න ඔබට අනිවාර්යයෙන්ම සිදුවේවි. මන්ද උන්වහන්සේ තුළද සත්වයෙක් පුද්ගලයෙක් නොවන බව ඔබට අවබෝධ වන නිසාය.

 

ඉදිරිපත් කිරීම ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ ලිපි මාලාවක් ඇසුරිනි