ඇඟේ ඇති වැඩි තෙල් අඩු කරන අඩු කරන

මිනිස් සිරුරේ පැවැත්මටත් රෝගී වීමටත්, සැපවත් වීමටත් බලපාන ප්‍රධාන කරුණු තුන වන්නේ වාතය, පිත සහ සෙමය. ඊට අමතරව බලපාන3ajeb3 දෙයකි ‘තෙල’ හෙවත් මේදය. ශරීරයේ තෙල් ගතිය යම්කිසි ප්‍රමාණයකට තිබිය යුතුය. එසේ නොවන කල සම වියලි බවට පත්ව කාන්තිය අඩු වන අතරම ඉන්‍ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වයට හා චලනයට අපහසුතාවයක් ඇති වෙයි. ශරීරයේ උනන්දුව ඇති කරයි. යමකුගේ දැඟලිලි ගති ඇති විට ගමේ ගොඬේ භාෂාවෙන් කියන්නේ “මේකාට තෙලේ” යනුවෙනි. තෙල් ගතිය වැඩි වූ විට යමෙකුගේ දැඟලිලි ගතිය ඇති වන්නේ අධිකව ඇති තෙල් ගතිය අඩු කිරීමටය.

 


මා බාල කාලයේ මගේ කිරි අත්තා කෙනෙක් කීවා “අපේ අම්මා මගේ ඇඟේ පොල් ගෙඩි අසූවක කිරි ගාලා තියෙනවා” කියලා. ඔව්. ඒ ඇත්ත. ඉතා හොඳින් වේලිච්ච පොල් හිරමණයෙන් ගාලා, වතුර නොදා කිරි මිරිකලා ඒ කිරි, වයස අවුරුදු 10 පමණ ඉක්ම වූ දරුවන්ගේ මුළු ශරීරයේම ගාලා හොඳින් තෙරපලා පැය 2 ක් පමණ ගිය පසු වෙනිවැල් හෝ කහ අල තැම්බූ ජලයෙන් නෑව්වා. ඒ අන්දමට සතියකට වරක් දෙවරක් කෙරිණි. ඒ කිරිඅත්තාගේ අතපය හරිම ශක්තිමත්ය. පුදුම ධාරණ ශක්තියක් තිබිණි. එයින් අදහස් වන්නේ පොල්වල, පොල් තෙල් වල මහඟු ගුණයක් ඇති බවය. අද මෙන් එදා හෘදයේ නාලවල තෙල් බැඳීම හෙවත් අධි මේදතාවය (කොලෙස්ටරෝල්) ඇති නොවිණි. ඊට හේතුව වූයේ එදා තම ගෙවත්තෙන් හෝ වනයෙන් කිසිදු රසායනික පොහොරක් නොයෙදූ එළවළු, පලා වර්ග, පලතුරු ආදිය ගෙන අනුභව කිරීමය. එසේම පාරම්පරික සහල් වර්ගත්, තමා විසින්ම සකසා ගත් පොල් තෙල් මීතෙල් ආදිය ආහාර පිසීමට යොදා ගැනීමත්ය. ඒ අතරම කය වෙහෙසා වැඩ කිරීමය. පාවහන් නැතිව පොළව පාගා ගමන් යෑම හා වැඩ කිරීමය.
එදා අම්මා සමඟ මා කැලෑවලට ගොස් ඇත. වැවට ගොස් ඇත. එසේ ගිය විට අම්මා මල්ල පුරවාගෙන ආවේ ලී කොළ, කරකොළ, තෙලටිය දලු, බටුකරවිල, තුඹ කරවිල, මඬු දලු, ඕලු දඬු, නෙලුම් නෙලුම් දඬු, බටු, නෙලුම් අල, සේරල, ඕලු අල, කෙකටිය අල සහ මල්, තුන්හිරියා පලා, දියහබරල කොළ, කංකුන් (පලාකොළ) මානෙල් අල, මානෙල් ගෙඩි, මානෙල් නැටි, පිළිහුඩු පලා, ලෝලු දලු ආදියයි. අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට තෙල් සහ සෙසු ජීව පදාර්ථ ඒවායින් ලැබුණ අතර වැඩිපුර ඇති දේ මළ, මුත්‍ර, සෙම්, සොටු ආදිය මගින් පිට කෙරිණි. වැව් ජලය නෑම ද ඉතා වටිනා ඖෂධයකි. ඒ නිසා එදා සමාජයේ අද මෙන් කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ෂුගර්, ආතරයිටිස්, හාට් ට්‍රබල් යනුවෙන් උජාරුවට ඉංග්‍රීසි වචනවලින් හඳුන්වන කාලකන්නි, බහුභූත ලෙඩ තිබුණේ නැත.
අද සමාජයේ ආහාර පාන දෙස බැලුවොත් භෝජන ශාලාවක බැලුවොත් ඇත්තේ වඬේ, පැටිස්, එළවළු රොටි, තෝසේ, පැණි වළලු, කට්ලට්ස්, නූඞ්ල්ස්, සෝයා වැනි කෑමය. බෝතල් කළ පැණි බීමය. මේ බොහෝ දේවල් වලින් වා, පිත්, සෙම් දූෂ්‍ය කරමින්, විශේෂයෙන් අධි වේදතාවය ඇති කිරීමය. වෙළෙඳපොළට ගියොත් ඇත්තේ බීට්, කැරට්, ගෝවා, මුගුණුවැන්න, වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, රාබු, කරවිල වැනි සීමිත එළවළු වර්ග කීපයකි. මේ කිසිදු වර්ගයක් කෘත්‍රිම පොහොර නොයොදා හෝ කෘමි නාශක භාවිතා නොකර හෝ වගා කරන ලද ඒවා නොවේ. ඒ සැම දෙයක්ම විෂ සහිතය. ඒ නිසා එළවළු වශයෙන් ගන්නා එවැනි කොළ වර්ග සහ ගෙඩි කරල් වර්ග, පිසීමට පෙර ලුනු මිශ්‍ර උණු වතුරෙන් සෝදාගත යුතුය.
මගේ මෙම ලිපියේ මාතෘකාව වන “අධි මේදතාවය” දුරු කිරීම සඳහා ඇල් හාලේ බත් මුරුංගා, මෑ කොළ එළබටු, මොනරකුඩුම්බිය, ගැටපොලොස්, කතුරුමුරුංගා, කොහිල අල සහ දලු වැනි දේ ආහාරයට ගැනීමත් කොල්ලු ඇට තම්බා කෑමත්, මුංඇට තම්බා පොඩිකර ශරීරයේ උලා නෑමත්, එසේම කොහොඹ කොළ කොටා නෑමට පෙර ශරීරයේ ඉලීමත් රාත්‍රි නින්දට පෙර වියලි නෙල්ලි තැම්බූ වතුර නිවුනාට පසු මී පැණි දමා බීමත්, ගුගුල් හා තිරැස්සවාලු මිශ්‍ර බෙහෙත් වර්ග පානය කිරීමත්, මසකට වරක් හෝ “තිරැස්සවාලු චූර්ණය” නමැති පාරම්පරික වෛද්‍යවරුන් ළඟ ඇති විරේක චූර්ණයෙන් බඩ විරේක කිරීමත් තෙල් මිශ්‍ර (තෙලෙන් බදින ලද හෝ තෙම්පරාදු කරන ලද) ආහාර භාවිතා නොකිරීමත් ශරීරයේ ඇති අමතර තෙල් ගතියත්, හෘද නාල අවරෝධනය කරන තෙල් ගතියත් ඉවත් කිරීමට සුදුසුය. ප්‍රාණජීව තෙල හිස් මුදුනේ සහ උරපතු යට පිටේ ආලේප කර විනාඩි කීපයක් අතින් තදින් අතුල්ලා උදේ ආහාරයට පෙර නාසයට උරා සෙම කාරා දැමීමත් ඒ සමඟම අරළු, උක් හකුරු සහ ඉඟුරු කුඩු නිසි පමණ ගෙන මී පැණියෙන් අඹරා වරකට නෙල්ලි ගෙඩියක් පමණ උදේ සවස මාසයක් පමණ ගිලීමෙනුත් හෘද නාලවල ඇති තෙල් ඉවත් කිරීමෙන් කොලෙස්ටරෝල් හෙවත් අධි මේදතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කර සුවය ලැබිය හැක.

ආයුර්වේද විශාරද පණ්ඩිත
රා.මු.ක. බණ්ඩාර
වේගොල්ල, මාස්පොත.
0723920873.