මවගේ වැරදි නිසා දරුවන්ට හැදෙන රත ගාය

රතගාය රෝගය බාලයන්ට හෙවත් කුඩා දරුවන්ට සෑදෙන රෝගයකි. ආයුර්වේදයට අනුව බාල කාලය කොටස් තුනකින් දක්වා ඇත. එනම් ප්‍රථම බාල කාලය ක්‍ෂීරප කාලය ලෙසද, දෙවන කාලය ක්‍ෂීරාන්නාද කාලය හා තෙවන කාලය අන්නාද කාලය ලෙස ද සඳහන් කරයි.

ක්‍ෂීරප කාලය යනු මවු කිරෙන් පමණක් වැඩෙන කාලය යනුවෙන්ද, ක්‍ෂීරාන්නාද කාලය හෙවත් කිරි සහ බත් ආහාරයට ගෙන වැඩෙන කාලය වේ. අන්නාද කාලය යනු ඝන ආහාර වලින් පෝෂණය වන කාලය යනුවෙන්ද මුළු ළමා කාලය කොටස් තුනකින් බෙදා දක්වා ඇත.
මෙම කොටස් තුනෙන් ප්‍රථම බාල කාලය වන ක්‍ෂීරප කාලය හෙවත් කිරෙන් වැඩෙන කාලයේදී ඇතිවිය හැකි විශේෂ රෝගයකි රතගාය. කිරෙන් පමණක් වැඩෙන කාලය උපතේ සිට අවුරුද්ද දක්වා කාලය වේ. මෙම කාලය තුළ දරුවන්ගේ එකම හිත ආහාරය මව් කිරිය. එම නිසා මෙම කාලය තුළදී කිරි අපිරිසිදු වීමෙන් ඇතිවන රෝගද විවිධ ආසාදනයන් ද අවුරුද්දට ආසන්න කාලය තුළ ඇතිවිය හැක. කිරි දෙන මවක් විසින් කිරි දීමේදී පිළිපැදිය යුතු කරුණු නොපිළිපැදීම මෙම රතගාය රෝගයට හේතුවන බව ආයුර්වේදයට අනුව දැක්විය හැකිය.
රතගාය රෝගය අලුත උපන් දරුවන් කෙරෙහි මෙන්ම වැඩුණු බාලයන් කෙරෙහිද ඇතිවිය හැකි රෝග අවස්ථාවකි. රත යනු, රක්තයයි. ගාය යනු, වේදනාව, කැක්කුම, ඉදිමුම, නොරිස්සන සුළු ගතිය මෙහි අර්ථයයි. ඒ අනුව බලන කල රතගාය රක්තය හා සම්බන්ධ රෝගයකි. සම සම්බන්ධ කරගෙන දැවිල්ල, ඉදිමුම, වේදනාව, උණ, සම රතුවීම යන ලක්‍ෂණ සහිතව ඇතිවන රෝගය රතගාය නම් වේ.
දරුවා කුස තුළ සිටින විට මව විසින් ගන්නා ලද ආහාර පාන වල වැරදි දේ නිසාද මවගේ හැසිරීම් තත්ත්ව නිසාද මෙම රෝගය ඇතිවිය හැක. එසේම මව විසින් අධික රළු, උෂ්ණ සහිත, දැවිලි, සීත, අම්ල සහිත ආහාර වැඩිපුර සේවනය කිරීම, අධික දුෂ්කර ජීවිත ගත කිරීම, අධික වෙහෙස, පහර වැදීම්, අධික ව්‍යායාමය, මානසික කම්පන, අහිතකර ඖෂධ වර්ග නිතර භාවිතය, නිතර දුර ගමන් යාම, හිතකර ඖෂධ නොගැනීම යන වැරදි දෑ නිසාද ලේ දූෂණය වී රත රෝග ඇතිවේ.
එසේම ක්‍ෂීර දෝෂ හෙවත් මව් කිරි වල ඇති වන විවිධ ගැටලු මෙම රෝගය සඳහා විශේෂයෙන් බලපාන කරුණකි.
දරුගැබ තුළදී දරුවාට මවගේ ඉහතින් දැක්වූ චර්යාවන්ද, ආහාර, පැවතුම් තත්ත්වයන් ද බලපායි. එසේම මව දරුවාට කිරි දෙන කාලයේදී මව විසින් අධික ලෙස රක්ත වර්ධන ආහාර ගැනීම, කිරි වර්ධන ආහාර ගැනීම, උෂ්ණ, රළු, සැර ඇඹුල් ආහාරයන් ගැනීම නිසාද කිරි අපිරිසිදු වී එම කිරි පානයෙන් දරුවාට රක්ත රෝග ඇතිවේ. සම ප්‍රධාන කරගෙන ඇතිවන මෙම රෝගයේදී එක් එක් නම් වලින් දේශීය වෙදකමේ මෙම රතගාය රෝගය හඳුන්වා ඇත. එනම් ලේ රත, දුවන පනින රත, බඬේ රත, ලේ රත, දුවන රත, පණු රත, කසන රත, මාන්දම් රත ලෙසය.
මවගේ ශරීරයේ රක්තය අධික වීම දරුවාට ද රක්ත වර්ධක ජනිත රෝග අවස්ථා ඇති කරයි. මධුමේහයෙන් පීඩිත මව්වරුන්ගේ දරුවන් බරින් වැඩී මහත් වනුයේ මේ හේතුව නිසාය. මව අධික ලෙස රුධිරය වඩන ආහාර ගැනීමෙන් දරුවාගේ රක්තය වැඩීමක් සිදුවේ.
රතගාය රෝගයෙහි හේතු
* මව ගර්භනී පිළිවෙත් නොපිළිපැදීම
* සහජ හේතු
* මවගේ හේතු
* දරුවාට දක්වන නොසැලකිල්ල
* රතගාය රෝගයේ බාහිරින් පෙනෙන ලක්‍ෂණ හා අභ්‍යන්තර ලක්‍ෂණ ලෙස දෙවැදෑරුම්ය.
බාහිරින් පෙන්නුම් කරන පොදු ලක්‍ෂණ
* මෙම රත ගෙඩි මුදුන රක්ත වර්ණයෙන් යුක්ත අල්පෙනෙති තුඩක් තරම් කුඩාය.
* තවත් සමහර විට අබ ඇට, ඔළිඳ ඇට තරම් කුඩා රත ගෙඩි වේ.
* කුෂ්ඨයකට සමානය
* සම යට රතු පැල්ලම් මතු වීම
* මේවා ඉකිලි, කිහිලි, හිස, ගෙල, ඉන, වැලමිට, උදර ප්‍රදේශවල සෑදේ.
* කම්මුල්, තට්ටම් ප්‍රදේශවල රත් පැහැ යුතු පැල්ලම් සහිත බිබිලි මතුවීම.
* ළමයා රතුවී නොසන්සුන්ව හඬයි.
අභ්‍යන්තර ලක්‍ෂණ
බාහිර සමේ ලක්‍ෂණ ප්‍රකටව පෙන්වන මෙම අවස්ථාව තේරුම් ගැනීම මදක් අපහසුය. මෙහිදී,
* මල බද්ධය
* දිවේ අපවිත්‍රභාවය
* උණ
* වැඩිපුර මුත්‍ර පිටවීම
* ප්‍රතිශ්‍යා ලක්‍ෂණ ඇතිවේ.
* රාත්‍රී කාලයේදී මද කැස්සක් ඇතිවේ.
* උදරය තද ගතියෙන් යුක්තය
රතගාය රෝගයට ප්‍රතිකාර
ප්‍රතිකාර, ප්‍රතිෂේද යනුවෙන් ප්‍රතිකාර ක්‍රමය දෙවැදෑරුම්ය. රෝග ප්‍රතිකාරය දරුවාට මෙන්ම මවටද කළ යුතුය. මව කෙරෙහි යොදන රක්ත පිරිසිදු කරන ප්‍රතිකාර කර්මයන් වඩාත් ඵලදායී වේ.
ප්‍රතිෂේද වශයෙන් දක්වා ඇත්තේ රෝගය වැලැක්වීමය. මෙය ගර්භණී කාලය තුළදීම ආරම්භ කළ යුතුය. ගැබිනිය පිළිපැදිය යුතු කරුණු මනා ලෙස පිළිපැදි මවකට මෙවැනි රක්ත අපිරිසිදු වීමක් සිදුනොවේ. එබැවින් ගැබිණි කල මව විසින් මල බද්ධය, මුත්‍ර බද්ධය (මල, මුත්‍ර පහ නොවීම) ඇති නොවන අයුරින් ආහාර පාන මෙන්ම පැවැත්ම සකසා ගත යුතුය. දරුවා නිතරම පවිත්‍රව තැබිය යුතුය. කිරි අජීර්ණ ඇති නොවන අයුරින් පෝෂණය කළ යුතුය. කිරි දෙන මවක් සෑම විටම ඇයගේ ආහාර පාන පිළිබව සැලකිලිමත් විය යුතුය.
ආයුර්වේදයට අනුව උෂ්ණ, සීත ලෙස ආහාර වර්ග නම් කෙරෙන අතරම කිරි දෙන මවක් විසින් උෂ්ණ අධික ආහාර වලින් ඈත්වීම වැදගත්ය.
අලුත උපන් දරුවන්ට මෙන්ම වැඩුණු දරුවන්ට ඇතිවන විවිධ රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ලබාදෙන වටිනා ඖෂධයක් ලෙස “රත කල්කය” හඳුන්වාදිය හැක. රතගාය මතුවීමට පෙර සිටම රත කල්කය දීම වඩාත් සුදුසුය. රතගාය නොතිබුණ ද රත කල්කය දරුවා කෙරෙහි ලබාදීමෙන් විශේෂ ප්‍රතිඵල ඇතිවේ. සුදු හඳුන් හා රත් හඳුන් අන්තර්ගත බැවින් මෙය දෙසඳුන් කල්කය ලෙසද හඳුන්වනු ලබයි. දරුවන් තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නිරෝගී දරුවන්ට ද ලබාදිය හැක. ළදරුවන්ට ඇතිවන වලිප්පුව මෙන්ම උග්‍ර රතගාය වැනි අවස්ථා වලදී විශේෂයෙන් ලබාදේ.
රතකල්කයේ සුවිශේෂී ගුණාංග
* දරුවාට කුසගින්න ඇති කරයි.
* මල බද්ධය නැති කරයි.
* ආහාර රුචිය වැඩි කරයි.
* ලේ පිරිසිදු කරයි.
රත කල්කය ළදරුවකු හට උපතින් සති දෙකකට පසුව ලබාදිය හැකි අගනා ඖෂධයකි. ළදරුවකුට දිය හැකි සාමාන්‍ය ප්‍රමාණය කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයයි. එය මව් කිරට දියකර ළදරුවාට ලබාදිය හැක. මෙම මාත්‍රාව ඇතැම් විට වෙනස් විය හැකි බැවින් සෑමවිටම වෛද්‍ය උපදෙස් මත ලබාගැනීම කළ යුතුය. රත කල්කය පරිස්සමෙන් භාවිත කළ යුතු ඖෂධයකි. බර අඩු, නොමේරූ දරුවන් කෙරෙහි මෙය එතරම් සුදුසු නොවේ. එහිදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ. විශේෂයෙන් අලුත උපන් දරුවාගේ බර පිළිබඳ විමසිලිමත් විය යුතුයි.
ප්‍රතිකාර බාහිර හා අභ්‍යන්තර ලෙස දෙවදෑරුම්ය.
බාහිර ප්‍රතිකාර
රත ගෙඩි, රත කුෂ්ඨ, රත පැල්ලම්, රත වණ, රත ඉදිමුම් සඳහා යොදයි. මේ සඳහා ආලේප වර්ග, තෙල් වර්ග, දේශීය වෙදකමේ ඇත. එසේම රත ගාය රෝගයෙන් පෙළෙන දරුවකු නෑවීම සහ සේදීම සඳහා විවිධ ඖෂධීය කොළ වර්ග තම්බා ගත් ජලය ඉතා හොඳය.
ඒ සඳහා,
* රත් මල් කැකුළු, වදමල් කැකුළු, සැවැන්දරා මුල්, ගංසූරිය කොළ, පොතු මිදෙල්ල දළු තම්බා සෝදන්න.
* කොහොඹ කොළ, අමු කහ, ගංසූරිය කොළ, පොතු තම්බා සේදීම.
* ගංසූරිය කොළ, පොතු තම්බා නෑවීම.
* බේත් අනෝදා කොළ තැම්බූ වතුරින් නෑවීම කළ හැකිය.
මෙහිදී කිසිදු සබන් වර්ගයක් නොගෑ යුතුය. උණ, අතීසාරය වැනි අවස්ථා වලදී නෑවීම සුදුසු නොවේ. නාවා පවිත්‍ර කරගත් දරුවාගේ ගෑම සඳහා තෙල් සුදුසුය. හිසට ද තෙල් දැමීම කළ යුතුය. රත ගෙඩි පවතීනම් ඒවා පුපුරා යෑම සඳහා පත්තු ආලේප කළ යුතුය.
අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස,
කෂාය, ගුලි වර්ග, අරිෂ්ට වර්ග, කල්ක යෝග්‍ය වේ. විරේක කිරීමද සුදුසුය.
කෂාය සඳහා – රත් මල් කැකුළු, ලුණුවිල, වදමල් කැකුළු, අරළු, රත් හඳුන්, වැල්මී, සුදු හඳුන්, ඉරමුසු මුල් වැනි ද්‍රව්‍ය යෙදෙන කුඩා කෂාය වර්ග යෝග්‍ය වේ. මේවා සෑම විටම වෛද්‍ය උපදෙස් පරිදි දිය යුතුය.
රත කල්කය මව් කිරි හෝ කොත්තමල්ලි තැම්බූ වතුරින්, ලුණුවිල තැම්බූ වතුරින් අවස්ථාවට අනුව වෛද්‍යවරයාගේ උපදෙස් අනුව දීම කළ යුතුය.
රක්ත දූෂණත්වය මගහරින, මල, මුත්‍ර බැහැරවන කෂාය වර්ග මේ සඳහා සුදුසුය. එසේම මවට කිරි පිරිසිදු වීම සඳහා ද කෂාය දීම සිදු කළ යුතුය. මේ සෑම ක්‍රියාවක්ම වෛද්‍යවරයකුට පෙන්වා ඔහුගේ වෛද්‍ය උපදෙස් පරිදි කිරීමට මතක තබා ගත යුතුය.
* රතගාය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණ හොත්,
* පීනස
* මොළයේ ආබාධ
* තොල් කට වණ වීම
* මුත්‍ර ආබාධ
වැනි තත්ත්ව ඇතිවිය හැක.
ආයුර්වේද වෛද්‍ය,
එච්. ඖෂධී රාජපක්‍ෂ
ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව,
තොරණහංදිය,
කැලණිය.