තරබාරුව මට්ටු කරන හැටි

2ශරීරය අනවශ්‍ය ලෙස මහත් වීම හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේදී තරබාරුව යනුවෙන් හඳුන්වනු ලබන මෙම ශරීරයේ ස්ථුලතාවට බලපාන හේතු ගණනාවක් පවතී. මේ අතරින් අප ගන්නා ආහාර ප්‍රමාණය ආහාරයේ අඩංගු වන ශක්ති ජනක ප්‍රමාණය, තමන් නිරත වන රැකියාවේ ස්වභාවය, තමන් කොතෙක් දුරට නිවැරැදි ව්‍යායාම වල නිරත වන්නේ ද යන්න මේ සාධක අතර ප්‍රධාන වේ.
මේවාට අමතරව නිතරම මත්ද්‍රව්‍ය පානය කිරීම, තරබාරුව වැඩි කරවන තවත් හේතුවක් වේ. තවත් සමහර පුද්ගලයන්ගේ විවිධ රෝගී තත්ත්වයන් නිසා ශරීරයේ ආහාර නිසි ආකාරව ජීර්ණය නොවී ශක්තිය බවට පත් නොවී ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩාල වීමෙන්ද ඉක්මණින් තරබාරු බවට පත්විය හැකිය. උදාහරණ වශයෙන් තයිරොයිඞ් ග්‍රන්ථි නිසි ආකාරයෙන් ක්‍රියා කොකරන පුද්ගලයන් ස්ථුලතාවට පත් වන්නේ ඒ නිසාය.


අප ගන්නා ආහාරවලින් ශක්තිය නිපදවීමට උපකාර වන ශක්තිජනක ආහාර කොටස්, මස් වර්ග, මාළු, කිරි, බිත්තර, බටර්, චීස්, පිටි, සීනි, තෙල් මේවා ආහාර වශයෙන් ශරීරයට ඇතුළු වීමෙන් පසු ශරීර ශක්තිය ලෙස වැය නොකළ හොත් ශරීරයේ මේදය ලෙස තැන්පත් වීමට පටන් ගනී. විශේෂයෙන්ම සම යටින් තැන්පත් වන මෙම මේද කොටස් කල් යත්ම මේද තට්ටුවක් ලෙස දිස්වන්නට පටන් ගනී. එවිට සිරුරේ සමහර කොටස් එල්ලා වැටෙන ස්වභාවයක් ගනී. විශේෂයෙන්ම බඩ, පපුව ප්‍රදේශ ඉන දෙපස ප්‍රදේශය, කලවා දෙපස ප්‍රදේශය, පිටුපස ප්‍රදේශය, මුහුණේ කම්මුල් එල්ලා හැලෙන ස්වභාවයක් පෙන්නුම් කරයි.
එම නිසා අප එදිනෙදා ගන්නා ආහාර ප්‍රමාණය අප එදිනෙදා කරන වැඩ ප්‍රමාණයට (ව්‍යායාම) සරිලන ආකාරයට සකස් විය යුතුය. ඔබ නිතරම එක තැනක අසුන්ගෙන රැකියාවක නිරත වන පුද්ගලයෙක් නම් ඔබේ ශරීරය වෙහෙසවන්නේ ඉතාමත් අඩු වශයෙනි. මෙම ආහාර මගින් ගන්නා ශක්තිජනක කොටස් ශක්තිය බවට පෙරලා ශරීරයෙන් පිටකිරීමක් සිදු වන්නේ ද ඉතාමත් අඩු වශයෙනි. එම නිසා ඔබ ගන්නා ආහාර ප්‍රමාණයත් වැය කරන ශක්ති ප්‍රමාණයත් අතර ඉතාමත් හොඳ ගැලපීමක් තිබිය යුතුය. ආහාර වේල් සකස් කිරීමේදී වැය වන ශක්ති ප්‍රමාණයට සරිලන පරිදි ශක්තිජනක ආහාර අඩංගු විය යුතුය. නැතහොත් වැය කරන ශක්ති ප්‍රමාණය අඩු නිසා ඉතිරි වන ශක්තිජනක කොටස් ශරීරය තුළ තැන්පත් වීමට පටන්ගනී. එවිට ඉක්මනින් තරබාරු බවට පත් වේ.
ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයෙක් නම්, උදා:- ගොවි මහතෙක්, කම්කරුවෙක්, ක්‍රීඩකයෙක් වැනි රැකියාවල නිරත වන පුද්ගලයන් නිතරම ක්‍රියාශීලී නිසා ශක්තිය වැය කරමින් දවස පුරාම ක්‍රියා කරන නිසා ආහාර වල ශක්තිජනක කොටස් තරමක් දුරට අඩංගු වූවාට කමක් නැත. තමන් වැය කරන ශක්තිය නැවත තම ශරීරයට උපයාගත යුතු බැවිනි. නැතහොත් ශරීරය දුර්වල වී මාංශපේශි ක්ෂයවී ගොස් ශරීරය අනවශ්‍ය ලෙස කෙට්ටු ස්වභාවයක් ගත හැකි බැවිනි. තමන් නිතරම ක්‍රියාශීලී නම් සිරුරේ මේද කොටස් දියවී යන අතර මාංශපේෂි වර්ධනය වෙයි. එම නිසා වඩාත් සුදුසු වන්නේ අඩු ශක්තිජනක ආහාර ප්‍රමාණයක් ලබාගෙන එයට සරිලන පරිදි ශරීරය ක්‍රියාත්ක කරවීමයි.
ස්ථුලතාවයෙන් නැතහොත් තරබාරු බවින් පසුවන පුද්ගලයන්ට සාමාන්‍ය පුද්ගලයන්ට වඩා බොහෝ විට සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. මේ පුද්ගලයන් ඉක්මනින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, ලිංගික බෙලහීනතාව වැනි විවිධ රෝගාබාධවලට ගොදුරු විය හැකිය. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමෙන්, අධික රුධිර පීඩනය වැඩි වීමෙන්, දියවැඩියාව උත්සන්න වීමෙන් අකාලයේ මිය යෑමට ද පුළුවන.
ශරීරයේ අනෙකුත් කොටස්වලට එම බර දරා සිටීමට නොහැකි වීමෙන් දණහිස් ඉදිමීම, වේදනාව, කොන්දේ අමාරුව වැනි වාත රෝග හෙවත් ආතරයිටීස්වලට ගොදුරු විය හැකිය. කකුලේ නහර ගැටගැසීමත් තරබාරු අය අතර සුලභව දැකිය හැකිය. තරබාරුකම වැඩි පුද්ගලයන් විවිධ ශල්‍යකර්මවලට භාජනය කිරීමේදී විවිධ සංකූලතාවයන් ඇති විය හැකි අතර විශේෂයෙන්ම ගර්භණී සමයේදී රුධිර පීඩනය වැඩිවීම සහ දරු ප්‍රසූතිය සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අපහසු වීමද සිදුවිය හැකිය.
අප ගන්නා ආහාරය අවශ්‍ය ප්‍රමාණයට වඩා ශක්තිජනක ආහාර කොටස්වලින් පිරුණු එකක් නොවිය යුතුය. මේද බහුල ආහාරයෙන් වැළකිය යුතුය. මස් මාංශ නිතරම අනුභවය සුදුසු නැත. සීනි පරිභෝජනය ද අඩු කළ යුතුය. මස් මාංශ, කිරි, බිත්තර, චීස්, බටර් තෙල් වර්ග, සීනි යෙදූ ආහාරවලින් හැකිතාක් දුරට වැළකී සිටිය යුතුය. තිරිඟු පිටිවලින් නිෂ්පාදිත පාන්, බනිස්, බිස්කට් සහ ක්‍ෂණික ආහාර ගැනීම හැකිතාක් දුරට සීමා කළ යුතුය. කෙඳි සහිත තන්තුමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කළ යුතුය. මන්ද තිරිඟු පිටිවලින් නිෂ්පාදිත ආහාර ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඉක්මනින් සීනි (ග්ලූකෝස්) බවට පරිවර්තනය වන නිසා ඉක්මනින් මහත් කර වීමට හේතු වන බැවිනි. නිතරම නිවුඩු සහල් හෝ තම්බන ලද නිවුඩු සහල් පරිභෝජනය කළ යුතුය. එවිට ආහාර ජීර්ණය පහසු වී ශරීරයේදී ග්ලූකෝස් බවට පත්වන ප්‍රමාණය අඩු කරන අතර අනවශ්‍ය කොටස් ශරීරයෙන් බැහැර කිරීමද පහසු කරවයි. අනවශ්‍ය ලෙස කිරිපිටි වර්ග පානය කිරීම තරබාරු පුද්ගලයන්ට ඉතාමත් අහිතකරයි. එයින් ශරීරය තව තවත් මහත් කරවන අතර දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි රෝගවලට තුඩුදෙන බැවිනි. එම නිසා ස්වභාවික ආහාරවලින් තමන්ට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ලබාගැනීම මිස කෘතිම ආහාරවලට යොමු වීම නුවණට හුරු නැත.
වෛද්‍ය හේමාල් පිලපිටිය,
පිලපිටිය වෙදමැදුර,
අලුත් මල්කඩුවාව,
මීගමු පාර, කුරුණෑගල.
071-8578401, 0710539889.