මහ රෑ උලමෙක් කට ඇරියොත් මොකද වෙන්නේ? දැනගන්න කියවන්න…

uජ්‍යොතිෂය, අංජනම්, ආරූඪ මායම් බිහිවෙන්ට පෙර මිනිස් සත්වයාට දුරාතීතයේ සිටම අනාවැකි තුළින් විපත් ගැන තොරතුරු පැවසුවේ සතුන් හා පක්‍ෂීන්, තුරුලතා ආදියයි. අදත් එය එසේමයි. බකමූණු පරපුරට අයත් උලමා, උලලේනා, ගම්පාළුවා යන නමින් හැඳින්වෙන පක්‍ෂියා රාත්‍රි කාලයේදී කෑගැසුවොත් මරණයක් සිදුවන බවත් ගම් හතක් පාළුවන බවත් මිනිසුන් අතර මතයක් ඇත. එය සත්‍යයි. උලමාට ඉංග්‍රීසියෙන් බෙලිඞ් ඊගල් (Blid Egal) යයි කියති. මොවුන් ඉන්දියාවේ බහුලව වෙසෙන අතර අප රටේ කඳුවල හා අඳුරු විශාල තුරු ගොමුවල සිටින නිසා මිනිසාට දක්නට නැතත් දෙහිවල සතුන් වත්තේදී පමණක් හොඳින් දැකගත හැක.


මෙම පක්‍ෂියාගේ හිස මුදුනේ බොකුටු හැන්දක ආකාරයට කුඩා පිහාටු දක්නට ඇත. කළු, දුඹුරු පිහාටු හා කළු වයිරන් බඩ යට අළු පාටට පිහිටා ඇත. ගැහැනු සතාට වඩා පිරිමි සතා කුඩාය. ගස් ගෙම්බන්, කෘමීන් මීයන් ආහාරයට ගනී. උලමාට යක්‍ෂ දිෂ්ටියක් ඇති බවත් යකාගේ අවතාරයක් බවත් ගැමි විශ්වාසයයි. කලාතුරකින් මැදියම් රාත්‍රියේ මොහු කෑගහන්නේ මැදියම් රාත්‍රියේ පාන්දර යන ජාම තුනහිදීය. මොහුගේ හඬ යක්‍ෂාවේෂය හැදුනු අයකු යටි ගිරියෙන් හූ හඬ දෙන ආකාරයටත් මහත් බිය ගෙන දෙන ලෙසින් මර හඬ දෙන අයුරින්ද වේ.
උලමා ගැන ගැමි ජනප්‍රවාදයන් මෙසේ කියවේ. එක්තරා කාන්තාවක් දියණිය හා සැමියා ගෙදර සිටුවා ඇය කැලයට ගොස් දර කඩා ගෙනවිත් මිදුලට දමා කුස්සියට ගොස් බලන විට ලිපේ මස් හැලියත් ඉදෙනවා දැක එයින් එක් කෑල්ලක් හැන්දට ගෙන ඉදිලද කියා බලන විට කුඩා අතක ඇඟිලි අසුවීමෙන් සැක හිතී කෝ දරුවා කියා ඇසූ විට ඔහේ ඇති කියා කීවද, තම සැමියා මස්වලට ගිජු නිසා දරුවා මරා ඇති යයි හිතා එම මස් කැබැල්ල ගත් හැන්ද හිස මුදුනත තබා දරුවාගේ නම වන තේනෝ තේනෝ කියා කැලයට ගොස් හදවත පැලී යක්‍ෂණියක් වී ඉපදී අදත් තේනෝ තේනෝ කියා මර හඬින් රාත්‍රියේ දරුවාට අඬගහන බව කියවේ. හිස මුදුනේ පිහාටු හැන්දක ආකාරයටම දක්නට ඇත.
තවත් කථාවක එක් නිවසක අඹු සැමි යුවළක් හිටියා. ඔවුන් දෙදෙනාට ඉතා රූමත් කුඩා බිලින්දෙක් ද හිටියා ඔහු කුළුදුල් දරුවාය. මේ කුළුදුල් දරුවා තමාගේ නොවන බවට සැකහිතී ඔහු දරුවා ගෙන පොළවේ ගසා මරා දැමුවේය. එයින් ශෝකයට පත් අඹුව පිස්සු විකාරයෙන් කැලයට ගොස් සියදිවි හානිකරගත් පසු උලමා නමින් භූතාවේෂව ඉපදී අදත් හඬතලා කෑගසන බව ගැමි ජනප්‍රවාදයේ කියවේ.
මෙම කථාවල සත්‍ය අසත්‍ය අපි නොදන්නා නමුත් උලමා හඬන්නේ යකුන්ගේ ජාම තුනටය. ඔහු හඬන විට ගහේ අත්ත බදාගෙන බමරයක් වගේ කැරැකේ. එවිට ඔහුගේ කටින් ලේ වැගිරෙන බවත් පසුදා උදේ බලන විට මේ සතා කෑගැසූ ගහ යට ලේ බිංදු වැගිරී ඇති බවද මතයක් ඇත. මේ පක්‍ෂියා මුලින් හීන් හඬින් කෑගසා ටිකෙන් ටික ශබ්දය වැඩිකර මරහඬ දෙන ආකාරයට හූ කියයි. ඒ ශබ්දය බොහෝ දුරට ඇසේ.
විශේෂයෙන්ම මේ සතාගේ කෑගැසීමෙන් පසු ස්වල්ප දිනකින් ගමේ මරණයක් හෝ මරණ කීපයක් සිදුවන බවත්, අශුභයක් ඇතිවන බවත් සත්‍යයි. මේ පක්‍ෂියා මැදියම් රෑ කෑගසන විට පිරිමින්ට එළියට යෑම අශුභ බවත්, එසේ කෑගසන හඬ ඇහෙන විට, තොපටත් එපා අපටත් එපා කියා ඉලපතක් හෝ යකඩ කැබැල්ලක් ආයුධයක් මිදුලට විසිකිරීම හා කෙල ගැසීමෙන් එම නිවසට යම් හදිසි උපද්‍රවයක් නොවන බව පැරැන්නන්ගේ මතයයි. එමෙන්ම උලමාගේ කෑගැසීමක් ඇසුනු විට පැරැන්නන් දෙවියන්ට බාරහාර වී ටික දිනකින් විශාල ගම් මඩුවක් පැවැත්වීමෙන් ගම් හතකටම ශාන්තියක් ශුභයක් වන බවද පැවසේ. මේ අනුව ගුප්ත විද්‍යාව අනුව උලමාට යක්‍ෂ ආවේෂයක් ඇති බව පැහැදිලිය. තවද මන්ත්‍ර විද්‍යාව අනුව උලමා කෑගහන විට ඔහුගේ කටහඬ හිරකර ළඟ ඇති ගහක පොත්තක් උඩට ගලවා යකඩ ඇනයක් ගසා කුඩා මුට්ටියකට දමා හිරකර ගෙදර තබාගැනීමෙන් යක්‍ෂ, ප්‍රේත, භූතයින් දිවි ඇතිතෙක් නොඑන බව සඳහන්වේ. මෙය කෙම් සහිත ගුරුකමකි. ප්‍රබල ආරක්‍ෂාවකි.

ජ්‍යෙතිෂ්‍ය විද්‍යා ජෝති රඹුක්කන ජිනදාස එදිරිසිංහ