වස විෂ හා වින දොස් නසන හෙළ වෙදකම

ලෝකයේ ආදීම මිනිස් වර්ගයා මධ්‍යම ආසියාවෙන් නික්ම ලෝකයේ විවිධ දේශවලට සංක්‍රමණය වී ඇති බව ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වෙයි. මොවුන් ශිලා යුගය, එඩෙර යුගය ආදිය පසු කර ගොවි යුගයට එළඹ ඇත. මෙම මිනිසුන් මල්වතුඔය දිගේ ලංකාවට ද සේන්දු වී ඇත. ඉන්පසු වළවේ, මහවැලි වැනි ගංගා ආශ්‍රයේ පදිංචි වී ඇත.
මිනිසා ඇතිවූදා පටන් ඔවුන්ට ආහාරපාන සහ රෝග නිවාරණ ඖෂධ වර්ග අවශ්‍ය විය. ඒ නිසා වී, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග වගා කළ අතර පරිසරයේ ඇති ගස්, වැල් ජලය හා සත්ව වර්ගයා ද ඇසුරෙන් ආහාර නිපදවාගති. මේ සඳහා පර්යේෂණ පැවැත් වීමට යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැත. ඒ නිසා යමක් සපා බැලීමෙන්, සිඹීමෙන්, අතගෑමෙන් වැනි ක්‍රම යොදාගති. සමහර විට මෙවැනි පරීක්‍ෂණ පැවැත්වීමේදී යම් යම් දේ විෂ වීමෙන් ජීවිත හානි පවා සිදුවන්නට ඇත.


අව්ව, වැස්ස, සුළඟ, ජලය ආදිය නිසා විවිධ රෝග ද ඇති විය. සිව්පා, උරග වැනි සතුන්ගෙන් හානි වස විෂ ශරීරගත වී ඇත. එයින් රෝගාබාධ ඇති විය. ඒ සඳහා ද ගස්, වැල්, ජලය, පස්, සුළඟ, හිරුරැස් ආදියේ ගුණ හඳුනාගෙන ඒ ඇසුරෙන් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයා ගති. ඒ අතරම යක්‍ෂ, ප්‍රේත, පිසාච වැනි භූත කොටස් පිළිබඳ හැඟීමක් ඇති වීමෙන් ඒ සඳහා ද ප්‍රතිකාර ක්‍රම සොයාගෙන ඇත. ඒ සඳහා ඔවුන්ගේ භාෂාවේ ඇති අක්‍ෂර, ශබ්ද තරංග හා රේඛා සටහන්වලින් නිර්මාණය කළ විවිධ හැඩතල ඇති රූපසටහන්වල බලය හඳුනාගෙන ඒ අනුසාරයෙන් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම ද සොයාගෙන ඇත.
කල් යෑමේදී හෙළ වෙදකමට ඉන්දියාවේ ආයුර්වේදයේ ආභාෂය ලැබී ඇත. ආයුර්වේදය යනු එවකට ඉන්දියාවේ පැවැති චකර වේදයේ සිව්වැනි වේදය වන අතර්වන් වේදය අනුව බිහිවූ වෛද්‍ය ක්‍රමයයි. ආයුර්වේදය, කෞමාර, ශල්‍ය, ශාලාක්‍ය, අගදතන්ත්‍ර, භූත ආදී වශයෙන් අංග අටකින් යුක්තය. යන්ත්‍ර මන්ත්‍ර ගැනෙන්නේ භූත වෛද්‍ය අංශයටයි. භූත විද්‍යාවට හා සෙසු ඖෂධ වර්ග නිපදවීම සඳහා මුලින් සඳහන් කළ පරිදි ගස්, වැල්වල කොළ, පොතු, මුල්, මල් වැනි කොටස්ද, වැව් ජලය ළිං ජලය, ගංගා ජලය, මුහුදු ජලය වැනි ජල වර්ගත්, හුඹස් මැටි, කිරිමැටි, ගෙරි පස් වැනි පස් වර්ගත්, විවිධ දිසාවලින්, විවිධ කාලවලදී හමන සුළඟත්, හිරු එළිය, සඳ එළිය හා ගිනිරැස් ආදියත්, ඉත්තෑ කූරු, කබල්ලෑ කටු, මුව සම්, උරුළෑ සට්ටම්, මොනරපිත, ඇත්දල, අලි හක්ක, මුව අං, ගෝන අං, කඟවේන අං වැනි සත්ව කොටස් වර්ගත් මිනිසාගේ සහ සත්වයන්ගේ කටහඬත් උපයෝගී කරගති.
මෙවැනි දේ ඇසුරු කරමින් යහපත් මිනිසා මිනිසාගේ මෙන්ම සත්වයන්ගේ ද පැවැත්මට හා රෝග නිවාරණයට අවශ්‍ය වන ගුලි, කල්ක, චූර්ණ කසාය වැනි ඖෂධ වර්ග, බලි තොවිල් වැනි ශාන්තිකර්ම ක්‍රමත්, අක්‍ෂර මාලාව හා රූපසටහන් මගින් යන්ත්‍ර මන්ත්‍රත් නිපදවා ගෙන ඇත. මේ අතරම තවත් පිරිසක් තම දියුණුව සඳහා කටයුතු කිරීමේ නොහැකියාවත්, අනුන් අභිබවා යෑම වෙනුවට අනුන් විනාශ කිරීමට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි පාපී සිතුවිලි නිසාත් විෂ යන්ත්‍ර මන්ත්‍ර හා විෂ බෙහෙත් වර්ග නිපදවාගෙන දියුණු වන හා බුද්ධිමතා විනාශ කිරීමට යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම විෂ බෙහෙත් වර්ගත් නිපදවීමට උත්සුක වූහ. එම ක්‍රම එළිදකිත්ම බුද්ධිමතා හා යහපත් මිනිසා එම විෂ යන්ත්‍ර මන්ත්‍ර හා විෂ බෙහෙත් වර්ග නිර්විෂ කිරීමට හා සිරුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීමට උත්සුක වූහ.
මෙසේ නිපදවන ලද ඖෂධ වර්ග අතර ඉතා වටිනා කසාය වර්ග ඇත. එම කසාය වර්ග අතර විනරාජ කසාය, නවපුල්ලි කසාය, මාසත්තා කසාය, මහාකෝල කසාය වැනි ඉතා වටිනා කසාය වර්ග ඒ ඒ වෙද පරම්පරා සතුව ඇත. මෙම කසාය වර්ග අතුරෙන් බොහෝ කසාය වර්ග ශරීරයේ පවතින තුන් දොස් නිසා ඇති වන රෝග නිවාරණය කිරීමට සමත් වූ අතර විනරාජ කසායට ඇත්තේ සුවිශේෂී බලයකි. කෘමි නාශක හා වල් නාශක වැනි රසායනික වර්ග හැරුණු විට, විවිධ ශාක කොටස්, සත්ව කොටස් සහ පාසානං වැනි ඖෂධ වර්ග සංයෝගයෙන් සාදන විෂ වර්ග සහ මන්ත්‍රවලින් ජප කර විෂ බවට පත් කරන කැවිලි පෙවිලි වර්ග, තෙල් බෙහෙත් වර්ග කැවීමෙන් යමෙකුට ඇති විය හැකි හානි හෝ රෝග නැසීමේ සුවිශේෂී බලයක් විනරාජ කසායෙහි ඇත. එවැනි අවස්ථාවක කසාය එක උගුරක් බීමත් එම විෂ නසන බලයත් ඇත. සූනියම් යන්ත්‍රයක් ජප කර වංචා සහගතව යමෙකුට පැළදුවොත් මෙම කසාය උගුරක් පානය කිරීමෙන්ම එම යන්ත්‍රය අඩංගු කර ඇති සුරය පුපුරා යයි. යන්ත්‍රයේ බලය විනාශ වෙයි.
විනරාජ කසායේ ඇති මෙම බලය මා කී වරක්ම අත් දැක ඇත්තේ මා විසින් ම නිපදවන (සාදන) ලද එම කසාය රෝගීන්ට පානය කරවීමෙන්ය. විනරාජ කසාය සඳහා හාතාවාරිය අල, බිංකොහොඹ, නෙලුම් අල, ඉදිබොඩ, දුම්මැල්ල, වැටකේ, අරළු යුෂ, පොල් පැණි, කිතුල් පැණි, උක් පැණි, පොල් තෙලිජ්ජ, පොල් අරක්කු, අබිං, පෙරුංකායම්, දෙහි ඇඹුල් සියඹලා බොර, යබර, යහුණු ආදී ඖෂධ වර්ග 50 ක් සංයෝග කර මැටි සැලියක බහා ලිපේ වළලා, සතියක් එම ලිපෙහි ගෙදර සාමාන්‍ය ඉවුම් පිහුම් කර සතියකට පසු එම සැලිය ගොඩගෙන බෝතල්වල අසුරා තබාගත යුතුය. මෙම කසාය සාමාන්‍යයෙන් අවුරුදු පහක් පමණ කල් තබාගෙන ප්‍රතිකාර සඳහා යෙදිය හැක. නමුත් ඊට ඇති ලොකුම බාධාව වන්නේ වර්තමානයේ ඇති ඖෂධ මිල ගණන්ය. 1960/70 වැනි කාලවලදී මෙම විනරාජ කසාය බෝතලයක මිල රු. 50-100 අතර වුවද අද එහි මිල රු. 4000 ක් පමණ වෙයි. එදා අබිං කළදක් රු. 10 ක් පමණ වූ අතර අද රු. 2700 කි. පොල් අරක්කු බෝතලය රු. 1600 කි. දෙහි කිලෝවක් රු. 350 කි. වතුවලට හා කුඹුරුවලට ඉසින රසායනික බෙහෙත් ජලයට විශ්‍රවී වැව්වලට ගලා යෑමෙන් වැවෙන් ලබාගත යුතු නෙලුම් අල, මානෙල් අල, දිය හබරල වැනි ඖෂධ වර්ග විෂ සහිත නිසා ඒවා ගත නොහැක. නියම පිරිසිදු පොල් පැණි, කිතුල් පැණි, පොල් තෙලිජ්ජ (මීරා) නැත.
මේ සඳහා වගකිව යුත්තන්ගේ අවධානය යොමු වී ඖෂධ මිල අඩුවන්නේ නම් සිංහල වෙදකමේ හාස්කම් මොනවට පෙන්විය හැක. එවැනි තත්ත්වයක් උදාවී අපේ වටිනා හෙළ ඔසු ප්‍රචලිත වීමෙන් මිනිස් සංහතියට යහපතක් වේවායි පතමි.
රා.මු.ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
ජානක ඖෂධාලය,
වේගොල්ල, මාස්පොත
0723920873