ගජ කේශරී යෝගය ඔබේ ජන්ම පත්‍රයේත් තිබේද?

ජ්‍යොතිෂයේ සඳහන් සුභ ග්‍රහයන්ගෙන් යෙදෙන ශුභ යෝග අතර ගජකේශරී යෝගයට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම යෝගය යෙදෙනුයේ ගුරු හා සඳු යන ග්‍රහයන් ආධාරයෙනි. එහිදී ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත වීම හෙවත් චන්ද්‍රයා වෙතින් 1, 4, 7, 10 යන ස්ථානයක වීම තුළ මෙම ප්‍රබල යෝගය උදාවේ. මෙම යෝගය ජන්ම පත්‍රයක සතර ආකාරයකට යෙදේ ඒ මෙසේය.


1. ගුරු හා චන්ද්‍ර යන ග්‍රහයන් යෝගව එකම රාශියක වීම.
2. ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් සම සප්තම වීම
3. ගුරු ග්‍රහයා සඳු කෙරෙන් හතරවැන්නේ වීම.
4. ගුරු ග්‍රහයා සඳු කෙරෙන් දසවැන්නේ වීම
ඉහත සඳහන් යෙදීම් සතර අතුරින් වඩාත්ම ප්‍රබල යෙදීම වනුයේ ගුරු හා සඳු සම සප්තම වීමයි. මෙම යෝගය තුළින් ලද හැකි උපරිම ඵල ලැබීමට නම් ඊට දායක වූ ගුරු හා සඳු භාව ආරෝහන ග්‍රහයන් විය යුතුය. පාප ග්‍රහ ද්‍රෘෂ්ඨි මෙන්ම පාප ග්‍රහ සංයෝග නොතිබිය යුතුය. භාව සන්ධිගත වී හෝ ග්‍රහ යුද්ධ ආදියෙන් පැරදී හෝ නොතිබිය යුතුය. තවද ගුරු හෝ සඳු හෝ වක්‍ර වී හෝ බාදක ග්‍රහයා වී හෝ 22 වන දෙර්කානාධිපතියා මෙන්ම 64 වන නවාංශකාධිපතියා හෝ නොවී සිටිය යුතුය. එසේම ග්‍රහයකු අස්තද නොවිය යුතුය. එපමණක් නොව ගුරු ග්‍රහයා හෝ සඳු ග්‍රහයා දුෂ්ඨ ස්ථානගත ද නොවිය යුතුය. සරලව කියතොත් ග්‍රහයන් දෙදෙනාගෙන් එක් ග්‍රහයකුවත් පීඩාවට ලක් නොවිය යුතුය. ඉහත සඳහන් කළ ලෙසට ග්‍රහයකු පීඩාවන්නට යෝගයේ බල හීන වේ. එනම් ලැබෙනා ශුභ ඵල අවම වේ. එහෙත් උච්ච, ස්වක්ෂේත්‍ර ආදී ස්ථානීය බලයෙන් ද භාව ආරෝහන බලයෙන්ද ගුරු සඳු යුක්ත වේ නම් යෝගයේ ශුභ ඵල උපරිමයෙන්ම හිමිවේ. එලෙස යෙදෙන ගජකේශරී යෝගය රාජ යෝගයකටද වඩා බලවත් වේ.
මෙම යෝගය නිර්මලව පිහිටි කල දිර්ඝායුෂ ලබන ඉතාම කරුණාවන්ත ත්‍යාගශීලී ගෞරවාන්විත ඉගෙනීමෙහි අති දක්‍ෂ ධනවත් බුද්ධිමත් පරහිතකාමී ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බිහිවේ. උක්ත යෝගය ඵල දුන් බොහෝ දෙනා අදටත් අමරණීයය.
ජන්ම පත්‍රයක ගජකේශරී යෝගය යෙදිය හැකි ආකාර සතරක් ඉහත සඳහන් වේ. ඒ එක් එක් ආකාරය වෙන වෙනම නිදර්ශන කේන්ද්‍ර සටහන් අනුසාරයෙන් මෙසේ පැහැදිලි කළ හැක.
1. ගුරු හා චන්ද්‍ර යන ග්‍රහයන් යෝගව එකම රාශියේ තැන්පත්වීම
1 රූපසටහන
මෙය ගජකේශරී යෝගය පිහිටන දුබලම ක්‍රමයයි. මෙහිදී ගුරු මෙන්ම සඳු සිටින කටක රාශිය ගුරුට මෙන්ම සඳුට සුභ රාශියකි. එනම් කටකයට ගුරු උච්ච වන අතර චන්ද්‍රයා ස්වක්ශේත්‍රය මෙම පිහිටීම සාමාන්‍ය ලෙස ඵලදෙන මට්ටමේ ගජකේශරී යෝගයකි.
2. ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් සම සප්තම රාශියේ තැන්පත් වීම
2. රූපසටහන
මෙම කේන්ද්‍ර සටහනේ ගුරු මීන රාශියේ ස්වක්ශේත්‍ර බලයෙන් සිටී. එසේම චන්ද්‍රයා කන්‍යා රාශියේ මිත්‍ර බලයෙන් සිටී. මෙම පිහිටීම ඉතා ශුභ පිහිටීමකි. මෙලෙස යෙදෙන ගජකේශරී යෝගය ප්‍රභලව ඵල දේ.
3. ගුරු ග්‍රහයා සඳු කෙරෙන් සතර වැනි රාශියේ තැන්පත් වීම
3 රූපසටහන
මෙහි සඳුගෙන් සතර වැනි රාශියේ ගුරු සිටී. එනම් මෙම කේන්ද්‍රයේ කන්‍යා ලග්නයේ මිත්‍ර බලයෙන් චන්ද්‍රයා සිටින අතර 4 වැන්නේ ගුරු ස්වක්ශේක්‍ර මූල ත්‍රිකෝණය බලයෙන් සිටී. ඒ නිසා මෙම ගජකේශරී යෝග පිහිටීම ප්‍රබලව ශුභ ඵල ලබාදේ.
4. ගුරු ග්‍රහයා සඳු කෙරෙන් දස වැනි රාශියේ තැන්පත් වීම
4 රූපසටහන
මෙහි සඳු මිථුන රාශියේ මිත්‍ර බලයෙන් සිටින අතර ගුරු මීන ලග්නගතව ස්වක්ශේත්‍ර බලයෙන් සිටී. මෙම ගජකේශරී යෝග පිහිටීමද ප්‍රභලව සුභඵල ගෙන දේ.
ජ්‍යොතිෂවේදී, දේශබන්දු, මහේන්ද්‍ර පල්ලෙබැද්ද