නිවරදිව සඳු අපලයට පිළියම් කරන්න

සිතුවිලිවලට අධිපති ග්‍රහයා වන සඳු, ග්‍රහ ලොව මව ලෙස විරුදාවලිය ලද ග්‍රහයාය. සඳු ග්‍රහයා සිතුවිලිවලට පමණක් නොව ආවේගශීලී හැඟීම්, ලිංගික හැඟීම් මෙන්ම ඥානයටද අධිපති ග්‍රහයා ලෙස සැලකේ.  සඳු ග්‍රහයා ගත් කල පුරා සඳු හා අව සඳු ලෙස දෙයාකාරයකි. පුර සඳු බලවත් වන අතර අව සඳු දුබලය. ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයා දුබල නම් එම ජන්මියා අස්ථිර වූ සිතුවිලි වලින් යුත් බොහෝ චපල ගති ඇති අයෙකි. එමෙන්ම ආදරයේදී බොහෝ දුක් විඳීමට සිදුවන අතර කෙලවරක් නැති පසුතැවිලි වීම් වලින් යුක්ත වේ විවාහ වූ විට විවාහයද ඉතා පීඩාකාරී එකක් වනු ඇත.


සඳු ග්‍රහයා භංග නොවන නීචයක, සතුරු ආකාරව හෝ තදබල අශුභ දෘෂ්ඨි ලැබ සිටීම එමෙන්ම භංග නොවන කේමද්‍රැම යෝගය, සකට යෝගය වැනි අශුභ යෝගයක් පිහිටීම තුළින් ජන්මියාට සඳු මහ දශාව හෝ අතුරු දශාව හෝ විදශාව ලබන කාලවලදී තදබල පීඩාකාරී තත්ත්වයක් උදාකරයි. ඊට අමතරව ජන්ම පත්‍රයේ සඳු සිටින රාශියට කලින් රාශියේ, සඳු සිටින රාශියේ හා සඳු සිටින රාශියට පසු රාශියේ ශනි ගමන් කිරීමෙන් පුද්ගලයාට ජන්ම ඒරාෂ්ඨකය උදාවන අතර සඳු සිටින ස්ථානයෙන් 8 වැන්නේ ශනි ගෝචරය වීමෙන් ජන්ම අෂ්ඨම ඒරාෂ්ඨකය උදාවේ. මෙවැනි අවස්ථා වලදී ජන්මියාට නොයකුත් කරදර, පීඩා, සතුරු උවදුරු මෙන්ම මාරක තත්ත්ව උදාවේ. ජන්මියාගේ භාව කේන්දරයේ සඳු ග්‍රහයා 22 වන දෙර්කානාධිපතියා, 64 නවාංශකාධිපතියා, චර නවාංශකාධිපතියා, නිදනාම්ශ ග්‍රහයා අෂ්ඨමාංශ ග්‍රහයා හෝ ජිද්‍ර ග්‍රහයා වූ විට ජන්මියා මිය යාමට වුවද පුළුවන.
නමුත් පුරාණ ඍෂිවරු පෙන්වා දී ඇති පරිදි ග්‍රහයන්ගෙන් එල්ලවන අශුභ විපාක දුරුකර ගැනීමටත් සුබ ඵල වර්ධනය කර ගැනීමටත් ක්‍රමවේද වේ. ඒ සඳහා අපල කරන ග්‍රහයාට අනුව ශාන්ති කර්ම සිදු කළ යුතුයි. ඒ සඳහා බෝධි පූජාවක් පැවැත්වීම, සෙත් කවි ගායනය, ග්‍රහයාට අදාළ වස්තූන් දන් දීම, යන්ත්‍ර පැළඳීම, මැණික් පැළඳීම ආදී බොහෝ දේ කරනු ලබයි.
අපල ලෙස අපට භුක්ති විඳීමට ලැබෙනුයේ අප පෙර භවයන් හී කළ අකුසල කර්ම වල විපාකයන්ය. එම අකුසල කර්ම නැති කිරීමට නොහැකි වුවත් බොහෝ දුරට අඩු කිරීමට පුළුවන. ඒ අප කුසල කර්ම රැස් කිරීම තුළිනි.
සඳු ග්‍රහයා අශුභව පිහිටා සඳු තුළින් අපලයක් නිර්මාණය වී ජන්මියාට අපල කරයි නම් පුර පාර්ශ්වයේ සඳුදා දවසක දිය නා ගතින් මෙන්ම සිතින්ද පිරිසිදු වී විහාරස්ථානයට ගොස් බෝධි පූජාවක් ආරම්භ කළ යුතුයි. බෝධි පූජාව ආරම්භයට කලින් විහාරස්ථානයට ගොස් බෝධි පූජාවක් තැබීමට උචිත වන සේ බෝමළුව ඇමද මල් ආසනය සෝදා පිරිසිදු කර ගත යුතුයි. ඉන්පසු සුවඳ දුම් අල්ලා බෝමළුව සුවඳවත් කර ගත යුතුයි. සුවඳ හමන සුදු පැහැති මල් වට්ටි 7, දෑසමන් මල් වට්ටියක් සර්වඤ්ඤ ධාතු තැන්පත් වෙහෙරකට පූජා කරන්න. සුදු නෙළුම් මල් දැමූ කල 3 ක් බෝධින් වහන්සේට, චෛත්‍යරාජයාණන් වහන්සේට හා බුදු මැඳුරට පූජා කරන්න. ගිතෙල් හා අබ තෙල් පහන් 7 බැගින් දල්වා බුදුන්ට පූජා කරන්න. සුදු පැහැති මල් මාලා යොදා ගනිමින් බෝධින් වහන්සේ සරසන්න. පැන් කල 7 කින් බෝධිය නාවන්න. මෙම සියලුම පිංකම් අපලය ඇති ජන්මියාගේ සහභාගිත්වයෙන් කළ යුතුයි. සඳුගේ අපලය නැති වීමට සෙත් කවියක් ගායනා කරන්න. මෙම බෝධි පූජාව සඳුදා දින 7 ක් තුළ හෝ එක දිගට දින 7 ක් තැබිය යුතුයි. දිවුල් පැළයක් තම නිවසේ හෝ විහාරස්ථානයේ සඳුදා දිනක, සඳු හෝරාවෙන් (සඳුගේ පළමු පංචමය විෂ බැවින් එම පංචමය අතහැර) එනම් විනාඩි 12 ක් පසු වූ පසු සිටවා එම දිවුල් පැළයට සාත්තු සප්පායම් කරන්න.
සඳුගෙ අපල හිමි ජන්මියා සුදු පැහැති වස්ත්‍ර    ඇදීම නොකළ යුතු වුවද සුදු පැහැති රෙදි හැකි පමණ මිලදී ගෙන නැති දුප්පත් අයට බෙදා දිය යුතුයි. උඳු මිශ්‍ර කිරිබතක් පිරිසිදුව පිළියෙළ කර මුල් කොටස බුදුන්ට පුදා ඉතිරිය යාචකයන්ට බෙදා දීම, ආර්ථික ශක්තිය ඇති නම් පමණක් මුතු, රිදී ආදියෙන් කළ භාණ්ඩ පූජා කිරීම, කිරි අම්මාවරු 7 දෙනෙක් සඳහා දානය දීම, (මෙහිදී ළඟදී දරුවන් ලැබී කිරි දෙන චරිතවත්, පතිවත රකින අම්මාවරු 7 දෙනෙක් විය යුතුයි.) බන්ධනගත පක්‍ෂීන් හා මරනයට කැපවුණු සතුන් නිදහස් කිරීම, බේරා ගැනීම.
බෝධි පූජාවෙන් හා දාන වස්තූන් දන් දීමෙන් ලැබුණු සියලුම පිං සුමන සමන් දෙවියන්ට, පත්තිනි දේවියට හා දුර්ගා මෑනියන්ට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමාට ඇති අපල, කරදර, ලෙඩදුක් දුරුවී සෙතක් ශාන්තියක් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. අපල දුරුවී සහනය ලැබුණු පසු අදාළ දෙවිවරුන්ගේ දේවාල වෙත ගොස් හොඳින් ඉඳුනු පලතුරු ගෙඩි සහිත පූජා වට්ටිය බැගින් පුදා දෙවියන්ට ස්තුති කරන්න.
සඳු ග්‍රහයාගේ අපලය ඇති විට, එයින් මිදීම සඳහා මුතු පැලඳීම කිසිවිට නොකරන්න. මුතු, සඳුට අයිති මැණික වුවද සඳු අපල කරන විට පැලඳීම නොකළ යුතුයි. ජන්ම පත්‍රයේ සඳු බලවත් නම්, එනම් ගජකේෂරී, චන්ද්‍රාදියෝගය වැනි ප්‍රභල යෝග බලවත්ව යෙදී ඇත්නම් නැතහොත් සඳු උච්ච, ස්වක්ශේත්‍ර, නීච භංග රාජ යෝගයක හෝ ඇත්නම් ලැබෙන්නා වූ සුබ ඵල තීව්‍ර කර ගැනීමට මුතු පැලඳීම ඉතා යෝග්‍ය වේ. නමුත් සඳුගේ අපලය ඇති විට මුතු පැලඳීමෙන් විශ්වයේ ඇති අශුභ කිරන එම මුතුව හරහා ශරීර ගත වීම තුළින් පීඩාකාරී අපල තත්ත්වය තවත් වැඩි වනු ඇත. අපල කරන ග්‍රහයාට අදාළ මැණික පැලඳීම යනු කෝපයෙන් සිටින අයකුට ආයුධයක් අතට දීම වැනිය. සඳු අපලය සඳහා ජන්ම පත්‍රයේ සඳුට ප්‍රතිවිරුද්ධ ග්‍රහයා බලවත් කළ යුතුයි.
ඒ සඳහා එම ග්‍රහයාට අදාළ මැණික පැලඳීය යුතුයි. එහිදී එම ග්‍රහයාගේ සුබ කිරණ එම මැණික හරහා ශරීරයට පැමිණීමේදී සඳුගෙන් එල්ල වන අපල යටපත් වී යනු ඇත.
ප්‍රතිවිරුද්ධ ග්‍රහයා බලවත් කිරීමේදී එම ග්‍රහයා අදාළ ජන්මියාට 22 වන දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, චර නවාංශකාධිපති, බාධක ග්‍රහයා හෝ ජිද්‍ර ග්‍රහයාද නොවිය යුතුයි. එමෙන්ම එම ග්‍රහයා අෂ්ඨමාංශ ගත වී හෝ නිදනාම්ශ ගත වී නොසිටිය යුතුයි.
ගෝචරයේදී දින 2 1/2 ක් වැනි සුළු කාලයකින් තම රාශිය මාරු කරන සඳු ග්‍රහයා විම්ශෝත්තරී දශාව අනුව අවුරුදු 10 ක් ද, අෂ්ටෝත්තරී දශාව අනුව සඳුට වර්ෂ 15 ක් ද, යෝගිනී දශාව අනුව සඳු හෙවත් මංගලාට අවුරුදු 1 ක් ද, ෂොඬශෝත්තරී දශාව අනුව සඳුට වර්ෂ 16 ක් ද, ද්වාදශෝත්තරී දශාව අනුව අවුරුදු 21 ක් ද, පංචෝත්තරී දශාව අනුව අවුරුදු 17 ක් ද, ශතාබ්ධික දශාව අනුව අවුරුදු 5 ක් ද, චතුරාෂ්ඨ දශාව අනුව අවුරුදු 12 ක් ද, ද්විසප්තනී දශාව අනුව අවුරුදු 9 ක් ද, ශස්තිහායනී දශාව අනුව අවුරුදු 6 ක් ද, ශත්‍රිංසති දශාව අනුව සඳුට වර්ෂ 1 ක් ලෙස පවතී. කුමන දශා ක්‍රමයක් අනුව බැලුවද ජීවිතේ මුළු ආයු කාලයෙන් වර්ෂ ගණනක් සඳුගේ පාලනයට යටත් වේ.
සඳුගේ දශා කාලය පීඩාකාරී නම් හෝ සඳු ග්‍රහයා ජන්ම පත්‍රයේ අශුභ ලෙස පිහිටා ඇත්නම් ඉහත සදහන් වත්පිළිවෙත් පිරිසිදු එකඟ වූ සිතින් සිදුකර ජීවිතයට සහනය උදාකර ගන්න.
ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද,
ජ්‍යොතිෂ් ශිරෝමනී
(ඉන්දියා)