සන්ධි රෝග සහ ආමවාතය

සන්ධි රෝග, බෝවන රෝග ගණයට අයත් නොවූව ද අද සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝග අතරින් ප්‍රධාන තැනක් ගනී. ආයුර්වේදයට අනුව සන්ධි රෝග මාරක නොවූවත් එයින් ඇතිවන උපද්‍රව හේතුවෙන් දුක්විඳින රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. වයස අවුරුදු 40-50 ත් අතර, විශේෂයෙන් කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයකු මෙම රෝගවලට ගොදුරු වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.


සන්ධි විකෘති වීම, සන්ධියට සම්බන්ධ අස්ථි කෙළවර දිරා යාම, කඩතොළු වීම, සන්ධි හැසිරවීමේ අපහසුතාව ආදී විවිධ උපද්‍රව හේතුවෙන් පෞද්ගලික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද රෝගීනට වන පීඩාව සුළුපටු නොවේ. රෝගයේ මුල් අවස්ථාවේදී නිසි ප්‍රතිකාර නොගැනීම, තාවකාලික සුවය සඳහා නොයකුත් වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව ගැනීම හා නොසැලකිලිමත් බව ආදී කාරණා මත මෙම රෝග තත්ත්වය උපද්‍රව තත්ත්වය දක්වා වර්ධනය වීමට ද හැකිය.
සන්ධියක නිමැවුම
ආයුර්වේද මතයට අනුව සන්ධියක් සෑදීමේ ප්‍රධාන වන්නේ අස්ථි, මාංශපේශි, ශිරා, ස්නායු ඛණ්ඩරා නැතිනම් සන්ධි බන්ධන ආදියයි. අස්ථිය මධ්‍යස්ථයේ පිරී ඇත්තේ අස්ථි මජ්ජාවෙනි. එය සන්ධීන්හි ක්‍රියාකාරිත්වයට බෙහෙවින් උපකාරි වේ. සන්ධියක් සෑදෙන අස්ථි කෙළවර ඇති හිස් අවකාශය සන්ධි කුහරයයි. (Joint Cavity) එය සීමා කරන පටලය සන්ධි බිත්තිය නැතිනම් සන්ධි ප්‍රාවරයයි. (Joint Capsule) සන්ධිය සාදනු ලබන අස්ථි කෙළවර ආවරණය වන්නේ සියුම් තරුණාස්ථි (Cartilage) මගින්ය. එමෙන්ම සන්ධි කුහරය ඇතුළතින් සිනිඳු සිවියක් වූ (Synovial Membrane) ලසීකා පටලය පිහිටා ඇත. ලසිකා පටලය මගින් ලිහිසි දියරයක් සාදන අතර (Synovial Fluid) සමහර සන්ධි රෝගවලදී මෙම දියර ප්‍රමාණය වැඩිවී එයින් සන්ධියෙහි ඉදිමුම (ශෝථය) හටගනී. මෙසේ සන්ධි ඉදිමුම සමගම බහුලව ඇතිවන රෝග අවස්ථා අතර ආමවාතය ප්‍රධාන තැනක් ගනී.
ආමවාතය දිගු කලක් ප්‍රතිකාර කළ යුතු රෝගයක් වන අතර, මෙම රෝගය ප්‍රධාන හේතුව වන්නේ ආහාරමය විකෘතීන්, විහරණමය විකෘතීන් හා කුසගින්න විකෘති වීමය.
රෝගයට හේතුවන ආහාරමය විකෘතීන්
ආයුර්වේදයේ ආහාරමය විකෘතීන් ලෙස දක්වන්නේ එකිනෙකට පටහැනි ආහාර (උදා: මස්, මාළු, බිත්තර වැනි ආහාර ගැනීම සමගම පසුව මී කිරි, කොස්, දෙල් වැනි දිරවීමට ප්‍රමාද බර ආහාර ගැනීම) එමෙන්ම තක්කාලි, අන්නාසි, කරල් මුරුංගා, අබ, විනාකිරි යෙදූ ආහාර (අච්චාරු වර්ග) කුළු බඩු, මිරිස්, ඇඹුල් සහිත ආහාර, මී කිරි, බල මාළු, කෙළවල්ලා, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ වැනි උෂ්ණාධික මාළු, මස් හා කරවල වර්ග, ටින් කළ ආහාර වර්ග, උෂ්ණ මස් වර්ග, සෝස් වර්ග, විවිධාකාරයෙන් සකස් කළ ඇඹරූ මස් වර්ග (උදා: වෙළෙඳපොළෙහි ඇති ක්‍ෂණික ආහාර වර්ග) රසකාරක යෙදූ ආහාර වර්ග මෙන්ම තෙල් බහුල ආහාර ආදිය ද මෙම රෝගය සඳහා හේතු විය හැක.
ආමවාත රෝගයෙහි ලක්ෂණ, ඇඟපත දැඩි ලෙස වේදනා ගෙන දීම, ආහාර අරුචිය, පිපාසය, අලසකම, ඇඟේ බර බව, ආහාර නොදිරවීම, දණහිස, උරහිස, ඇස්වට, වැලමිට, උකුල, කොඳු ඇට පෙළ ආදී ශරීරයේ ඇති විශාල සන්ධිවල ඉදිමුම හා තදබල වේදනාව, සන්ධීන් නැමීමට දිගහැරීමට නොහැකි වීම, ඇඟට උණ ගතියක් මෙන් දැනීම, රාත්‍රියෙහි නින්ද නොයෑම, මුත්‍රා අධික බව, බඬේ තද ගතිය, මලබද්ධය, බඩ පිපුම් ආදිය ද දක්නට ලැබේ.
විහරණමය හේතු
එමෙන්ම මෙම රෝග තත්ත්වය ඇතිවීම සඳහා බලපානු ලබන විහරණමය හේතු ලෙස නිදිමැරීම, අධික ව්‍යායාමය හෝ ව්‍යායාම නොමැති වීම, අව්වේ සිටීම, සවස් කාලයේ ස්නානය, දහවල් නිදාගැනීම, ශීත සුළං වැදීම, ශීතල ජලය නිතර පරිහරණය කිරීම, අධික තරබාරුව, මල බද්ධය, දේශගුණික විපර්යාස, ශරීරයේ සමබරතාව පවත්වා නොගැනීම යන කාරණා ද ආයුර්වේදයේ පෙන්වා දෙයි.
රැකියා තත්ත්වයන්
මීට අමතරව රැකියා තත්ත්වයන්, එනම්, බොහෝ වේලාවක් එකතැන වාඩිවී මහන්සි නොවී කරනු ලබන රැකියාවන්, වායු සමීකරණය කරන ලද කාමර තුළ වැඩි වේලාවක් ගතකරීම, අධිකව නිදිවරමින් කරනු ලබන රැකියාවන්, අනවශ්‍ය අයුරින් කය වෙහෙසා කරනු ලබන රැකියාවන් ආමවාත රෝගය සඳහා හේතුවන බව පැහැදිලිය.
ශරීරමය හේතු
ආමවාත රෝගය කෙරෙහි බලපාන ශරීරමය හේතුව ලෙස කුසගින්න විකෘති වීම ප්‍රධාන වේ. ආයුර්වේදයට අනුව කුසගින්න ශරීර අග්නිය ලෙස හඳුන්වයි. අග්නිය වීම හෝ විකෘති වීම රෝගයන්ට හේතුවන ප්‍රධාන කරුණකි. ඉහතින් සඳහන් කළ විකෘති ආහාර ගැනීම මත අග්නි දුර්වල වීම හේතුවෙන් නිසි අයුරින් ජීර්ණයට පත් නොවූ ආහාර රසය (සාර කොටස) බවට පැමිණේ. මෙම නිසි ලෙස ජීර්ණය නොවූ ආහාර රසය ශරීරයේ පවතින විකෘති වූ වාතය සමග එකතු වී (ආමය + වාතය = ආමවාතය) ශරීරය පුරා ගමන් කර එයට සුදුසු ස්ථානයක් වන සන්ධි ආශ්‍රය කර එම සන්ධි පීඩාවට පත් කරයි. එය ආම වාතය යනුවෙන් හඳුන්වයි.
මෙහිදී ඇතිවන පීඩාව සන්ධියෙන් සන්ධියට ගමන් කිරීම විශේෂිත වූ කරුණකි. සමහර අවස්ථාවල සන්ධිය තුළ දියරය(Synovial Fluid) ප්‍රමාණයෙන් වැඩිවීමෙන් සන්ධිය හිවල් ඔළුවකට සමානව (ආයුර්වේද ග්‍රන්ථවල මෙම අවස්ථාව කෝෂ්ටුක ශීර්ෂය යනුවෙන් හඳුන්වයි) ඉදිරියට ඉදිමේ. රෝගය පැරණි වෙත්ම සන්ධිය අතර පවතින දියරය (Synovial Fluid) වියැලී යයි. එවිට වේදනාව මදක් අඩු වුවද සන්ධි එහා මෙහා සෙලවීමට නොහැකි වේ.
රෝග නිවාරණය
මෙහිදී රෝගයට හේතු ලෙස දැක්වූ ආහාරවලින් වැළකීම හා වත් පිළිවෙත් අනුගමනය කිරීම ද රෝගයේ සුවය සඳහා ඖෂධ මෙන්ම අතිශයින් වැදගත් වේ. එමෙන්ම ලංඝනය යෙදීම (සැහැල්ලු වූත් රෝගයට හිත වූත් ආහාර දීම) දහදිය ගැන්වීමේ ක්‍රියා වන ස්වේද කර්ම යෙදීම, තිත්ත රස, කටුක රස ඇති ඖෂධ යෙදීම, කුසගින්න වඩන ඖෂධ යෙදීම, තෙල් ගැල්වීම, ශාස්ත්‍රානුකූලව වස්ති හා විරේචන යෙදීම යන ආයුර්වේද චිකිත්සා ක්‍රම යෙදීමෙන් ආමවාත රෝගය නිට්ටාවටම සුව කරගත හැකි වේ.
ගම්පහ සිද්ධායුර්වේද ඖෂධාලයේ
වෛද්‍ය එම්. ඩබ්. එස්. ජේ. මාරසිංහ
කටුවන පාර, හෝමාගම