හෙළ වෙදකමට බලපාන දෙවිවරු

හෙළ වෙදකම වසර 6000 ටත් පමණ පෙර සිට අප රටේ පැවත එන අතර එය මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැක. එනම් පාරම්පරික වෙදකම හා ආයුර්වේද වෙදකම වශයෙනි. මේ වෙදකම් දෙකටම දෙවි දේවතාවුන්ගේ සම්බන්ධය ඇතත් ආයුර්වේදය දැනට රාජ්‍ය මට්ටමින් වෛද්‍ය විද්‍යාල මට්ටමින් උගන්වනු ලබන අතර පාරම්පරික වෙදකම පරපුරෙන් පරපුරට යන්නකි.


පාරම්පරික වෙදකමට සම්බන්ධ කම්බිලි, කඩවර, අයියනායක, භෛරව, පත්තිනි, කාලි, සූනියම් ආදී දෙවිවරුන් සහ දේව මෑණිවරු සිටිති. දෙවියන් බුදුන් ගැන කිසිම හැඟීමක් නැතිව උපන්නාට මේ ලොව වැනෙනවා විනා යන සම්මතය අනුව ජීවිත ගෙවන උදවිය වෙදකම ගැන හෝ දෙවිවරුන් ගැන සිතීමට අවශ්‍ය නැත. වෙදකම පිළිබඳව දෙවියන් පිදීමේදී කම්බිලි යහන, භෛරව පූජාව, කඩවර ගොටුව, කිරිඅම්මා දානය, මුට්ටි හතේ කිරි ඉතිරීම, මුරුතැන් කද වැනි දේ සකස් කෙරේ. මා ගල්ගමුව ප්‍රදේශයේ මහ ඇඹෝගම උපන් අයකු වශයෙන් ඉහත කී දෙවි දේවතාවුන් ගැන හා පුද පූජා ගැන දැනීමක් ඇත.
මගේ වෙද පරපුර ‘ගල්කැටියාගම වෙද පරපුර’ වන අතර කදුබොඩ වෙදරාළ නමැති ලංකාවේ දේව කටයුතු අතර ප්‍රසිද්ධ වූ භූත වෛද්‍යතුමාද මගේ පරපුරේම අයෙකි. මගේ වෙද පරපුර අයිති රත්න කම්බිලි දෙවියන්ටය. පණ්ඩුකාභය රජ සමයේ දුම්රක්ගල නම් පෙදෙසේ චේතිය නම් යකිනියකට දාව දරුවන් තිදෙනෙක් උපන් අතර එයින් පළමුවැනියා කළුපාට හෙයින් කළුකම්බිලි යනුවෙන්ද, දෙවෙනියා තරමක් පැහැපත් හෙයින් හැඩ කම්බිලි යනුවෙන්ද, තුන් වැනියා වඩාත් පැහැපත් හෙයින් රත්න කම්බිලි යනුවෙන්ද හඳුන්වා ඇත. එහෙත් මගේ පරපුරේ පුරා වෘතය අනුව රත්න කම්බිලි උපත භාරතයේ මලල දේශයේ සිදුවී ඇත. ළමා කාලයේ මොහු දඩබ්බර හෙයින් ඔහුගේ පියා ගල් නැවක් සාදා ඔහු තවත් පිරිසක් සමග මුහුදේ පාකර යැවූ බවත් ඒ ගමනේ දී ලංකාවට සේන්දු වී ඇති බවත් රත්න කම්මිලි දෙවියන් පිළිබඳ දේව ස්තොත්‍ර සහ කවිවල සඳහන් වෙයි.
රත්න කම්බිලි ඇතුළු පිරිස ලංකාවේ කතරගමට සේන්දු වී කතරගම දෙවියන්ගෙන් වරම් රැගෙන ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් බැහැදැක ලංකාවේ කටයුතු කළ බව මා අසා ඇත.
මලල රටින් නැව් නගිමින් මෙසිරි ලකට ගොඩ    බැසලා
කතරගමින් වරම් රැගෙන සිරි විෂ්ණු බැහැ දැක    ලා
කකුසද මුණි පටන් සතර බුදු තපසට තෙද    පාලා
ඔබයි රත්න කම්බිලිය වඩින්න මල් යහන    බලා
යන කවියෙන් ඒ බව හෙළිවෙයි.
රත්න කම්බිලි දෙවියන් උතුරු මැද පළාතට අයත් කලාගම්පත්තුවේ මල්බලිගල නම් ගමේ දේවාලයක් කරවා එහි වෙසෙමින් මුළු ලංකාවට බලපෑ බව සඳහන්ය. එහි සිට ලංකාවේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් ජනී ජනයාට පිහිට වූ බව සඳහන් වෙයි. කුරුණෑගල, මහනුවර පාරේ වෑඋඩ නම් ගමේ වෙල් යායක් අලි රංචුවක් විසින් විනාශ කර දැක එක් ගොවියෙක් ‘රත්න කම්බිලියෝ’ මේ අලින් කරන විනාශය පෙනෙන්නේ නැද්ද?’ යනුවෙන් කෑගැසූ විට දෙරනේගම සිටි රත්න කම්බිලි වහාම වෑඋඩට වෙලට පැමිණි අලින් එළවිය. වටපිට බැලූ විට බිම පැලක නිදන මිනිසා දැක තමා පැමිණි බව දැන ගැනීමට ඒ ළඟ තිබූ බැලතණ ගසක් ගලවා ඒ මිනිසාගේ කටේ ඔබා ගියේය. මිනිසා අවදිවී බලන විට තම කටේ තිබූ බැලතණ පඳුර ගැලවීමට උත්සාහ කළත් එය අපහසු වූයෙන් ඒ අවට සිටි කෙනෙක් ඔහු කැඳවාගෙන ගියේ ඒ ළඟ තිබූ රත්න කම්බිලි දේවාලයටය. ආරූඪ වූ කපුරාල (දෙවියා) උඹ මට අඬගැසුවා මම අලින් පැන්නුවා. මා පැමිණි බව දැන ගැනීමටයි ඔබේ මුඛයේ බැලතණ ගසක් තියා මුල් අද්දවා ගියේ. හ්ම් දැන් දාපන් කියා තම අත ඒ මිනිසාගේ හිස මත තබත්ම තණ පඳුර බිම වැටිණි.
වෑඋඩ වෙලේ තනි අලියට අඩ ගැසුවේ    කම්බිලියට
එහඬ ඇසුණි දෙරනේගමට මුගුර අරන් අලි     පාරට
අලි එලවා වඩින කලට උන් මිනිසෙක් බිම්පල    යට
මුඛයේ බැල තණ උගුලා මුල් ඇද්දුවෙ රත්න    අණට
යන කවෙන් එය තහවුරු වෙයි.
කම්බිලි දෙවියන්ගේ දේවාල දෙකක් රිදීබැඳි ඇල්ල ප්‍රදේශයේ කටුපිටිගම සහ වාරියපොල ප්‍රදේශයේ පිඹුරුවැල්ලේගම ද තිබී ඇත. වරක් මල්බලිගල සිට පිඹුරුවැල්ලේ ගමට කම්බිලි දෙවියන් මගේ ගම හරහා වඩින විට මගේ ගමේ පිපී තිබෙන පොල් මල් දැක ඊට ඇතිවූ ආශාව නිසා මගේ ගම එම දෙවියන්ගේ නින්දගමක් ලෙස ලබා ගැනීමේ ප්‍රයෝගයක් වගේ ගමේ සියලුම බිලිඳු දරුවන් ලෙඩ කළේය. ගැමියෝ ඊට හේතුවක් දැනගැනීමට ළඟම සිටි කපු මහතා ආවේශ කරවා ඇසූ විට කම්බිලි දෙවියන් ප්‍රකාශ කළේ වර්ෂයක් පාසා කම්බිලි යහන පුදනවා නම් දරුවන්ගේ රෝග සුව කරන බව ප්‍රකාශ විය. ගම්මුන් ඊට එකඟ වූ විට ඔවුන්ට හඳුන් පහරදී කිරීමේ ඇල් වතුරට එම පහරද ටික ටික දියකර එම රෝගී බිලිඳුන්ට දෙන ලෙසය. ඊට ජනයා කැමති වී කටයුතු කළේය. සැනෙකින් බිලින්දෝ සුව වූහ. ඒ ගැන සඳහන් කවියක් මෙසේය.
මල්බලිගල සිට පිඹුරුවැල්ලේගම ඉඩමට ඔබ වඩිනා    ගමනේ
පොල් මල් පිපිලා බලන්ඩ කදිමයි ඇබෝගමට ඔබ සිත    බැදුනේ
පැල්පත්වල සුළු ලෙඩ කළ දරුවෝ ජනපත රෝගෙට මුල    පිරුනේ
ඇල් වතුරෙන් පරහද දී සුවකර භාර ගත්ත කම්බිලි    රජුනේ
මම මගේ කම්බිලි පරපුරේ 3 වෙනි පරම්පරාවට අයත්ය. මා දන්නා කාලයේ සිට සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමට පසු කම්බිලි දෙවියන්ගේ දේවාලයක් ඉදිකරවා කපු මහතා ආභරණ සමග වැඩමවාගෙන අවුත් කම්බිලි යහන පුදා බාර හාර පුද පූජා පවත්වා කම්බිලි දෙවියන් නමස්කාර කර ගමේ සෑම දෙනාටම ඉඩම් බත කෑමට සලස්වන තුරු කිසිම ගෙදරක ගොම මැටි ගෑම, කිරිබත් කැවුම් වැනි දේ පිසීම, කෙසෙල් ගෙඩි ඉදවීම තහනම්ය. එසේ කළොත් ඒ කළ අයට දින 3 ගතවන්නට මත්තෙන් ලෙඩ දුක් කරදර ඇති වෙනවාමයි.
කම්බිලි යහන මෙසේය.
බුලත් 100, පුවක් 100, කෙසෙල් ගෙඩි 100, කැවුම් 100, පලතුරු වර්ග 7 යි, මල් වර්ග 7 යි. පඬුරු කාසි හැකි ප්‍රමාණයක් නිවස තුළ ඉඩ ඇති තැනක් කහ දිය ඉස පිරිසිදු කර උඩු වියන් බැඳ ලෑල්ලක් හෝ ඇඳක් මත රතු රෙද්දක් අතුරා ඒ මත ඉහත කී දේ පිදිය යුතුයි. මීට අමතරව සුවද දුම් පහන් ආදිය අවශ්‍යයි. නිවසින් එලියේ හෙවත් පුද පූජාවෙන් පසු නිවසින් පිට බලු කපුටු දානය දිය යුතුයි. යහන පුදා ගම්බාර දෙවියන් ඇතුළු දේවතා හත් කට්ටුවට ආරාධනා කවි ගායනා කරවා උඩැක්කි වාදනය කළ යුතුය. මෙම පූජාවෙන් පසු ගමේකෑම බීම ආදිය සාමාන්‍ය පරිදි කළ හැක.
ගොවිපලක රෝග ඇති වූ විට ගවයකු නැතිවූ විට නිවසේ යමෙක් ලෙඩ වූ විට කම්බිලි දිවියන්ට පඬුරක් බැදීමෙන් ප්‍රතිඵල ලැබේ. කම්බිලි දෙවියන්ගේ පොත්ගුල් 64 ක් ඇත. ඒ අතරින් ගේ කිරිඅත්තා මිය යන්නට පෙර කම්බිලි දෙවියන්ට අයත් පුස්කොල වෙද පොත් ස්ථාන දෙකක නිධන් කර ඇත. ඉන් එකක් ඉහත කී පොත් ගුල් අතරින් ප්‍රධාන එකයි. ඒවා අපට ලබාගත හැක්කේ ඊට හිමියෙක් කවදා හෝ බිහිවූ පසුවය.
1974 වර්ෂයේ අපේ පොත් ගුල් ගැන දැනගත් මාතර ප්‍රදේශයේ චීවරධාරියෙක් අපේ ගමට පැමිණ එහි ගල්ගිරිය කන්ද ගල් ගෙයක පදිංචි වී එක් නිධානයක් ගැනීමට සූදානම් විය. ඒ සඳහා මගේ ලොකු අයියගේ සහ තවත් දෙදෙනකුගේ සහයෝගය ලබාගත් මගේ අයියා එම නිධානය ගැබීමට කැමැති වූයේ අපේ පොත්පත් නිසා ඒවා ලබාගැනීමටය. හාමුදුරුවන්ට බෞද්ධයන් වශයෙන් අපේ ඇත්තෝ සැලකීම සිරිතකි. ඒ අනුව අපේ ගමේ බොහෝ දෙනා ඒ චීවරධාරියාට දානය සැපයූහ.
දිනක් මගේ අයියා එහි ගිය විට හාමුදුරුවෝ කීවේ මහත්තයා මම නිධානය කැඩුවා. මෙන්න මහත්තයාටත් පොතක් තියෙනවා කියා අයියට පුස්කොළ පොතක් දුන්නේය. අයියාට ඇතිවූයේ මහත් වේදනාවකි. පොත් කීයක් තිබුණාද? යන්නවත් අයියා දන්නේ නැත. අයියාගේ සිත වේදනාවට පත් විය. ඒ පොත අයියා ගෙනාවේය. ඒ ආසන්න සෑම දිනයක මම එහි ගියෙමි. අයියා සිද්ධිය ගැන විස්තර කර ඒ පොත මට දුන්නේය.
අයියාට පොත දුන් දවසට පසුවදා චීවරධාරියා නැත. ඔහු පොත් ටික රැගෙන ආපසු ගොස් ඇත. දින කීපයක් යන විට ආරංචි වූයේ චීවරධාරියා මියගිය බවය. ඊට සතියකට පසු ඊට සම්බන්ධ වූ එක් අයෙක් හිටි ගමන්ම  බිම වැටී මිය ගියේය. ඊට සාපේක්‍ෂව අනිත් තැනැත්තාත් මිය ගියේය. සතරවෙනි සතියේ මගේ අයියා උදේ කුඹුර පැත්තේ ගොස් ගෙදර ඇවිත් ඇත්තේ කිසිම කතාවක් බහක් නැතිවයි. ඔහු තම නිවසට ඇතුළු වීමට පඩියට ගොඩවන විටම පඩිය මතම මියගියේ කිසිදු වචනයක් නොකියාය. ඊට සතියකට පසු මගේ වෙද ගුරුතුමාගේ දේවාලයට ගිය මට දෙවියා මට කතාකොට සියලු දේ විස්තර කළේය. මගෙන් ඉල්ලුවානම් මම දෙනවා. ඊට කළ යුතු දේ තියනවා එසේ නොකළ නිසා අයියා මරා දැමූ බව ප්‍රකාශ කළේය. මගේ පොත් ගුලය තෝ යනුවෙන් කම්බිලි දෙවියෝ ප්‍රකාශ කළේය. නිධානය තිබූ තැන ඕනෑම අයකුට අවශ්‍ය නම් පෙන්විය හැක.
මේ ආදී වශයෙන් වෙදකම්වලට අරක් ගත් දෙවි දේවතාවුන් ගැන විවිධ කතා ඇත.
රා.මු.ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
ජාතික ඖෂධාලය
වේගොල්ල මාස්පොත