තරුණ පෙනුම රැකගන්න වැඩි වැඩියෙන් මඤ්ඤොක්කා කන්න

බහු වාර්ෂික ශාකයක් වන බයියොක්කා හෙවත් මඤ්ඤොක්කා “මැනිහොට් එස්කියුලෙන්ටා” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. මයියොක්කා එක් විශේෂයක් පමණක් නොව විශේෂ 150 ක් පමණ ලොව පුරා ව්‍යාප්තව පවතී. මයියොක්කා වර්ගීකරණය සිදු කරනුයේ උස අනුවය. කුරු මයියොක්කා හා උස මයියොක්කා ලෙසය. කුරු මයියොක්කාවල උස අඩි 3 හෝ 4 කි. උස මයියොක්කාවල උස අඩි 8 හෝ 9 කි. මීට අමතරව මයියොක්කා කදන් හා පත්‍රවල හැටි අනුවද ප්‍රභේද වෙනස් වේ. මෙහිදී කදන් හා පත්‍රවල නැටි ලා කොළ මිශ්‍ර සුදු, අලු, ලා රතු තද රතු හෝ දුඹුරු පැහැ ගනී.


වියලි කාලගුණයක් තිබුණ ද, තෙත් සහිත කාලගුණයක් තිබුණ ද මයියොක්කා වගා කළ හැක. නමුත් සූර්යාලෝකය අඩු වූ විට මයියොක්කාවල පලදාව අඩු වේ. එබැවින් මයියොක්කා ශාකයට සූර්යාලෝකය වැටිය යුතුය. තවද මයියොක්කා ශාකය පසේ ස්වභාවය එනම් ආම්ලික, මැටි සහිත බව, වැලි පස් ආදී කොයි ආකාර වුවද හොඳින් වර්ධනය වේ. මයියොක්කා පළිබෝද හානි අවම ශාකයක් වීමද විශේෂයි.
මඤ්ඤොක්කා හෙවත් මයියොක්කා ශාකය ප්‍රධාන වගාවක් ලෙසත් ඇතැමුන් අතුරු වගාවක් ලෙසත් යොදා ගැනීම දැකිය හැක. මයියොක්කා අලයේ රසය අනුවද මයියොක්කා ප්‍රභේද 2 කි. එනම් පැනි රස මයියොක්කා හා තිත්ත රස මයියොක්කා ලෙසය. මෙයින් වැඩිපුරම වගාව සඳහා යොදා ගන්නේ පැනි රස මයියොක්කා වර්ගයයි. මේවා මෙසේ වුවද මයියොක්කා වගාවට රජයෙන් නියම කර ඇති ප්‍රභේද ගණනාවක් ද වේ. ඒ අතර පම කාන්ඩයේ 10, 21, 44, 51, 71 හා කිරිකවඩි යන ප්‍රභේද විශේෂ කොට සලකයි.
හොඳ ආර්ථික මෙන්ම පෝෂණ ගුණයෙන් පිරිපුන් මයියොක්කා ශාකය වගා කිරීම ඉතා පහසුය. අංකුර 4-5 ත් අතර ඇති අඩි 8 ක් 9 ක් අතර දිග මයියොක්කා දඬු, කැබලි ලෙස කපා අඩියක් පමණ පස බුරුල් කර, පස පෙරලූ පොළොවේ සිටුවිය යුතුය. මෙය සිටුවීමේදී සිරස්, තිරස් හෝ ඇලව සිටින ලෙස සිටුවීම සිදු කරයි. සිටුවන මයියොක්කා දඬු කැබලි දෙකක් අතර පරතරය අඩි 3 × 3 හෝ මීටර් 1 × 1 වේ. මයියොක්කා දඬු 1 ක් හෝ 2 ක් එක වළක සිටුවන අතර මයියොක්කා දන්ඩෙන් 2/3 ක් පසෙන් යට විය යුතුය.
මාස 3 ක් හෝ 4 හෝ 5 ක් යන විට හොඳින් වැඩුනු මයියොක්කා ශාකයේ කොළ ඉඳී හැලී යෑම සිදුවේ. එම කාලයේදී අස්වනු නෙලාගත හැකි අතර සාරවත් ඵලදාවක් සඳහා කාබනික පොහොර මයියොක්කා ශාකය කුඩා කාලයේදී යෙදීම හා වල් පැළ අතින් උදුරා මර්ධනය කිරීම අනිවාර්ය වේ. ඊට අමතරව හොඳ අස්වැන්නක් සඳහා පසේ තෙතමනය ද ආරක්‍ෂා කරගත යුතුයි. සාරවත්ව වැවී ඇති මයියොක්කා අල ගැලවීමේදී සිදුරු නොවන සේ ගැලවිය යුතුයි. පස බුරුල් කර හෝ පස හොඳින් තෙත් කර මයියොක්කා ගැලවීම  සිදු කළ යුතු බව තරයේ සිත තබා ගන්න. මයියොක්කා සිදුරු නොවන සේ ගැලවිය යුතු වන්නේ මයියොක්කාවල ඇති හයිඩ්‍රජන් සයනයිඞ් මිනිස් සිරුරට විෂ බැවිනි.
මයියොක්කා අලය පසෙන් ගලවා දින 3 කට වඩා කල් ඉකුත් වූයේ නම් පරිභෝජනය සඳහා නොගත යුතුය. එමෙන්ම දුර්වර්ණ වූ අල ද පාවිච්චියට නොගත යුතුය. මඤ්ඤොක්කා ආහාරය සඳහා තැම්බීමේදී පොත්ත ඉවත් කර සෝදා කුඩා කැබලිවලට කපා වතුර පිරෙන්න දමා භාජනයේ කට විවෘත කර තැම්බිය යුතුයි. මෙහිදී මයියොක්කා තැම්බීමත් සමග මිනිස් ශරීරයට විෂ ගෙන දෙන හයිඩ්‍රජන් සයනයිඞ් වායුවක් ලෙස පිට වී යයි. මයියොක්කා හොඳින් තැම්බුනු පසු ඉතිරි වතුර ද පෙරා දැමිය යුතුයි.
ඉතා පෝෂ්‍යදායී මෙන්ම ඖෂධ ගුණයෙන් ද යුක්තය. මයියොක්කාවල අර්තාපල්වලටත් වඩා වැඩි කැලරි ප්‍රමාණයක් හා කාබොහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇත. අධික කැලරි ප්‍රමාණය නිසා නිතර මයියොක්කා ආහාරයට ගැනීම ශරීරය මහත් වීමට හේතුය. සෑම අල වර්ගයකම මෙන්ම ලවන වර්ග විටමින් වර්ග ඇතුළු ක්‍ෂුද්‍ර පෝෂක බොහෝමයක් මයියොක්කාවල ඇත. කෙදි සහිත බව නිසා ආහාර ජීරණ පද්ධතියට ද හිතකර වේ. අල වර්ගවල ඇති සීනි ශරීරයට අවශෝෂණය වන්නේ ඉතා සෙමිනි. එනිසා මයියොක්කා “ග්ලයිසෙමික්ස්” දර්ශකයේ පහල අගයක් ගන්නා ආහාර අතරට එක් වී ඇත. එමෙන්ම මයියොක්කා අලය තම්බා හෝ ව්‍යංජනයක් ලෙස හෝ සිහින් පෙති ලෙස බැඳ හෝ ආහාරයට ගැනීම තුළින් ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කරයි. නරක කොලෙස්ටරෝල් :ඛෘඛ* අඩු කරයි. මානසික ආතතිය අඩු කරයි. දියවැඩියාව පාලනය මෙන්ම “ඇමගඞ්ලීන්” එන්සයිමය නිසා පිළිකා සෛල නැසීම ද සිදුවේ.
මයියොක්කා ආහාරයට ගත් පසු ඉඟුරු කෑම හෝ ඉඟුරු යොදා තේ බීම හෝ කසාය වර්ග බීම නොකළ යුතුයි. එවිට අසාත්මිකතා ඇති වීම වලක්වා ගත හැක. තවද මයියොක්කා තැම්බීමේදී හෝ ව්‍යංජනයක් ලෙස පිළියෙළ කිරීමේදී ඊට කහ කුඩු එක් කිරීම තුළින් ද මයියොක්කාවල විෂ මර්ධනය වේ. මයියොක්කා තම්බා ආහාරයට ගැනීමේදී පොල් වැඩි ප්‍රමාණයක් සමග ආහාරයට ගැනීමට වගබලා ගන්න. එහිදී මයියොක්කාවල ඇති විෂ හරනය වී අසාත්මිකතා ඇතිවීම වලකයි. පොල් යනු විෂ නැසීමේ ශක්තියක් ඇති ද්‍රව්‍යයකි. මයියොක්කා තම්බන විට එහි ඇති විෂ නැසීමට මුරුංගා කොළ ද මිශ්‍ර කිරීම දැකිය හැක.
මයියොක්කා අලය පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම මයියොක්කා කොළය ද ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තය. මැල්ලුම් වශයෙන් ගත හැක. එම කොළ මැල්ලුමේ ප්‍රෝටීන හා විටමින් බහුල වශයෙන් අන්තර්ගත වේ. මෙම ඉහළ පෝණ ගුණයෙන් යුතු මයියොක්කා අල හා කොළ ගැබිනි කාන්තාවන්ට, කිරි දෙන මවුවරුන්ට හා කුඩා දරුවන්ට ආහාරය සඳහා සකස් කර දීම ඉතා වටී. එමෙන්ම තරුණකම රැකගැනීමට වෙර දරන පිරිස්වලට මයියොක්කා ඉතා ප්‍රයෝජනවත් වේ. මන්ද මයියොක්කා කොළ හා අල ආහාරයට ගැනීම තුළින් වයසට ගියද, වයසක පෙනුම අඩුකර තරුණ බව ඉස්මතු කරවන අතර වයසට යෑමේදී ඇති වන අමතක වීමේ රෝගය ද අවම කරයි. ස්මරණ ශක්තිය හෙවත් මතකය තීව්‍ර වනු ඇත. පාසල් යන ඉගෙන ගන්නා දරුවන්ට ද මෙම මයියොක්කා කොළ මැල්ලුම නිතර සාදා ආහාරයට දීම ඉතා වටී.
මෙලෙස ඖෂධීය ගුණයෙන් හා ආර්ථික වටිනාකමින් පිරිපුන් මයියොක්කා හවත් මඤ්ඤොක්කා ශාකයක් ඔබත් ඔබේ ගෙවත්තේ වගා කරන්න. එවිට ඔබේ පවුලේ නිරෝගී සුවය මෙන්ම ඔබේ පසුම්බියේ සාරවත්භාවයට මහගු පිටුවහලක් වනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, දේශබනධු,
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
ජ්‍යොතිෂ් ශිරෝමනී (බී.ඒ.)
ජ්‍යොතිෂ් විඥ්ඥානාචාර්ය (එම්.ඒ.)