ලොවක් හෙල්ලූ හෙළ වෙදකම හෑල්ලු කරන්ට එපා

අපගේ වටිනා හෙල වෙදකමේ ඉතිහාසයත්, ඒ අනුව පෙර දවස කරන ලද වෛද්‍ය ප්‍රතිකාර විස්මිත ලෙස රෝග සුව කිරීමත් ගැන මම මීට පෙර කීප වතාවක්ම ඉසිවරට සපයන ලද ලිපි තුළින් ජනතාව දැනුවත් කර ඇත. ඒ අනුව කටයුතු කර යහපත් ප්‍රතිඵල ලබාගත් බොහෝ දෙනා මා සමග සාකච්ඡා කර ප්‍රශංසා කර ඇත.


ඇත්ත වශයෙන්ම හෙල වෙදකම, මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් නොව හුදෙක් කෙනකුගේ ජීවිතය නිරෝගී කිරීමත්, සුරක්‍ෂිත කිරීමත් මුල්කර ගත් පිංකමකි. වෛද්‍යවරයා කිසිදිනක අපාගත නොවේ යන සම්මතයක් ඇත්තේ ඒ නිසාය. එහෙත් අද පෙර මෙන් නොව බෙහෙත් නිෂ්පාදනය කිරීමේදී ඇති වන ගැටලු නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීම නොමිලයේ හෝ සුළු මුදලකට කළ නොහැකි බව මම දනිමි. අද පිටරටින් ගෙන්වන ලද හිරියල්, මනෝසීල, සාදිලිංගන්, රත්හඳුන්, පෙරුංකායම්, කස්තුරි, අතිඋඩයන් වැනි බොහෝ ඖෂධ වර්ග මෙන්ම අප රටෙහි වැවෙන කරාබුනැටි, වසාවාසි, සාදික්කා වැනි ඖෂධ වර්ගවලද මිල අධික වීමත්, ඉවක් බවක් නැතිව කෙරෙන වන විනාශය නිසා වන ඖෂධ සපයා ගැනීම ඉතා අසීරු වීමත් නිසා වෛද්‍යවරයා මුහුණපා ඇත්තේ ඉමහත් දුෂ්කරතාවයකටය.
මීට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන අපේ වෛද්‍යවරුන් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් වෙත අවධානය යොමු විය යුතුය. බෙහෙත් නිෂ්පාදනයේදී මූලික වන්නේ වන ඖෂධ සපයා ගැනීම ගැනය. එනම් ඖෂධ වර්ග නොගත යුතු තැන් ගැන දැනගැනීමය. වන ඖෂධ ගැනීම ගැන පැරණි වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වන්නේ මෙසේය.
දෙවාලෙ ස්වසානෙච ශුන්‍යාගාරේ චතුස්පතේ
වර්චස්ථානෙච වාල්මීකෙ වර්ජයෙන් ජාක ඖෂධම්
මෙයන් ප්‍රකාශ වන්නේ දේවාලය, සොහොන් පිටිය, පාලු ඉඩම, හතරමං හන්දිය, අපවිත්‍ර තැන (මල මුත්‍ර පහකරන තැන) සහ තුඹස යන ස්ථානවල ඇති ශාක හෝ පාෂාණ වර්ග, වැලි, පස් ආදිය නොගත යුතු බවය. ඒ ඇයි?
1. දේවාලයේ කෙරෙන්නේ යක්‍ෂ භූත කටයුතුය. යක්‍ෂයන්, භූතයන් හිර කිරීම, ඔවුන්ට දඬුවම් කිරීම, පැන්නීම වැනි කටයුතුය. ශබ්දය ගස්වලට ඇදගනියි. ඒ අනුව යක්‍ෂයන් – භූතයන් පලවා හැරීම, ඔවුන්ට දඬුවම් කිරීම, ඔවුන් කෑගැසීම ඒ සඳහා කෙරෙන මැතිරීම් ආදියෙහි ශබ්දය එම භූමියේ ඇති ශාකවලට ආග්‍රහනය වෙයි. ඒ නිසා එම ශාක විෂ සහිත නිසා ඖෂධ සඳහා යොදා නොගත යුතුය.
2. මිනී පිටියේ කෙරෙන්නේ මිනී වැලලීම හා දැවීමය. එයින් නිකුත් වන්නේ විෂ වායුවකි. විෂ යනු කිල්ලය. එසේම යක්‍ෂ, ප්‍රේත, වැනි භූත බලපෑම් ඇත. ඔවුන්ගෙන් පිටවන්නේ විෂකි. ඒ නිසා එකී විෂ උණ ගැනීමෙන් වැඩෙන ගස් වැල් ආදිය විෂ සහිතය. කිළි සහිතය. ඒ නිසා එවැනි දේ ඖෂධ වශයෙන් ගැනීම සුදුසු නැත.
3. පාළුගම හෝ පාළු ඉඩම් යනු ගස් කොලං නොවැවෙන තිබෙන ගසක් වේ නම් පළ නොදරන, මිනිසුන්ට වාසය කළ නොහැකි අන්දමේ විවිධ කරදර ඇති ගම හෝ ඉඩමය. එවැනි ස්ථානවලට නවීන විද්‍යාත්මක ක්‍රම යෙදුවද පළ රහිත වෙයි. එවැනි ස්ථාන කීපයක්ම මා දැක ඇත. ඉඩමක්, ගමක් ඒ තත්ත්වයට පත් වන්නේ එම ඉඩමට අණ විණ කොඩිවිණ, හදි හූනියම් වැනි දේ කර ඇති නිසා හෝ එම ඉඩම් හිමිව සිටි අයෙක් ඉඩමට ඇල්ම ඇතිව මියගොස් භූතාත්මයක් ලබා එහි අයිතිය ලබාගෙන ඇති නිසා හෝ එහි වාසය කළ අයට යමෙක් විසින් කරන ලද හදි හූනියමක් නිසා හෝ එහි පැරණි නිධන් වස්තු ඇති නිසා හෝ විය යුතුය. එවැනි ඉඩමක ඇති ශාක වර්ගවලට එම භූත බලය ආකර්ෂණය වීමෙන් හෝ නිධන් වස්තු ආරක්‍ෂා කරන භූතයන් කිසිවකුට එහි වාසයට ඉඩ නොදෙන නිසා හෝ විය යුතුය.
4. සිව්මංසල යනු මාර්ග හතරක් එක්වෙන  මධ්‍යස්ථානය හෙවත් මාර්ග හතර බෙදී යන මූලික ස්ථානයයි. එම ස්ථානවල කෙරෙන්නේ හූනියම් කැපීම, හූනියම් කිරීම, ප්‍රේත ගොටු දීම එවැනි කටයුතු සඳහා කුකුලන් වැනි සතුන් බිලිදීම, විවිධ පුළුටු වර්ග දැමීම වැනි දේවලය. ඒ එකක් වත් යහපත් දේවල් නොවේ. එවැනි කටයුතුවලින් නික්මෙන කෲර වචනවල ශබ්ද තරංග දැවුම්, පිළිස්සුම් වැනි දෙයින් නගින දුම වැනි දේ එම ස්ථානයේ ගස්වැල්වලට වැදී, ඒ අනුව එම ගස්වැල් වැඬේ. එසේ වැඩෙන ගස්වැල් විෂ සහිතය. ඒවා සුභ දේට නොගත යුතුය.
5. වර්චස්ථාන යනු මල මුත්‍ර මලකුණු ඉදුල් වැනි දේ දවන තැන්ය. එම තැන්වල ඇති ශාකවල වැවෙන්නේ ඒ අපද්‍රව්‍ය උරාගනිමිනි. එවිට එම ගස්වැල් විෂ සහිත වෙයි. එම නිසා ඒවා ඖෂධ සඳහා නොගත යුතුය.
6. තුඹස යනු කිසිදු පොහොර රසයක් නැති මැටිවලින් වේයන් විසින් ඉදිකරනු ලබන දෙයකි. එම පසෙහි වැවෙන ශාකවල කිසිදු ගුණයක් නැත. එසේම සමහර හූනියම් යන්ත්‍ර හුඹස් තලවලට දමා හිර කෙරෙති. එසේම නාගයන් වැනි විෂඝෝර සර්පයන් හුඹස් තලවල වෙසෙති. ඔවුන්ගේ පිටවන්නේ විෂ වායුවකි. මෙවැනි කරුණු ඇසුරෙන් වැඩෙන පැලෑටි වර්ග විෂ සහිත නිසා එම ශාක වර්ග ඖෂධ වශයෙන් නොගත යුතුය.
මීට අමතරව මිනිසුන් සහ බල්ලන් වැනි සතුන් ගමන් කරන මාර්ග දෙපස ඇති ශාක වර්ගද අපවිත්‍රය යන එන්නන්ගේ පයට වෑගීම කෙල ගැසීම මුත්‍රා කිරීම බල්ලන් වැනි සතුන් මළ මුත්‍ර දැමීම ද සිදුවන හෙයින් එවැනි තැන්වල ඇති ශාක වර්ග ඖෂධ සඳහා නොගත යුතුය. තත්ත්වය මෙසේ වුවද ඇතැමුන් ඉහත කී නුසුදුසු තැන්වලින් ඖෂධ ගන්නා බව මා දැක ඇත. ඊට හේතු දෙකක් ඇත. එනම්: 1. නමට පමණක් බෙහෙත සෑදීම, 2. කැලෑ විනාශවීම හා වගාවන් සඳහා යොදා ගැනීම නිසා ඔසු ශාක හිඟ වීමය. කෙසේ හෝ බෙහෙත හදන්නේ රෝග සුව කිරීමට නොව මුදල් ඉපයීම ව්‍යාපාරයක් වශයෙනි. ඒ නිසා හෙල වෙදකම කෙලසෙයි.
වෙළෙඳසල්වලට ඔසු වර්ග සපයන ව්‍යාපාරිකයෝ මුල් පමණක් ගත යුතු ඖෂධවල ශාකයේ දණ්ඩද කපා වෙළෙඳසල්වලට විකුණති. නික, ඉකිරි, රම්මානිස්ස, නෙරෙංචි, බැබිල, පාවට්ටා, පොල්පලා වැනි වර්ග මේ අතර ඇත. ඒ නිසා වෙළෙඳසල්වලින් ලැබෙන්නේ එම ඖෂධ වර්ගයි. ඒවායේ නියම ගුණය තිබේද? නැත. අද අප රටේ එලබටු සහ හීන්බඩු ඉතා දුර්ලභය. ඒ නිසා වෙළෙඳසල්වලින් බටු මුල් වශයෙන් ලැබෙන්නේ වම්බටු මුල්ය. මම එය සත්‍ය වශයෙන් දනිමි. මේ නිසා වටිනා හෙල වෙදකම හෑල්ලුවට ලක්වෙයි.
ගස්වල මල්, ගෙඩි, මුල්, පොතු ආදිය බෙහෙත් නිෂ්පාදනයට ගනිති. මල් සහ ගෙඩි වර්ග ඒවා තිබෙන කාලවලදී ලබාගත යුතුය. එම කාලවලදී ශාකයේ රසය, ගුණය, ඇත්තේ ඒ ඒ තැන්වලය. මුල්වල සහ පොතුවල ජීව ගුණය ඇත්තේ වියලි කාලයේ ය. ඒ නිසා ඒ ඒ කාලවලදී එම කොටස් ලබාගත යුතුය. එසේ නොවුණොත් සාදනු ලබන බෙහෙතේ නියම ගුණය නැත. එවැනි බෙහෙත්වලින් ප්‍රතිකාර කිරීමෙන් සුවය ලැබීම ඉක්මන් නොවීමත් නිසි සුවය නොලැබීමත් නිසා ඔය සිංහල බෙහෙත්වල ගුණයක් නෑ. යනුවෙන් සමහරු හෙල වෙදකම බාල්දු කරති. එය බෙහෙතේ වරද නොව නිෂ්පාදකයාගේ වරදයි.
ද්‍රව්‍ය කාල නියමය
වරක් ලබාගන්නා ලද මල්, ගෙඩි, පොතු ආදිය ඕනෑම කාලයක් තබාගෙන බෙහෙත් සෑදීමට ගත නොහැක. මල්, ගෙඩි, පොතුවල බලය අවුරුද්දක් ද, මුල්වල බලය තුන් අවුරුද්දක් ඇති නිසා ඒ ඒ වර්ග ඒ ඒ කාල පරාස තුළ පමණක් ගත යුතුය. එසේ නොවුණොත් නිෂ්පාදිත බෙහෙත්වල ගුණය අඩු නිසා රෝග සුවවීමද නිසි පරිදි සිදු නොවේ. එසේම ඖෂධ ලබා ගැනීමේදී සුබ දවසත් සුබ දිසාවත් සුබ හෝරාවත් අනුව කළ යුතුය. එසේම අවශ්‍ය ගෙඩි, මල්, පොතු, මුල් ආදිය ලබා ගැනීමේදී එම වෘක්‍ෂයට නමස්කාර කර අවශ්‍ය දේ ලබාගැනීමත් හෙල වෙදකමේ වැදගත් ලක්‍ෂණයකි.
මෙවැනි කරුණු අනුව කටයුතු කර බෙහෙත් සෑදීමත්, එයින් නිසි පරිදි රෝගීන් සුවපත් කිරීමත් පවත්වාගෙන යමින් ලොවක් හෙල්ලූ හෙල වෙදකම රැකගැනීමට හෙල වෛද්‍යවරුන් වන අපි අධිෂ්ඨාන කරගනිමු.
රා.මු.ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
ජානක ඖෂධාලය
වේගොල්ල, මාස්පොත