ගෙමිදුලේ ගස් ඔබට කියන රහස්

ඔබගේ ගෙමිදුලේ ගස් ගෙවත්තේ සුන්දරත්වය වැඩිදියුණු වෙනවා පමණක් නොව නිවසට සිරියාවද එක් කරයි. මෙම ගස් අතර වැඩියෙන් ඇත්තේ මල් ගස්ය. මෙහි පැණි බීමට එන මීමැස්සන්ගේ ගුම් ගුම් නාදය මෙන්ම මෙයට පැමිණෙන සමනලුන්ගේ සුන්දරකමත් දකින ඔබ මුළු ජීවිතයටම ප්‍රබෝධමත් වනු ඇත.
ගස් සහ මල් ලස්සන වුවත් සමහර ගස් ඔබ නොදැනුවත්වම ඔබව දුකට පත් කරයි. දුප්පත්කම, ලෙඩ රෝග, භූත දෝස, දියුණුවට බාධා මෙන්ම ඔබගේ දරුවන්ට ද අනතුරු ඇති කරන බව ඔබ නොදන්නවා විය හැක.


කුමන ගසක් ගෙමිදුලේ රෝපනය කළ ද ප්‍රධාන උළුවස්සට ලම්භකව නොතිබිය යුතුය. නිවස තුළට හමා එන සුළඟ බාධාවකින් තොරව ප්‍රධාන උළුවස්ස තුළින් නිවසට ඇතුළු විය යුතුය. මෙය වාස්තු විද්‍යා රීතියකි. එහෙත් නිවසේ උස මෙන් දෙගුණයක් දුරින් කුමන ගසක් තිබුණ ද ඉහත රීතිය මෙයට බලනොපායි.
දුප්පත්කම
අඹ, කොට්ටන්, උගුරැස්ස වැනි ගසක් ඔබගේ ගෙමිදුලේ තිබුණ හොත් ඒවා ඵල දරන කාලයට රාත්‍රි කාලයේ වවුලන්ද, දිවා කාලයේ කපුටන්, ලේනුන්, කුරුල්ලන් ආදී සතුන් කා දමන ලද හප වැටෙන්නේ ගෙමිදුලටය. මෙසේ වීම එම නිවැසියන් දුප්පත්වීමට හේතුවේ.
ලෙඩ රෝග
නිවස මිදුලේ ලොකු ගසක් තිබීම එම මිදුල අන්දකාරවේ. එසේම නිවස තුළ මෙය නිසා අඳුරු බවක් ඇති වේ. භූත දෝසවලට මෙය අත වැනීමකි. මෙය නිසා එම නිවසට භූත බලපෑම් ඇතිවේ. මෙය නිවැසියන්ට රෝගාබාධ ගෙන දීමට හේතුවේ. රුක්අත්තන, නුග, ගොරකා ගස් මේ සඳහා විශේෂයි.
හිරු එළිය
නිරෝගී දවසකට හිරු එළිය සහ වාතාශ්‍රය අවශ්‍ය බව සෞඛ්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. නිවස ඉදිරිපිට විශාල ගසක් තිබීම ඒ නිවසට නිතර තෙතමනය රඳා පවතී. වැඩිහිටි, කුඩා ළමයින්ට මෙය තදින් බලපායි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරයි. මෙයින් ලෙඩ රෝග බෝවේ. මෙය නිසා විශාල ගස් නිවසට ලෙඩ කාරකය. මෙය නිසා අසුබය.
දියුණුවට බාධා
පරිසරයේ පවතින සුබ තරංග රැසක් නිවස තුළට ඇදේ. එමගින් නිවැසියාගේ සමෘද්ධිය දියුණුව උදාවේ. මෙසේ  මිදුලේ ලොකු ගසක් ඇත්නම්, මේ සුබ තරංග නිවස තුළට යෑම අවහිර වේ. මෙය තුළින් නිවැසියාගේ සමෘද්ධිය, දියුණුව ඇති නොවේ.
දරුවන්ට අපල
අඹ, ජම්බු වැනි අධික ඵල දරන ගස් ගෙමිදුලට අසුබය. අඹ ගසේ ගෙඩි හටගන්නා කාලයට පිරිමි දරුවන් මුරණ්ඩු වන අතර ජම්බු ගස්වල ඵල දරන කාලයට ගැහැනු ළමයි මුරණ්ඩු වනවා පමණක් නොව තරුණ වයසේ අයෙක් නම්, හිතුවක්කාරකම් ඇතිකරගෙන නිවසින් පැන යෑමට පවා හේතුවේ.
කිරි ගස් ඵල දරන ගස් මල් ගස් වශයෙන් ශාක වර්ග කිහිපයක් ඇත. පතොක් වර්ග, ඉඹුල් වරා, කෑල, අරලිය මෙම ගස් ගෙමිදුලට අසුබය. කිරි ගස් වන බෝ ගස සහ නුග පිළිවෙලින් බටහිර, නැගෙනහිර දිසාවට ගැලපේ. කිරි ගස් වශයෙන් සැලකෙන මී අඹ සහ වෙනත් අඹ වර්ග ඵල දරන ගස් බැවින් නිවසේ ඉදිරිපිටට අසුබයි.
වැටකේ, ගෙමිදුලට සුබයි. කොස් ශාකය ද කිරි වෘක්ෂයක් බැවින් ඕනෑම දිසාවකට හොඳයි. මල් වර්ග අතරින් කොබෝනීල, සුදු කටරොලු, දෑසමන්, ඉද්ද, සේපාලිකා තද කහ පාට මල් පිපෙන ශාක රතු පාට මල් පිපෙන ශාක නිවස ඉදිරිපිටට අසුබය. වෙනත් පැත්තකට වරදක් නැත.
නාගවල්ලිය, පිහිඹියා, බුලත්, වැටකේ අලංකාරයට කදිමය. සාමාන්‍යයෙන් නිවසේ නිරිත දිසාවේ උසට වැඩෙන ගස් මල් වැටවල් ආදිය ද, ඊසාන පැත්තේ උසට නොවැඩෙන අතුපතර විහිදී නොයන ගස් සිටුවීම යහපත්ය.
ඔබගේ හිතවත් සහෝදර සහෝදරාදීන් මෙන්ම යහලු මිත්‍ර ආදීන් සහෝදරත්වය මෙන්ම මිත්‍රත්වය තහවුරු කර ගැනීම සඳහා මල් පැළ පලතුරු ගස් ආදී නොයෙක් ගස් වර්ග පරිත්‍යාග කර ගනී. එහෙත් පහත සඳහන් ස්ථානවලින් ලබා ගන්නා ලද මොනම ගස් වර්ගයක් හෝ මල් වර්ගයක් නොගත යුතු බව ඉපැරණි වාස්තු විද්‍යා ග්‍රන්ථවල සඳහන් වේ.
ඒවා නම්,
1. ආගමික ස්ථාන ආදියෙන් ලබාගන්නා ගස් වර්ග, පැළ වර්ග
2. සුසාන භූමි ආදියෙන්
3. හුඹස් උඩින්
4. පාරවල් අයිනෙන්
5. රෝගී පුද්ගලයන් පරිත්‍යාග කරන ගස්
ආදිය ගෙවත්තේ රෝපනය නොකළ යුතුය.
සමහර විට ඔබගේ ගෙවත්තේ ඉබේටම වාගේ ගස් සෑදී තිබීමට ඉඩ තිබේ. මෙසේ වන්නේ කුරුල්ලෝ ආදී සතුන්ගේ මාර්ගයෙනි. කාලයක් ඇවෑමෙන් මේවා විශාල ගස් බවට පරිවර්තනය වේ. සමහර විට මෙම ගස් පිහිටා ඇති දිසාව සුබ හෝ අසුබ වීමට ඉඩ ඇත.
මෙසේ ඔබගේ ගෙමිදුලේ අසුබ යැයි සම්මත ගස් ඇත්නම්, ඒවා කපා ඉවත් කිරීමට ඉක්මන් නොවන්න. ගස් කොළන් පරිසරයට විශාල මෙහෙවරක් ඉටුකරයි. මෙය නිසා අසුබ ගස ආසන්නයේ අශෝකා, කොහොඹ, මූණමල්, කොස්, බෙලි පොල් ආදී ශාක වර්ගයක් සිටුවීමෙන් දෝස සම්පූර්ණයෙන්ම මගහැරෙන බව ශාස්ත්‍රයේ නියමයයි.
ජනමාධ්‍යවේදී ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යා උපදේශක, ධර්මාචාර්ය විද්‍යාජෝති ධර්ම බන්දු දේශකීර්ති සාම විනිසුරු (මුළු දිවයිනටම) ජ්‍යොතිර් විද්‍යා කීර්ති ලංකාපුත්‍ර
ප්‍රේමසිරි කහඳවලආරච්චි
252/1, පුලිනතලාරාම පාර,
මාගම්මන, රාගම