පිපාසයත් රෝගයක්

thirstyකුසගින්න අපට දැනෙන්නාක් මෙන්ම පිපාසාවද දිනපතාම අප කා හටත් ඇතිවේ. එසේම ආහාර දිනක් නොගෙන සිටියද වතුර නොබී අපට සිටිය නොහැකිය. පිපාසය ආ විට වතුර හෝ දියරමය ආහාරයක් පානය කර එය සංසිදුවා ගන්නට අප කවුරුත් උත්සාහ කරති. එය ඔබද මාද හොඳින්ම දන්නා කාරණයකි. නමුත් වතුර බීමෙනුත් සුව නොවන බෙහෙත් බීමෙන් සුව වන පිපාසයක්ද ඇත. එය රෝගයක් වශයෙන් ආයුර්වේදයේ තෘෂ්ණාව නමින් හඳුන්වයි.

පිපාසාව යනු වතුර බීමේ ඇති කැමැත්තයි. ආයුර්වේදයේ මෙය තෘෂ්, තෘෂා, පිපාසා, පානෙච්ඡා යන නම්වලින් හඳුන්වයි. මෙම රෝගය සුලු වශයෙන් දැක්වුවත් ශාරීරික වශයෙන් අපව බෙහෙවින් පීඩාවට පත් කළ හැකි රෝගාවස්ථාවකි.
මධුමේහ රෝගයේදී රෝගයේ ලක්‍ෂණයක් ලෙස පිපාසය ගෙන ඇති අතර වමනයේ උපද්‍රවයක් ලෙසද ගැනේ. අධිකව වමනය ගිය පසු පිපාසාව ඇතිවීම පෙන්වයි. එසේම ශරීරයේ විජලනයේ ලක්‍ෂණයක්ද වේ.
විශේෂයෙන් වාතය සහ පිත් ප්‍රබල වූ පිපාසාව අප ශරීරය ඉතා ඉක්මනින් පීඩාවට පත්කරන්නක් වේ. එසේම සුශ්‍රැතාචාර්‍ය්‍ය මතයට අනුව යම් පුද්ගලයකු නැවත නැවත ජලය පානය කළත් ඔහු ඉන් සෑහීමට පත් නොවන්නේද එය “තෘෂ්ණා” නමින් හඳුන්වා ඇත.
පිපාසයේ හේතු
භයශ්‍රමාභ්‍යං බලසංෂෙයාද්වා – ඌර්‍ධවං චිතං පිත්ත විවර්‍ධනෛශ්ව
පිත්තං ස වාතං කුපිතං නරාණාං – තාලුප්‍රපන්නං ජනයේත් පිපාසාං
ස්‍රෝතස් ස්වපාං වාතීෂු දූෂිතේෂු – දෝෂෛග්ව තෘටි සම්භවතීහ ජන්තෝඃ
භය වීම, විඩාව, වෙහෙසීම, ශරීරය ක්‍ෂය වීම, පිත්තය වැඩෙන උෂ්ණ කටුක ඇඹුල් රස දේවල් ආහාරයට ගැනීම, මධ්‍ය පානය, ක්‍රෝධය උපවාසය, පරිශ්‍රම යනාදී කරුණු වලින්ද පිත හා වායුව කිපී ගොස් ඉහළට යන අතර තල්ලට පැමිණ (ජලය වහනය කරන ස්‍රෝතස්වලට පැමිණ) තෘෂාව නොහොත් පිපාසාව ඇති කරන්නේය.
පිපාසාව ඇති වීමට ශාරීරික, මානසික, ආගන්තුජ වශයෙන් කොටස් 3 ක් බලපායි.
මෙම විවිධ හේතු නිසාද සිදුවන්නේ වාතයත් පිතත් දූෂිත වීමයි. වාතයේ තියෙන්නා වූ රූක්‍ෂභාවය නිසාද පිතේ තිබෙන උෂ්ණ ගතිය නිසාද ශාරීරිකව පවත්නා තෙත් ස්වරූපය වියලවයි. එවිට පිපාසය හට ගැනීම ස්වභාවිකව සිදුවේ.
1. ශාරීරික හේතු
අප විසින් වාත පිත දෝෂ කිපෙන්නා වූ ආහාර පාන අධිකව සේවනය කිරීමෙන් (කටුක උෂ්ණ තීක්‍ෂ ලවණ ආහාර) අප ශරීර ගත ධාතු ක්‍ෂය වීම කර අතීසාරය වැනි ද්‍රව හීන කරන රෝග සෑදීමට හේතු වේ. එවිට පිපාසාව ඇති විය හැක.
2. මානසික හේතු
භය වීම, ක්‍රෝධය, නිසා ශාරීරිකව ඇති වන විඩාව මත අප ශරීරයේ මධ්‍යම නාඩි විධානය ක්‍රියා විරහිත වී ශාරීරික ද්‍රව කොටස් නොවැගිරීම සිදුවේ. එවිටද පිපාසාව ඇති වේ.
3. ආගන්තුජ හේතු
බාහිරව ඇතිවන අධික තාපය නිසා දහඩිය පිටවීමෙන්ද හදිසි තුවාලයකින් හෝ කැපීමකින් අධික ලෙස රුධිරය වහනය වීම නිසාද පිපාසය ඇති වේ.
ප්‍රභේද
තිස්‍ර: ස්මෘතාස් තාඃ ක්‍ෂතජා චතුර්ථි
ක්‍ෂයාත් තථාභ්‍යාමසමුද්භවා ච
භක්තෝද්භවා සප්තම්කේති තාසං
නිබොධ ලිඩ්ගාන්‍යනුපුර්‍ව ශස්තු
1. වාතජ, 2. පිත්තජ, 3. කඵජ, 4. ක්‍ෂයජ, 5. ක්‍ෂතජ, 6. ආමජ, 7. භක්තජ
යනුවෙන් තෘෂ්ණාව ප්‍රභේද 7 ක් ලෙස ආයුර්වේදයේ ග්‍රන්ථ ගතව ඇත.
1. වාතජ පිපාසාව
මෙහිදී බැගෑපත් මුහුණ ඇතිවීම, හිසේ සහ හක්කේ වේදනා ගතිය ඒම, කටේ නිතර විරස ගතිය, අරුචිය හෝ කසට බව, සීතල ජලය බීමෙන් වැඩිවීම, වාතජ තෘෂ්ණාවේදී ඇති වේ.
2. පිත්තජ පිපාසාව
මුසපත් වීම, දැවිල්ල, ආහාර ගැනීමට ඇති අකමැත්ත, දෙඩවීම, ඇස්වල රතුපාට ගතිය, නිතර නිතර උගුර කට වියලීම, සීතලට වඩා කැමති බව කටේ තිත්ත ගතිය, මළ මුත්‍රා, ඇස් කහ පාට වීම, ශාරීරිකව දැවෙන ගතිය, මෙහිදී ඇති වේ.
3. කඵජ පිපාසාව
බඩගිනි අඩු වීම, අග්නිය ඇති කරවන ඌෂ්මයද අහුරා දමයි. ඉන් පසු ඒ ඌෂ්මය ජලය වහනය කරවන ස්‍රෝතස් වියලවයි. එසේ වියලවා කඵජ තෘෂ්ණාව ඇති කරයි. මෙහිදී අධික නින්ද ඇඟේ බර ගතිය කටේ පැණි රස ගතිය, පිපාසය, වැඩිවීම, අධික කෘෂ වීම සහ අධික වියලි ගතිය ඇති කරයි.
4. ක්‍ෂයජ පිපාසාව
රස ධාතුව ක්‍ෂය වීමෙන් ඇති වන මෙම තෘෂණාවිදි දිවා රාත්‍රි දෙකේහිම වතුර පානය කළත් සෑහීමකට පත් නොවේ. නැවත නැවත බොයි. මෙහිදී රස ධාතු ක්‍ෂය ලක්‍ෂණ පෙන්වයි.
5. ක්‍ෂතජ පිපාසාව
ශස්ත්‍ර ආදියෙන් පහර වැදී සිදුවන තුවාලවලින් පුද්ගලයාට ඇති වන වේදනාව සහ එහිදී ඇතිවන අධික ලේ ගැලීම යන දෙකින් ඇති වන පිපාසාව මෙනමින් හඳුන්වයි.
6. ආමජ පිපාසාව
ආමයෙන් පහළ වූ පිපාසය මේ නමි. මෙහිදී තුන් දොස් ලක්‍ෂණ ඇත්තේ වෙයි. එසේම හෘදයේ වේදනාව, සෙම කෑරීම, ඇඟපත පණ නැති ගතිය ඇති කරයි.
7. භක්තජ පිපාසාව
සිනිදු වූද, ඇඹුල් රස වූද, ලුණු රස වූද, බර වූද ආහාර ගැනීම නිසා ඇති වන පිපාසය හක්තජ තෘෂ්ණාව නම්.
උපසර්ගජ තෘෂ්ණා
උණ, මුසපත් බව, ක්‍ෂය, කැස්ස, පපුවේ මහන්සිය, රස ආදී ධාතු ක්‍ෂය, පුරම්හ යන රෝග ඇති අයට ද වමනය නිසා පීඩා වූ අයටද රෝගයන් නිසා ශරීරය කෘෂ වූ අයට ද උපද්‍රවයක් වශයෙන් පිපාසය ඇති වේ. එය තරමක් දුරට අසාධ්‍යයයි.
මෙය ස්ත්‍රින් විෂයෙහි වැඩි වේ. මධුමේහ රෝගීන් හට මෙන්ම දියවැඩියා රෝගීන්ටද රෝග ලක්‍ෂණයක් සහ උපද්‍රවයක් වශයෙන් පිපාසාව හට ගනී.
එසේම සන්නිපාත උණයේදී ද උපද්‍රවයක් වශයෙන් ඒ. නමුත් සාමාන්‍ය ජ්වරයේදී රෝග ලක්‍ෂණයකි. ක්‍ෂයජ තෘෂ්ණාවේදී උෂ්ණ ගතිය වැඩි වීමෙන් තොල කට වියලීමෙන් උපද්‍රවයක් වශයෙන් පිපාසාව හට ගනී.
පිතෙන් හටගන්නා උණ රෝගයේදී ද අජීර්ණ ආබාධ හෘද රෝග වලදී, රක්තය ක්‍ෂය වීමේදී, ධාතූන් ක්‍ෂය වීම යන අවස්ථාවලදී ද මෙලෙසින් පිපාසය හට ගනී.
අසාධ්‍ය තෘෂ්ණාව
විවිධ රෝගයන් හටගැනීම නිසා කෘෂ වූ ශරීරය ඇති අයට ද, අධික ලෙස වමනය ගිය අයටද, තොල කට වියලීම, අංග මර්‍ධනය හෙවත් ඇඟ පත වේදනාව යන මේවායින් පීඩිත වූ අයට ද පිපාසාව හටගත් විට අසාධ්‍ය වේ.
කෂ්ඨ සාධ්‍ය ලක්‍ෂණ
රෝගියා කෙරෙන් කටහඬ අඩු බව, ක්ලාන්තය ඇති වීම, සිහිනැති වීම, තොලකට වියලීම, ගෙල වියලීම යන මේ ලක්‍ෂණ පහළ වේද ප්‍රධාන වශයෙන් සප්ත ධාතූන්ගේ ක්‍ෂය ගතිය ඇති වේද එම ලක්‍ෂණ ඇති රෝගියා කෂඨ සාධ්‍ය වේ. අමාරුවෙන් සුව කළ හැකි වේ.
මේ අනුව බලන කල පිපාසාව සරලව ගිනිය හැකි කරුණක් නොවේ. එය රෝගයක් රෝගයක ලක්‍ෂණයක්
රෝග උපද්‍රවයක් ලෙස ප්‍රභේද කර දැක්විය හැක. එබැවින් කුසගින්න සේම පිපාසය ගැන ද අපි සැලකිලිමත් වෙමු.
පිපාසාවට චිකිත්සා
1. සැවැන්දරා, වියලි ඉඟුරු, සුදු හඳුන්, නෙලුම් අල, ඉරිවේරිය කෂාය කර බීමෙන් උණෙන් එන පිපාසාව සංසිදේ.
2. නෙලුම් ඇට, සූදුරු, නාමල් රේණු, තිප්පිලි, සීනි
මේවා ටික ටික ගෙන අඹරා මී පැණියෙන් අනා දිවේ ගා ලේහ කිරීම පිපාසය අඩු වේ.
3. නුග දලු, උහුල් කොළ, නිල් මානෙල් අල, විලද, මී පැණි එකට අඹරා ගුලි කොට මුඛයේ තබන්න. වමනයෙන් එන පිපාසාව සංසිදේ.

වෛද්‍යාචාරිණී,
අග්‍රා සුභාෂිණි ජයකොඩි,
ගම්පහ බෙහෙත් ශාලාව, කොස්සින්න හන්දිය
ගණේමුල්ල. 0722130286