රුව නසන කුරුලෑ හෙවත් තාරුණ්‍ය පිඩකා

ලොව පුරා බොහෝ දෙනා අතර බහුලව දැකිය හැකි කරදරකාරී චර්ම රෝගයක් වන කුරුලෑ ආයුර්වේදයේදී මුඛ ධුෂිකා, තාරුණ්‍ය පිඩකා හා යුවාන පිඩකා යන නම් වලින් හැඳින්වෙන අතර මෙය කඵ හා වාත දෝෂය සමඟ රක්ත ධාතුව අනුබද්ධ කොට ඇතිවන රෝගයක් ලෙස දක්වා ඇත.
යොවුන් වියේ දරුවන් අතර බහුලව දැකිය හැකි චර්ම රෝගයක් වන කුරුලෑ එදිනෙදා ජීවිතයේදී අප අනුගමනය කරන වැරදි ආහාර විහරණ තුළින් තවදුරටත් වර්ධනය වීමට හේතු වේ.

හේතු
1. නිතර තෙල් සහිත ආහාර හා කෘතිම ආහාර ගැනීම
2. මස් මාංශ අධික ලෙස ආහාරයට ගැනීම
3. වැඩිපුර කුළුබඩු යෙදූ, විනාකිරි හෝ අබ යෙදූ ආහාර නිතර ආහාරයට ගැනීම
4. රාත්‍රියේදී නිදි වැරීම
5. මානසික ආතතිය හා මානසික නොසන්සුන් බව
6. යොවුන් වියත් සමඟ සිදුවන හෝමෝන විෂමතාවය
7. කෘතිම රූපලාවන්‍ය ද්‍රව්‍ය නිතර භාවිතා කිරීම
8. ඉස්සොරි පැවතීම
මෙකී හේතු කාරණා මගින් වාත, කඵ දෝෂයන් කෝපවන අතර එමගින් රක්තය දූෂණය කර මුහුණ, බෙල්ල, පපුව හා පිට ආදී ප්‍රදේශවල සමෙන් ඉහළට එසවුණු රතු, කළු හෝ රෝස පැහැති කුරුලෑ ඇතිවිය හැක.

ලක්‍ෂණ
රතු, රෝස හෝ කළු පැහැති කුඩා පිඩකා නොහොත් කුරුලෑ බිබිලි ඇතිවේ. මුල් අවධියේදී කැසීමක් හෝ දැවිලි ස්වභාවයක් හෝ වේදනාවක් හෝ නැත. මුල් අවධියේදී නොසලකා හැරීම හා ඉහත කී හේතු කාරනා තවදුරටත් සේවනය කිරීම තුළින් කැසීම් බහුල, වේදනාකාරී ස්‍රාව ගලන හෝ සැරව පිරුණු කුඩා ගෙඩියක් බවට පත් වේ.
මේවා තවදුරටත් බැක්ටීරියා ක්‍රියාකාරිත්වය තුළින් උණ සමේ පැහැය වෙනස්වීම හා ග්‍රන්ථි ආකාර වෙනස්වීම් ඇතිවිය හැක.
වර්තමානයේදී ගැහැනු පිරිමි භේදයකින් තොරව බහුලව දැකිය හැකි කුරුලෑ සඳහා සාර්ථක ප්‍රතිකර්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතී.

ප්‍රතිකාර
1. පළමුව විරේචනය මගින් සිරුර තුළ රැස්වී ඇති දූෂිත දෝෂයන් බැහැර කිරීම සිදුකරයි. (අවශ්‍යතාවය අනුව වමන කර්ම හා කූඩැල්ලන් ඇල්ලීම සිදු කරයි.)
2. ඉන්පසුව කෝප වූ දෝෂයන් නියම තත්ත්වයට ගෙන ඒමට හා දූෂිත රක්තය පිරිසිදු කිරීමට අවශ්‍ය කෂාය, ගුලි, කල්ක හා චූර්ණ වර්ග ලබාදීම සිදුකරයි.
3. මෙම ඖෂධ ලබාගන්නා අතරම ඖෂධීය ජලයෙන් මුහුණ සේදීම සිදුකරයි.
4. මෙම ප්‍රතිකාර පද්ධතිය අනුගමනය කිරීම තුළින් සියලු කුරුළෑ සුව වීමෙන් පසු නැවත සමෙහි සාමාන්‍ය වර්ණය ලබාගැනීමට ප්‍රතිකාර කිරීම සිදුකරයි.

සුදුසු ආහාර හා විහරණ
1. මද උණුසුම් ජලය පානය කිරීම
2. පහසුවෙන් දිරවිය හැකි තෙල් අඩු ස්වභාවික ආහාර පාන භාවිතා කිරීම
3. එළවළු, පලතුරු හා පලා වර්ග වලින් යුක්ත සමබල ආහාර වේලක් ගැනීම
4. අධික ලෙස කුළුබඩු එක්කරන ලද ආහාර, කෘතිම ආහාර, මස් මාංශ නිතර භාවිතයෙන් වැලකීම
5. දිනකට අවම වතුර ලීටර් 3 ක් හෝ පානය කිරීම
6. නිතර මුහුණ පිරිසිදුව තබාගැනීම
7. සබන් භාවිතය අවම කිරීම හා ඒ වෙනුවට අමු කහ, කොහොඹ කොළ, නිදිකුම්බා හා වෙනිවැල්ගැට තැම්බූ වතුරින් මුහුණ සේදීම
8. මුහුණ පිස දැමීමට වෙනම තුවායක් භාවිතා කිරීම
9. කෘතිම රූපලාවන්‍ය ආලේපන භාවිතයෙන් වැලකී සිටීම.
10. මුහුණ අනවශ්‍ය ලෙස ඇල්ලීම හෝ කුරුලෑ ගෙඩි පිපිරවීමෙන් වැලකීම
11. දිනකට පැය 6-8 ක සුවදායක නින්දක් ලබා ගැනීම
12. ආතතියෙන් වැලකීමට දිනකට මිනිත්තු 15 ක් හෝ භාවනාවක යෙදීම

එච්. බී. දුලනි කෞශල්‍යා
සීමාවාසික වෛද්‍ය
ආනියාකන්ද ආයුර්වේද රෝහල